
ප්‍රවීණ සිනමා නිළි නදීකා ගුණසේකරගේ දියණිය වන තෙනුකි හපුආරච්චි සිනමාවට. මේ පසුගිය සති අන්තේ සිනමාවෙන් ඇහුන පුවත් අතරට එක් වූ තවත් කතාවක්. ඒ නිසාම රසඳුන මේ කතාබහ තෙනුකි හපුආරච්චි සමඟ.
තෙනුකිට මුලින්ම ඇරයුම් ලැබෙන්නේ කොහොමද?
මුලින්ම මට සිනමාවට ඇරයුමක් ලැබුණේ රජිව් සිවදාසන් අධ්‍යක්ෂණය කරන “ඇයයි මමයි” චිත්‍රපටයෙන්. ඊට පස්සේ මට ආරාධනා කළා සෝමරත්න දිසානායක මහත්මයාගේ The Rapist චිත්‍රපටයට.
අපි මුලින්ම කතා කළොත් ‘ඇයයි මමයි‘ චිත්‍රපටයෙ චරිතේ ගැන?
එකේ මට තිබ්බේ ප්‍රධාන චරිතේ සෙකට්‍රි විදියට රඟපාන්න.
එතකොට The Rapist චිත්‍රපටය ගත්තම
එහි තාම අපි ෂූටින් පටන් ගත්තේ නම් නැහැ. ඒ නිසා තාම මට චරිතේ ගැන ලොකුවට පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි. හැබැයි තාරුණ්‍ය නියෝජනය කරන අලුත් විදියට ලෝකේ දිහා බලන, ජීවිතේ සරලව ගත කරන්න කැමති සුන්දර චරිතයක්.
තෙනුකිට මුලින්ම කැමරාවට මුහුණ දුන් අත්දැකීම කොහොමද?
මට එක හොඳක් තිබ්බේ රජිව් අයියා කියන්නේ අපේ ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක්. එයාගේ තාත්තා වී. සිවදාසන් කියන්නෙත් සිනමාවේ ඉන්න ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්. ඒ නිසා රජිව් අයියාව මම පොඩි කාලේ ඉඳන් දන්න නිසා මට තිබුණ බය පොඩ්ඩක් අඩු වුණා. ඒ ෆිල්ම් එකේ වැඩ කළේ මම ඒ වෙද්දී කතාබහ කරලා තිබ්බේ නැති නමුත් ක්ෂේත්‍රයේ වැඩ කරලා අත්දැකීම් තියෙන අය එක්ක. හැබැයි ඒ අයත් මාව ඉතා සුහදව පිළිගත්තා. ඒ නිසා හැමෝම එක්ක එකමුතුවෙන් ලස්සනට නිර්මාණයට දායක වෙන්න ලැබුණා. ඒ ලද අත්දැකීම් සියල්ල සුන්දරයි.
තෙනුකිට පුංචි තිරෙන් ඇරයුමක් ලැබුණොත් භාර ගන්නවද?
දැනට නම් මගේ කැමැත්ත සිනමාවට. මම සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යය බලන්නෙත් නැහැ. ඒකට හේතුව එක දිගටම එක නාට්‍යක් බැලෙන්නෙත් නැහැ. ඒක මට හරි අමාරුයි. ඒ නිසා ටෙලි නාට්‍යවලට ලොකු කැමැත්තකුත් නැහැ.
සිනමාවේ නම් ඕනෙම චරිතයක් භාර ගන්නවද?
ඕනෙම චරිතයක් නෙමෙයි. මට දෙයක් කළ හැකියි කියන විශ්වාසය මට දැනුණොත් මම ඒ චරිතේ තුළට මාව දා ගන්නවා. එහෙම චරිත ලැබුණොත් භාර ගන්නවා.
අම්මා රංගන ශිල්පිනියක් නිසාම ද තෙනුකිටත් රඟපාන්න හිතුනේ?
