
සුජානි විනෝද්‍යා, ප්‍රේක්‍ෂකයන් හොඳින්ම හඳුනාගන්නෙ ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යයේ රතු අක්කාගේ චරිතයෙන්. ඒ වගේම මේ දිනවල තිරගතවන ‘එළ ද බ්‍රා’ සිනමා නිර්මාණය තුළින් වගේම ‘තාත්තා’ වේදිකා නාට්‍ය තුළිනුත් ඇයගේ රංගනයක් දැකබලා ගන්න රසිකයන්ට අවස්ථාව ලැබිල තියෙනව.
සුජානි, ‘එළ ද බ්‍රා’ සිනමා නිර්මාණයේ චරිතය ගැන රසිකයො මොකද කියන්නෙ?
ඇත්තටම රසිකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මං වගේ මේ ක්‍ෂේත්‍රයට අලුත් කෙනකුට මෙවැනි අවස්ථාව ලබා දුන්න මුදිත සේනාරත්න මහත්මයාවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන.
ඔබට මේ අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
මේ සිනමා නිර්මාණයේ කොස්ටියුම් කළ ලක්මාල් අයියගේ හඳුන්වාදීම මත තමයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ.
රූගත කිරීම් බොහොම විනෝදයෙන් සිදු වුණාලු?
ඔව්, පුබුදු අයියත් එක්ක ෂූටිං කරද්දි දවස ගතවෙනව තේරුණේ නෑ. හරිම විනෝදාත්මකයි. මෙහි එක දර්ශනයක පුබුදු අයිය කේක් එකක් අරගෙන ඇවිත් මගේ ඇඟේ හැපෙනව. එතැනදි එයාගේ අත් දෙකේම කේක් ගෑවෙනව. ඒ වෙලාවෙ කෑ ගහගෙන මාව පන්ගෙන ඇවිත් මගෙ මුළු ඇඟේම කේක් ගෑවා. ඒ වගේ හරිම විනෝදයෙන් තමයි ෂූටිං කරන කාලය ගත වුණේ.
ප්‍රවීණයන් සමග ගත කළ කාලය මොන වගේ අත්දැකීමක්ද?
ප්‍රවීණයන් එක්ක රඟපාන්න මට ලැබුණ අවස්ථාව ඇත්තටම ගොඩක් වටිනව. මම ආධුනික කෙනෙක් විදිහට ඔවුන් සැලකුවේ නැහැ. හරිම නිහතමානීව අඩුපාඩු හදාගන්න මට උදව් කළා.
මේ ඔබේ පළමු සිනමා නිර්මාණය නෙවෙයි?
ඔව්, මම මීට කලින් ‘ප්ලීස් ඉන් ටෝන්’ කියන චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතය රඟපෑවා. ඒ අධ්‍යක්‍ෂණය කළේ රන්දික නදීශාන්. නිෂ්පාදනය කළේ සමන් අලංකාර. ඒකත් ළඟදීම තිරගතවෙයි කියල විශ්වාස කරනව.
ඒ වගේම සුරංග ද අල්විස් මහත්මයාගෙ ‘ඒක තමයි මේක’ සහ ‘රූම් නම්බර් වන් සීරෝ සික්ස්’ චිත්‍රපටයටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිර්මාණ තුන ගත්තාම ‘එළ ද බ්‍රා’ කියන්නෙ මගේ හතරවැනි චිත්‍රපටය.
පසුගිය කාලයේ ටෙලි නාට්‍ය රැසකින්ම දකින්න ලැබුණා?
මා රසිකයො බොහෝ දෙනෙක් හඳුනාගත්තෙ හිරු ටීවී නාළිකාවේ විකාශය වුණ ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යයේ රතු අක්කාගේ චරිතයෙන්. අදටත් මගතොට හමුවෙන අය කතාකරන්නෙ රතු අක්කා කියල. ඒ වගේම ‘රාග’ සහ ‘සින්දු’ ටෙලි නාට්‍ය දෙක හරහාත් මගේ රංගනයන් දැකබලාගන්න පුළුවන්.
සුජානි රංගන ශිල්පිනියක් වෙන්නෙ කොහොමද?
රංගන ශිල්පිනියක් වීම කියන්නෙ මට පොඩි කාලෙ ඉඳන් තිබුණ හීනයක්. නමුත් මම හිතුවෙ නැහැ මට ඒ හීනය සැබෑකරගන්න පුළුවන්වෙයි කියල. මොකද ඒ හීනය මට ගොඩක් දුරින් තිබුණෙ. නමුත් මගේ වාසනාවකට ඒ අවස්ථාව මට හිමි වුණා.
