
මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පිරිමි ළමයි‘ ටෙලිනාට්‍යයේ මස් සුදාගේ චරිතයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවට එන ඔහු හඳුනාගන්නට ‘බකපල්ලා’ වචනය හොඳටම ප්‍රමාණවත් ය. විවිධ කලා නිර්මාණ ඔස්සේ ඔබ හමුවට ආ ඔහු පුබුදු ගමගේය.
ඔබ කාලයක් රංගන ක්ෂේත්‍රයේ දකින්න හිටියේ නැහැ නේද?
මම රංගන ක්ෂේත්‍රයෙන් අයින් වෙලා හිටියේ නැහැ. ඉගෙනීම් කටයුතු සහ මගේ ඇකඩමියේ වැඩකටයුතු එක්ක ටිකක් කාර්යබහුල වුණා. බොහෝදෙනා හිතුවේ මම රට අත් හැරලා ගිහිල්ලා කියලා.
මේ දිනවල ඔබ පිරිමි ළමයි ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා?
ඔව්. ඒ චරිතයට චේතනී විජේතුංග අක්කා මාව යෝජනා කරලා තිබ්බා. චේතනී අක්කා සද්ධා අයියට කියලා තිබුණා කොහොම හරි මාව මේකට සම්බන්ධ කර ගන්න කියලා. ඒ අනුව තමයි අධ්‍යක්ෂ සිවා අයියගෙන් මේකට සම්බන්ධ වෙන්න කියලා මට කෝල් එකක් එන්නේ.
‘බකපල්ලා’ කියන වචනයත් එක්ක පුබුදු මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි නේද?
ඒ නම හින්දා දැන් මගේ නම මට අහිමි වේගෙන යනවා. ඒක දඩයක්කාර සංස්කෘතියේ තියෙන වචනයක්. ගෙදරදීත් ඒ වචනේ කියවෙන තරමටම මට සමීප වෙලා තියෙනවා. මං දකින්න නැති දවසට ප්‍රේක්ෂකයෝ කතා කරලා අහනවා කෝ අද බකපල්ලා හිටියේ නෑනේ කියලා.
සද්ධා – සිවා සුසංයෝගයෙන් ඔබට ලැබෙන සහාය කොහොමද?
මම අධ්‍යක්ෂවරු ගණනාවක් එක්ක වැඩ කරලා තියෙනවා. මගේ ජීවිතේ මමවත් නොහිතපු දක්ෂතා එළියට ගත්ත අධ්‍යක්ෂවරයෙක් සහ රචකයෙක්. ඒ වගේම නිෂ්පාදකවරියක් විදිහට චේතනී විජේතුංග අක්කාත් මතක් කරන්න ඕන. කැමරාවෙන් දස්කම්පාන තුසිත අනුරාධ අයියත් පුදුම ශක්තියක් ලබා දෙනවා. ඒ හතර දෙනා මේ නාට්‍ය ඔසවාගෙන ඉන්න බලකණු හතරක් වගේ.
ඔබේ කඩවසම් පෙනුම නොවෙනස්ව පවත්වා ගැනීමේ රහස මොකක්ද?
මනුස්සයන් විදිහට අපි වයසට යනවා. රූපය වෙනස් වෙනවා. මම අභ්‍යාස පැත්තට ගොඩක් නැඹුරු කෙනෙක්. කෑම බීමවලිනුත් ගොඩක් ප්‍රවේසම් වෙනවා. ඒ වගේම තමයි මොන ප්‍රශ්නය ආවත් හිත වට්ටගන්නේ නැහැ. මානසික යහපැවැත්ම රූපයට සෘජුවම බලපානවා. පිරිමි ළමයි ටෙලිනාට්‍යයට සහභාගි වුණු දෙවැනි දවසෙම මට සද්ධා අයියා කිව්ව “පුබුදු පොඩ්ඩක් මහත වැඩියි. පොඩ්ඩක් කෙට්ටු වෙමු ද” කියලා. මගේ පපුව කඩාගෙන ගියා. මම ගත් කටටම කිව්වා “අයියේ මට දවස් විසි එකක් දෙන්න” කියලා. සද්ධා අයිය කිව්වා කලබලයක් නැතුව වැඩ ටික කරගන්න කියලා. එදා ඉඳන් දවස් 21ක් යනකන් මං සුප් විතරයි බිව්වෙ. පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ පළවෙනි ‘එපිසෝඩ්‘ කිහිපයේ මං ගොඩක් මහතයි. දැන් එහෙම නෑ.
ඔබ රංගනය උගන්වන ගුරුවරයක්. ඔබේ ගුරු භූමිකාව ගැන කතා කරනවා නම්?