ඒක ගැන ඇත්තටම කියන්නේ කොහොමද? මම හිතන්නේ වෙලාවකට අම්මි කවුද කියන එකත් එක්ක එහෙම වෙන්නත් ඇති කියලා හිතෙනවා. හැබැයි කාලයත් එක්කම මටත් ආසාවක් ඇති වුණා රංගන ක්ෂේත්‍රයට එන්න.
මෙතනින් එහාට තෙනුකි කොහොමද කලාවෙන් ඉදිරියට යන්නේ?
දැනට හිතලා බලපුවම නම් රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි කැමැත්ත තියෙන්නේ. ඒ එක්කම මම මේ වෙද්දී ‘ෆිල්ම් මේකින්‘ කෝර්ස් එකක් කරනවා. මට තියෙන දැනුම තවත් වැඩි කර ගන්න.
අපේ රටේ ඉන්න ජනප්‍රිය ප්‍රවීණ නිළියකගේ දුවෙක් වීම ගැන අද මොකද හිතෙන්නේ?
මට ඒ නිළියව වැඩිය හමුවෙන්නේ නැහැ. හමුවුණත් හමුවෙන්නේ ගෙදරින් එළියට ගියාම විතරයි. මට එයා අම්මි විතරයි.
අම්මා ගැන කෙටියෙන් කිව්වොත්?
කෙටියෙන්ම කිව්වොත් පොඩ්ඩක් සැරයි. ඒ එක්කම ටිකක් මුරණ්ඩුයි. හැබැයි හැම වෙලාවේම හිනා වෙලා ඉන්න කැමති කෙනෙක්. මට හිතෙන්නේ දැන් එයා දරුවා වෙලා. මම අම්මා වෙලා කියලා. කාලය යනවත් එක්ක අපි දෙන්නාගේ ගෙදර භූමිකා දෙක මාරුවෙලා.
අම්මා රඟපෑ චරිත අතරේ වැඩියෙන්ම බලලා තියෙන නිර්මාණ මොනවද?
චංචල රේඛා සහ ඇය ඔබට බාරයි කියන ෆිල්ම් දෙක. මොකද චංචල රේඛා හි දං චූටි නිසා සහ ඇය ඔබට බාරයි හි අත්තම්මත් ඉන්න නිසා.
රඟපාන්න යද්දී අම්මා දුන්නු උපදෙස මොකක් ද?
අම්මි හැමදාම කියන්නේ කරන දේ හරියට කරන්න උත්සාහ කරන්න කියලයි. ඒ එක්කම ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ අයට ගරු කරමින් හැමෝම එක්ක සුහදව ඉන්න කියන උපදෙස තමයි පුංචි කාලේ ඉඳන් අම්මි මට කියලා දීලා තියෙන්නේ.
තෙනුකි ෆැෂන් කරන්න කැමති ද?
ෆැෂන් කියන දේ මට ආවේ මගේ අම්මිගෙන්. අදටත් අම්මි මට ඇඳුම් මහලා දෙනවා. මම අලුත් ඩිසයිනින් හොයලා දෙනවා. ඒ නිසා ෆැෂන් කියන එකට මම මගේ ජීවිතේ ලොකු ඉඩක් දීලා තියෙනවා.
තෙනුකි කියන්නේ මොන වගේ කෙනෙක් ද?
ඕනේ දෙයකට ඔට්ටු චරිතයක්. වෙලාවකට ටිකක් මුරණ්ඩු වෙන තැනුත් තියෙනවා.
ආදරේ දකින්නේ කොහොමද?
ආදරේ ගැන මම හිතන්නේ හැමෝටම අවශ්‍ය දෙයක්. ආදරේ කියන දේ විවිධ විදියට මේ ජිවිතේ දී අපිට හමුවෙනවා.
ආදරවන්තියක් ද?
ඔව්… මමත් ආදරේට ආදරේ වෙන කෙනෙක්.