රංගන ක්‍ෂේත්‍රයේ ඔබ යන්නෙ පහසු ගමනක්ද?
රංගන ක්‍ෂේත්‍රය කියන්නෙ නරක තැනක් නෙමෙයි. නමුත් මේ ගමන යන්න ටිකක් අමාරුයි. වෙලාවකට කලකිරෙනව. කොච්චර ආසා වුණත්, කොච්චර ලොකු හීනයක් තිබුණත් සමහර තැන්වලදි ගොඩක් කඩාවැටෙනව. එහෙම තමයි මේ ගමන යන්නෙ.
කැපිලි කෙටිලි තිබුණද?
කැපිලි කෙටිලි, කතන්දර නම් ගොඩක් තියෙනව.
රඟපෑම අතහරින්න හිතුන වාර තිබුණද?
ඔව්, ඇත්තටම ගොඩක් අවස්ථාවල එහෙම හිතිල තියෙනව.
දැන් ඒ තත්ත්වය අඩුවෙලාද?
හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නව කියන අදහසින් මම දැන් ටිකක් පාඩුවේ ඉන්නව. ඒ නිසාම වෙන්න ඇති දැන් වැඩත් ටිකක් අඩුයි.
වෙනත් ව්‍යාපාරයක් කරනවද?
ඔව්, මතුගම නගරයේ මම පොඩියට සැලූන් එකක් කරනව. මේ දවස්වල ඒ වැඩකටයුතුවල තමයි වැඩිපුර නිරතවෙලා ඉන්නෙ.
රංගනයට පිවිසෙන්න කලින් ඔබ කටයුතු කළේ මොන වගේ ක්‍ෂේත්‍රයකද?
මම ශාන් කරන්නාගොඩ මහත්මයා යටතේ නර්තනය හැදෑරුවා. ඒ අතරතුර ධරණි ටෙලි නාට්‍යයේ නර්තන අංගයකට මට අවස්ථාවක් ලැබෙනව. ඒ අවස්ථාවත් එක්ක තමයි මට රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නෙ අවස්ථාව ලැබෙන්නෙ.
මේ දවස්වල වේදිකා නාට්‍යයක දකින්න ලැබෙනව?
ඔව්, ප්‍රභාත් ජයසිංහ අයියගේ නාට්‍ය නිර්මාණයක් වන අනුර වරාගොඩ මහත්මයා අධ්‍යක්‍ෂණය කරන ‘අප්පච්චි’ වේදිකා නාට්‍යයත් එක්ක රටවටා යන්න මට අවස්ථාව ලැබිල තියෙනව. නිශ්ශංක ගුණසුමන අයියගේ ආරාධනයකට අනුවයි මම මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ.
සුජානිට විලාසිතා ගැන තියෙන්නෙ මොන වගේ කැමැත්තක්ද?
විලාසිතා හැමදේකට වගේ මම කැමතියි. ලොකුවට සීමා මායිම් දාගෙන නැහැ ඒ දේවල්වලට. ෆොටෝ ෂූට් එකකට වුණත් බිකිනිය හැරෙන්න අනෙක් ඇඳුම්වලින් පෙනී සිටින්න මම කැමතියි.
ටැටූවලට කැමැත්තක් නැද්ද?
ටැටූවලට කැමතියි. නමුත් අපේ මේකප් ආටිස්ලට ඒක කිව්වාම ඔවුන් කියන්නෙ, ටැටූ එක නිසා අහවල් වැඩෙන් කැපෙන්න පුළුවන්, ඒක කරන්න එපා කියල. ඒ නිසා ආසා වුණත් ඒ දේ නොකර ඉන්නව.
ජනප්‍රියත්වය නිසා ආදර යෝජනාත් එනව ඇති?
ආදර යෝජනා නම් ඒ තරම් එන්නෙ නැහැ. අනික මම කැමතියි නිදහසේ මගේ ගමන යන්න. පෙම්වතියක් වෙනව කියන්නෙ ඒ ගමනට බාධාවක් කියලයි මම හිතන්නෙ.
සුජානිට පවුල ගැන ලොකු වගකීමක් පැවරිලා තියෙනව?
ඇත්තටම මගේ පවුලේ ලොකු වගකීමක් මට පැවරිලා තියෙනව. මගේ තාත්තා සුළු රැකියාවක් කරන්නෙ. මගේ අම්මා ඉන්නෙ අසනීපෙන්. නමුත් මගේ ගමන යන්න ඔවුන්ට පුළුවන් උපරිම විදිහට මට උදව් කරනව.
මහේෂ් එදිරිසිංහ
