මම ලංකාවට ආවා කියලා ගොඩක් අය දන්නේ නැහැ – තුෂිනි ප්‍රනාන්දු

gossiplanka image 2
 

තුෂිනි ප්‍රනාන්දු රංගනයෙන් දායක වන Lover’s Leap ටෙලි නාට්‍ය සිරස නාළිකාව හරහා පසුගියදා විකාශනය ආරම්භ කළා. තුෂිනි රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍යයත් සමග කාලෙකින් කෙටි සංවාදයක නිරත වුණා.



තුෂිනිව මේ දවස්වල අලුත්ම ටෙලි නාට්‍යයකින් දකින්න ලැබෙනවා?


රනිල් කුලසිංහ අධ්‍යක්ෂණය කරන ලද රසික සුරවීරආරච්චි පිටපත් රචනය කළ ලවර්ස් ලීප් ටෙලි නාට්‍යයට මම රංගනයෙන් දායක වුණා. රාණි කියන චරිතය තමයි මම මෙහි නිරූපණය කරනු ලබන්නේ. චරිතය ගැන මම දැන්මම කියන්න ඕනෑ කියලා හිතන්නේ නැහැ.


මේ සඳහා ආරාධනාව ලැබුණේ කොහොමද?


මම නිතර ලංකාවට ඇවිත් යනවා. අනික මම අවුරුදු හයක් විතර වැඩ කළෙත් නැහැ. ඉතාලියේ තමයි හිටියේ. කොහොම හරි ලංකාවට ආපු වෙලාවක තමයි රනිල් අයියා මේ වැඩේට කතා කළේ. මුල් අදියරේ රූගත කිරීම් සිදුකරලා තමයි මම ඉතාලි ගියේ. දැන් ටෙලි නාට්‍ය විකාශනය වෙන්න පටන් ගත්ත හින්දා ටික කාලයක් ලංකාවේ ඉඳලා රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා.


පසුගිය කාලයේ නිතර දැක්ක තුෂිනි එකපාරටම අතුරුදහන් වුණේ ඇයි?


අම්මා තාත්තා ඇතුළු මගේ පවුලේ සාමාජිකයෝ ඉන්නේ ඉතාලිවල. එතකොට මම ඉතාලියට ගිහින් කාලයක් වැඩවලින් ඈත්වෙලා හිටියා. ඊට පසුව ලැබුණු ආරාධනා එක්ක ලංකාවට ආවට පස්සේ තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. මම හිතනවා දැන් ඉස්සරහට මට දිගටම ලංකාවේ ඉන්න වෙයි කියලා.


ආපහු ලංකාව දාලා යන්නේ නැද්ද?


මගේ පවුලේ සාමාජිකයෝ ඉතාලියේ ජීවත් වුණාට මගේ පෞද්ගලික කැමැත්ත තියෙන්නේ ලංකාවේ ජීවත් වෙන්න. ඉතිං මම හිතනවා මට මේ වෙලාවේ ලැබෙන අවස්ථා එක්ක දිගටම ලංකාවේ පදිංචියට එන්නත් කල්පනාවක් තියෙනවා.


ඉතාලියේ ගෙවුණු අවුරුදු හය ගෙවී ගියේ කොහොමද?


ගෙවී ගිය කාලයේ දුකක් එහෙම තිබුණේ නැහැ. මොකද හැමදේටම කාලයක් එනවානේ. ඒ වගේම පසුගිය දවස්වල වැඩ කළේ නැහැ කියලා පසුතැවීමකුත් නැහැ. දැන් ආරාධනා ලැබිලා තියෙන හින්දා ඒකට උපරිම සහයෝගය ලබාදෙනවා.


ඉතාලියේදී මොනවද කළේ?


වරදක් නැහැ. මම අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අතරේ රැකියාවකත් නියැළුණා. ටිකක කාර්යබහුලයි. ලංකාවේ වගේ නෙමෙයි. වෙන රටක් වෙන භාෂාවක්, වෙන සංස්කෘතියක් කියන්න තරම් අඩුපාඩුවක් නැහැ. නමුත් මගේ පෞද්ගලික කැමැත්ත තියෙන්නේ ලංකාවට.


අවුරුදු හයකට පස්සේ ක්‍ෂේත්‍රයේ අයගෙන් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?


ඔයා ඇහැව්වා වගේ ඇයි ආවේ නැත්තේ. මොකද ආවේ නැත්තේ. එහෙදි මොනවද කළේ කියලා තමයි ඇහැව්වේ. ඒ ගොල්ලන්ට දුන්නෙත් ඒ උත්තර ටිකම තමයි.


චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා කියලා ආරංචියි?


ඔව්. වී. සිවදාසන් අධ්‍යක්ෂවරයාගේ ‘ඇයයි මමයි’ කියලා චිත්‍රපටයකට සම්බන්ධ වුණා. එහි රූගත කිරීම් අවසන් වුණාට පස්සේ තමයි ලවර්ස් ලීප් රූගත කිරීම් ආරම්භ කළේ.


චංචල රේඛා ටෙලි නාට්‍යයටත් එකතු වුණා නේද?


