ඒ නිර්මාණයේදී මට මාව මුණගැසුණා – සුධීක්‍ෂා සමාධි

gossiplanka image 2
 



පුංචි කාලෙ ඉඳන්ම නිළියක් වෙන්න ආසාවෙන් හිටපු ඇය අවසානයේ ඒ හීනය සැබෑකරගන්නව. ඒ විතරක් නෙමෙයි, ඇයගේ සුවිශේෂී රංගන කුසලතාව නිසා කෙටි කාලයකින් ජූරියේ විශේෂ සම්මානයක් පවා හිමිකරගන්න ඇයට අවස්ථාව ලැබෙනව. මේ වෙන කවුරුවත් නෙමෙයි, මේ දවස්වල හැමෝම දන්න මංගේෂ්වරී, එහෙමත් නැතිනම් සුධීක්‍ෂා සමාධි එක්කයි අපේ මේ කතාබහ.


මංගේෂ්වරී, සුධීක්‍ෂාට සම්මානයක් හිමිකර දෙනව?


මංගේෂ්වරී කියන්නෙ බාල, තරුණ, මහලු භේදයකින් තොරව ප්‍රේක්‍ෂකයන් ගොඩක් ආදරෙන් වැලඳගත්ත, ඒ වගේම කවි, නිසඳැස්, චිත්‍ර ආකාරයෙන් පවා ප්‍රේක්‍ෂයන්ගෙන් ආදරය ලැබුණු චරිතයක්. මේ චරිතය ගත්තාම තරහව, ත්‍රාසය, භීතිය, සිනහව, දුක, සතුට වගේ සියුම් භාවයන් නිරන්තරයෙන් ඉහළ පහළ යනව. ඒ නිසාම වෙන්න ඇති මේ තරම් ඉහළ ප්‍රතිචාරයක් මේ චරිතයට හිමි වෙන්න ඇත්තෙ. ඒ ප්‍රතිචාරවල ප්‍රතිඵලයක් විදිහට 2025 පොපියුලර් එවෝඩ්ස් එකේදි මට සම්මානයක් අතදරාගන්න වාසනාව හිමි වෙනව.


චරිතය වෙනුවෙන් කොහොමද ඔබ සූදානම් වුණේ?


ඇත්තම කිව්වොත් මේ චරිතය වෙනුවෙන් අදටත් මම ලොකු කැපකිරීමක් කරනව. ෂූටිං කරන හැම දවසකම මගේ ඇඟට පුදුමාකාර විදිහට ඒක දැනෙනව. මොකද සාමාන්‍ය චරිත නිරූපණයකට එහා ගිහින් මම මේ චරිතයේ භාවයන් නිරූපණය කරන්න ඕන. මම සමාධි කියන කාරණය සම්පූර්ණයෙන්ම අමතක කරල මගේ ඇස්, කට, අතපය, කොණ්ඩය, ඇවිදින විදිහ විතරක් නෙමෙයි, කටහඬත් වෙනස් කරල කතාකරන්නෙ. දවසේ ෂූටිං අවසන් වෙනකොට මගේ කොන්ද රිදෙනව, ඇස් රිදෙනව, කටහඬ බැරැන්ඩි වෙනව, මාංසපේෂි රිදෙනව. මේ වේදනාවෙ ප්‍රතිඵල තමයි මම භුක්ති වින්දෙ. මංගේෂ්වරී කියන්නෙ ඇත්තටම අභියෝගාත්මක චරිතයක්.


මේ වසරේ පැවැත්වුණ අනෙකුත් සම්මාන උළෙලවලදි මංගේෂ්වරී නිර්දේශිත නාම අතරට හෝ පැමිණියේ නැහැ?


අපේ රටේ නිර්මාණ මෙගා සහ ආර්ට් නමින් වැඩකරන අය සහ ප්‍රේක්‍ෂකයන් විසින් වෙන්කරගෙන තියෙනව. නමුත් මම නම් දකින්නෙ, එහෙම කොටස් දෙකක් නැහැ. මේ හැම තැනකදිම රංගන ශිල්පීන් හැටියට නිර්මාණයට දෙන්න පුළුවන් උපරිම දේ අපි ලබාදෙනව. එතැනදි අපි ඒක ආර්ට් ද මෙගාද කියල හිතන්නෙ නැහැ. ඒක එහෙම නම් අගැයීමක් ලබාදීමේදීත් ඒක හරියාකාරව ලැබෙනව නම් රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට ලොකු දිරිගැන්වීමක් වෙනව. මම ගත්ත මහන්සියට උපරිම ප්‍රතිඵල දුන්නෙ පොපියුලර් එවෝඩ්ස් ජූරිය විසින්. ඉතින් මම මේ වෙලාවේ එහි සභාපති ගීතාංජන ද කොස්තා මහත්මයාට සහ විනිශ්චය මණ්ඩලයට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනව.


ඔබ රංගනයෙන් දායක වුණ ‘මදර් ලංකා’ සිනමා නිර්මාණය මේ දිනවල තිරගත වෙනව. කොහොමද ඒ අත්දැකීම?