මම ගොඩක් දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා තියෙනවා. මුලින්ම මට පුළුවන් වුණේ හොඳ ප්‍රේක්ෂකයෝ පිරිසක් බිහි කරන්න. මං උගන්නපු දරුවො දැන් නළු නිළියෝ, ගායකයෝ බවට පත්වෙලා තියෙනවා. ඒ ගැන මට සතුටුයි.
‘මං අහසට යවන්නේ කුරුල්ලෝ මිස සරුංගල් නෙවෙයි‘ කියන එක මගේ පෞද්ගලික මතයක්. මම ශිෂ්‍යයෙක් නිර්මාණය කරලා කවදාවත් සරුංගලයක් වගේ නූල අල්ලන් ඉන්නෙ නැහැ. කුරුල්ලෙක් වගේ එයාට පියාඹලා යන්න ඉඩ දෙනවා.
වර්තමානයේ බිහිවෙන අලුත් පරම්පරාව ගැන මොකද හිතෙන්නේ?
අපිට අලුත් පරම්පරාවක අවශ්‍යතාව තියෙනවා. එයාලා බිහිවෙන්න ඕන. නමුත් එයාලට හොඳ මඟපෙන්වීමක් අවශ්‍යයි. ක්ෂේත්‍රයට එන සමහර දරුවන්ගේ දක්ෂතා දැකලා අපිත් වික්ෂිප්ත වෙනවා. දුවන්නම් වාලේ දුවන්න අවශ්‍ය නැහැ. හොඳ ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ හොඳ ගමනක් යන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
ඔබ චරිත තෝරාබේරා ගැනීමක් කරන කෙනෙක්ද?
නැහැ. විවිධාකාර චරිත කියන එක තමයි මගේ තියරිය. මම ඒ චරිත ඇතුළේ කල්පනාකාරී වෙනවා. මගේ රංගන පෞරුෂය බිඳෙන්නෙ නැති ඕනෑම චරිතයක් මම තෝරා ගන්නවා. චරිතයක් භාර ගැනීමේදී මම හුඟක් කල්පනාකාරී වෙනවා.
මස් සුදාගේ චරිතය කරද්දී ලබපු අත්දැකීම් ගැනත් කත කරමු…..
දිනක්ෂි මට ගොඩක් උදව් කරනවා. ගඟේ ගිලිලා වතුර පිටින් දිනක්ෂිව උස්සගෙන යනකොට ලිස්සලා වැටෙන්න යනවා. එතනදි දිනක්ෂි මට කිව්වේ,”අයියේ වැටෙන්න ආවොත් චුට්ටක් මාව බිමින් තියන්න. හැබැයි වැටුණත් කමක් නැහැ.එහෙම වුණොත් මම එහෙම ඉන්නවා” කියලා. ඒ වගේ මට ලොකු ධෛර්යයක්, ශක්තියක් දුන්නා. ඒ වගේමයි මදුෂාන් හත්ලහවත්තත්. ඒ සීන් එකේදී මට අමාරුයි කියලා දැනුණම මදුෂාන් ගෙදරකට ගිහිල්ලා බාම් ගෙනල්ලා මගේ පිටේ ගාලා තමයි ඊළඟ සීන් එකට ගියේ. ඒකෙන් මං තේරුම් ගත්තා නළුකම, නිළිකම විතරක් තිබ්බට මදි මනුස්සකමත් හදවතේ තියෙන්න ඕන කියලා. එතකොට තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ.
පුබුදුට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ තාත්තා හරි ආසයි මම ක්ෂේත්‍රයේ ඉන්නවා නම්. ක්ෂේත්‍රයේ කටකතා පැතිරිලා ගියපු කාලෙ තාත්තට ඕන වුණා ආයෙත් මාව ක්ෂේත්‍රයේ දකින්න. එදා තාත්තා මට කිව්වා “අනේ පුතේ මං මැරෙන්න කලින් තව එක නාට්‍යයකවත් රඟපාන්න” කියලා තාත්තා හදිසි හෘදයාබාධයකින් මියගියා. ආයෙ මගේ එක නාට්‍යයක්වත් තාත්තට බලන්න හම්බවුණේ නැහැ . දැන් රඟපාන්න එන හැම මොහොතකම ඇක්ට් කරන්න කලින් මට තාත්තා කියපු දේවල් රැව් පිළිරැව් දිදී ඇහෙනවා. ලෝකයම මාව ආදරෙන් වැලඳ ගත්තත් තාත්තට ඒක දකින්න වෙන්නෙ නෑනේ කියලා ලොකු දුකක් හිතේ තියෙනවා.
මගේ බිරිඳ මාව ඉතා හොඳින් තේරුම් අරගෙන ඉන්නවා. මගේ පළවැනි ප්‍රේක්ෂිකාවත්, ගමන් සගයාත් ඇය. චරිත තෝරා ගැනීමේදී පවා ඇය මට ලොකු සහයෝගයක් දෙනවා.