ඔව්. ඒකටත් සමන් කුමාර ලියනගේ කියන අධ්‍යක්‍ෂවරයාගෙන් තමයි ආරාධනාවක් ලැබුණේ. චංචල රේඛා සිනමා නිර්මාණයේ ස්වර්ණා මල්ලවාරච්චි රඟපෑ ‘කමලා’ කියන චරිතයට තමයි මට ජීවය දෙන්න තියෙන්නේ. ඇත්තටම මට ඒක ලොකු අභියෝගයක්.


ස්වර්ණා මල්ලවාරච්චි රඟපෑ කමලාගේ චරිතය රඟපානවා කියන්නේ ලොකු අභියෝගයක්. මේ ආරාධනාව ලැබුණාට පස්සේ හිතට බයක් දැනුණාද?


ඇත්තටම අභියෝගයක්.


මොකද ස්වර්ණා මල්ලවාරච්චි කියන්නේ ලංකාවේ දක්‍ෂ ප්‍රවීණ විශිෂ්ට චරිතයක්. ඒ වගේ ශ්‍රේෂ්ඨ රංගන ශිල්පිනියක් රඟපෑ චරිතයක් නැවත රඟපාන්න මාව තෝරා ගැනීමම ලොකු අභියෝගයක්.


මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න මහන්සි වෙනවා.


චංචල රේඛා චිත්‍රපටය නැරඹුවාද?


ඔව්. මම චිත්‍රපටය නැරඹුවා. මේක ටෙලි නාට්‍යයක් හින්දා චිත්‍රපටයට වඩා එහාට මේ කතාව ගලාගෙන යනවා. චිත්‍රපටය නරඹලා පිටපත අධ්‍යයනය කරලා අධ්‍යක්ෂවරයා සමග කතාබහ කරලා දීර්ඝ සාකච්ඡාවක නියැළුණා. මොකද ඔහු කමලා තුළින් අපේක්ෂා කරන චරිතයක් තියෙනවා. මම නිර්මාණය කරගත් කමලයි අධ්‍යක්ෂවරයා මගෙන් ඉල්ලන කමලාවයි දෙක සමානද කියන තැනදී අපි දීර්ඝ සාකච්ඡාවල යෙදුණා. ඒ අනුව තමයි දැන් වැඩ ටික කරගෙන යන්නේ.


තුෂිනි කියන්නේ මොනවගේ චරිතයක්ද?


සාමාන්‍යයෙන් අනෙක් මිනිස්සු වගේ වෙන වෙන චරිත ලක්‍ෂණ තියෙන මනුස්සයෙක්. එක එක අය වෙනස්නේ. හැමෝම එකවගේ නැහැනේ. ඒ වෙනස් චරිත අතරේ මාත් වෙනස්ම මනුස්සයෙක්.


ඔබ තෝරාගත් ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?


මම රංගන ක්‍ෂේත්‍රයට එන්නේ 2018 වසරේදී. මට ඒ අවස්ථාව ලබාදෙන්නේ චාමර සමරවික්‍රම අයියා. ඉතින් ඔහුව බොහොම ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ඔහු හරහා තමයි මම මුලින්ම මේ ක්‍ෂේත්‍රයට එන්නේ. ඔය අතරේ මම ආපහු විදෙස් ගත වෙනවා. ඒ අතර කාලයේ මට ලොකුවට වැඩ කරන්න හම්බවුණේ නැහැ. රංගනය කියන්නේ විෂයක් සහ වෘත්තියක්. ඒ වෘත්තියට අදාළ හැදෑරීමක් අවශ්‍යයි. නැතිව විනෝදාංශයක් හැටියට නෙමෙයි මෙකේ නියැළෙන්න ඕනෑ. ඒ මම දකින විදිහ. ඒ අදාළ අධ්‍යයනය සිදු කරලා රංගනය හරියාකාරව සිදුකිරීමේ වුවමනාව තමයි මට දැන් තියෙන්නේ.


තුෂිනි ලංකාවට ආව කියලා කට්ටිය වැඩිය දන්නේ නැහැ නේද?


මට මුලින්ම ආරාධනාවක් ලැබුණේ වී. සිවදාසන් මහත්මයාගේ ඇයයි මමයි චිත්‍රපටයට. ඒකට මම දින අරගෙන වැඩ කරනකොට තමයි ලවර්ස් ලීප් ටෙලි නාට්‍යයට ආරාධනාවක් ලැබුණේ. ඒත් එක්කම තමයි මට චංචල රේඛා ටෙලි නාට්‍යයටත් ආරාධනාවක් ලැබුණේ. ලංකාවට ආවට පස්සේ වැඩ කිහිපයකට ආරාධනා ලැබුණා. මොකද ගොඩක් අය දන්නේ නැහැ මම ලංකාවට ආවා කියලා. අනික මම සමාජ මාධ්‍යවල ලොකුවට එහෙම දේවල් පළ කරලා ඒකත් එක්ක ඉන්න කෙනෙක් නෙමෙයි. මම ඒකේ එච්චර ඇක්ටිව් නැහැ. ඒ නිසා මම මොනවද කරන්නේ කියලා ඒකේ මගේ අප්ඩේට් මොකුත් නැහැ. ගොඩක් වෙලාවට මට පාඩු වෙන වෙලාවලුත් තියෙනවා.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post