මදර් ලංකා විත්‍රපටය අනූෂ එදිරිමුණි මහත්මයාගෙ අධ්‍යක්‍ෂණයක්. එතුමා මට ආරාධනාවක් කළා සැන්ඩ්‍රාගෙ චරිතය භාරගන්න කියල. මේක මාතෘත්වය ගැන කතාවෙන සිනමා නිර්මාණයක්. ඒ අනුව මම බොහොම කැමැත්තෙන් චරිතය භාරගන්නව. අධ්‍යක්‍ෂවරයාගේ බිරිඳ වන ක්‍රිෂාන්ති, මෙහි පිටපත් රචිකාවිය බොහොම අපූරුවට මෙහි චරිත ගළපලා තිබුණා. ඉතිං මම හිතනව මේ චරිතය වෙනුවෙන් මට පුළුවන් උපරිම දේ මම කළා කියල.


‘සූර්යා’ සිනමා නිර්මාණය ගැනත් කතා නොකරම බැහැ?


දිනේෂ් මුතුගල මහත්මයාගේ නිෂ්පාදන දායකත්වයෙන් මහේෂ් මුණසිංහ මහත්මයා අධක්‍ෂණය කළ සූර්යා සිනමා නිර්මාණය ජයග්‍රාහි ලෙස දින පනහ පසු කළා. එහි මට ලැබුණෙ වොනීෂාගේ චරිතය. ඇය බොහොම ආදරණීය වගේම බොළඳ කාන්තාවක්. මේ චරිතය තුළින් රිදී තිරයේදී වෙනස්ම ආකාරයකට මාව දකින්න පුළුවන්.


රිදී තිරයේ සහ පුංචි තිරයේ දිගහැරෙන මේ චරිත ප්‍රේක්‍ෂිකාවක් විදිහට දකිනකොට ඔබට දැනෙන හැඟීම මොන වගේද?


මෙවැනි විවිධත්වයෙන් යුතු චරිත ලැබීම ගැන ප්‍රේක්‍ෂිකාවක් විදිහට මට සතුටුයි. එකම පරාසයකට කොටු වෙන්නෙ නැතිව විවිධ පරාසයන් ඔස්සේ චරිත නිරූපණය කරන්න ලැබීම තමයි මම දකින විදිහට රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ලබන ලොකුම භාග්‍යය. ඉදිරියටත් මෙවැනි අභියෝගාත්මක චරිත ඔස්සේ ප්‍රේක්‍ෂකයන් හමුවෙන්න මම කැමැත්තෙන් ඉන්නව.


මේ චරිත තුළ සුධීක්‍ෂා සමාධිව මුණගැහිල නැද්ද?


සුධීක්‍ෂා සමාධිව එක නිර්මාණයකදි මුණගැහුණා. ඒක තවම එළියට ආවෙ නැහැ.


රංගන විෂය තෝරා ගැනීම ගැන ඔබ තෘප්තිමත්ද?


ඔව් ඇත්තටම, මම පොඩි කාලෙ ඉඳන්ම රංගනයට ආසාවෙන් හිටිය වගේම කවදා හරි රංගන ශිල්පිනියක් වෙනව කියන තැන හිටපු කෙනෙක්. ඒ නිසා මම ගොඩක් ආසාවෙන් මේ ජොබ් එක කරනව.


‘මායාවී’ ගැන අදහස මොන වගේද?


මායාවී සඳහා මට ආරාධනා කරන්නෙ එහි නිෂ්පාදක ලලිත් වසන්ත මහත්මයා. මහේෂ් අයියා ඉතාම රසවත්ව පිටපත ලියනව. ඒකට හරියටම ගැළපෙන විදිහට පණ දෙන්න මට හැකියාව ලැබුණා. ඒ ගැන ගොඩක්ම සතුටුයි.


සුධීක්‍ෂා රංගන ශිල්පිනියක් නොවුණා නම්?


මම රංගන ශිල්පිනියක් නොවුණා නම් බොහෝ දුරට නීතිඥවරියක් වේවි.


මොනවද අලුත් වැඩකටයුතු?


මේ දවස්වල වසන්ත අයියගෙ ‘නිදොස්කොට නිදහස්’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නව. ඒක ඉදිරියේදී වෙනස්ම අත්දැකීමක් හැටියට ප්‍රේක්‍ෂකයන්ට දැකබලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම ‘සාරා’ නමින් සිනමා නිර්මාණයක වැඩ පටන්ගන්න සූදානමින් ඉන්නව සහ ලකයි සිකයි අයියගෙ ‘සුරදෙටුවෝ’ සිනමා නිර්මාණයටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.


සාමාජ මාධ්‍ය ගැන අදහස?


ඕනෑම දෙයක හරි දේ හරි විදිහට සමාජගත කරන එක තමයි සමාජ මාධ්‍යයෙන් වෙන්න ඕන. නමුත් මේ අතර සමාජමාධ්‍ය අවභාවිත කරන අවස්ථාත් අපිට දකින්න පුළුවන්. ප්‍රේක්‍ෂකයනුත් බුද්ධිමත් වෙන්න ඕන හරි දේ හරි විදිහට තෝරා බේරා ගන්න. වැරදි සමාජගත කරන මිනිස්සුන්ගෙ හිතට එකඟව දැනෙන්න ඕන අපි කරන්නෙ වැරැද්දක් කියල. එහෙම දැනෙන කෙනෙක් කවදාවත් තවත් කෙනෙක්ව විනාශ කරන්න කටයුතු කරන්නෙ නැහැ.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
Previous Post Next Post