
රංගන ශිල්පියෙක් තම වෘත්තිය තුළ කොතරම් සාර්ථකදැයි තීරණය වන්නේ එකී රංගන ශිල්පියාට ලැබෙන නිර්මාණ ප්‍රමාණය හා, එම නිර්මාණවල රංගනයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය මතයි.ධනංජය සිරිවර්ධන යනුද එවැනි සාර්ථක රංගන ශිල්පියෙකි. මේ වසර ආරම්භයේ සිටම නිරන්තර ප්‍රේක්ෂක පැසසුමට ලක්වූ ඔහු පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙන්නේ, මදර් ලංකාහි සත්‍යා චරිතය හේතුවෙනි. සත්‍යා ගැන කියලම කතාව පටන් ගමු?
සත්‍යා කියන්නේ ක්‍රිෂාන්ති කුලසූරියගේ හදවතේ පිළිසිඳගත්, අනූෂ සංජීව එදිරිමුනි ආදරයෙන් රැකබලාගත් චරිතයක්. මේ සත්‍යා ඔබට හමුවෙන්නේ මදර් ලංකා චිත්‍රපටය තුළින්. සත්‍යා හරහා නිරූපණය වෙන්නේ අපි මෙතෙක් කාලයක් නිර්මාණවලින් නොදැකපු ආකාරයේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක්ව. සත්‍යා ගැන වචනවලින් පැහැදිලි කරන්න අමාරුයි. සත්‍යාව බිහිකරපු ක්‍රිෂාන්තිටවත්, ඇයව ගොඩනඟපු අනූෂටවත් සත්‍යා බවට පත් වුණු මටවත් සත්‍යා කියන්නේ කවුද කියලා හරියටම කියන්න බැහැ. ඇයව මදර් ලංකා තුළින් බොහොම අපූරුවට නිර්මාණය කරලා තියනවා.
සත්‍යා ලෙස ඔබේ රංගනය ඇගයීමට පාත්‍ර විය යුතුයි කියලා ප්‍රේක්ෂකයන් දැනටමත් කියනවා, මොකද හිතෙන්නේ?
මදර් ලංකා සිනමාපටය සංස්කරණය කරන මොහොතේදි මට ඔය කතාව මුලින්ම කිව්වේ අනූෂ අයියා. අධ්‍යක්ෂවරයා වශයෙන් ඔහු තමයි මේ සිනමාපටය මුලින්ම දකින්නේ සහ ඒක එක්ස්පිරියන්ස් කරන්නේ. ඒ වෙලාවේ ඉඳලා අනූෂ අයියා ඔය කතාව කියනවා. ඒ වගේම පසුව චිත්‍රපටය නරඹපු බොහෝ දෙනෙකුත් ඔය අදහස ඉදිරිපත් කරලා තිබුණා. ඇත්තටම සත්‍යා වැනි චරිතයක් සිනමාව ඇතුළේ ස්ථානගත කිරීමම හරිම අසීරු කාර්යයක්. මමත් ඇත්තටම ඔය කතාව දැක්කා. ප්‍රේක්ෂකයන්, සිනමා විචාරකයන් වගේම වෙනත් සිනමාකරුවන් පවා එවැනි අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ඒ ගැන මට සතුටුයි. බලමු ඉතින්. මම මුලින්ම විශ්වාස කරන දේ තමයි ප්‍රේක්ෂකයන්ගේ සම්මානය. මේ වෙද්දි මම ඒක දිනලා ඉවරයි.
සත්‍යාට අනුගත වීම පහසු කාර්යයක් නොවෙන්න ඇති?
ඒක ඇත්තටම අභියෝගයක්. අනූෂ අයියා මට මේක භාරදෙන්නෙම අභියෝගයක් විධියට. හැබැයි ඒ අභියෝගයෙදි මටත් කලින් මට සත්‍යාව හරියටම නිරූපණය කරන්න පුළුවන් කියලා ඔහු විශ්වාස කරා. මොකද සත්‍යා ඔහුගේ ඔළුවේ හිටියේ. ක්‍රිෂාන්ති අක්කා මේක ලිව්වට පස්සේ මීට අවුරුදු දෙකකට විතර කලින් තමයි අනූෂ අයියා මට මේ ගැන කියන්නේ. ඒ වෙද්දිත් පිටපත සම්පූර්ණ වෙලා තිබුණෙත් නැහැ. ඒත් මටත් කලින් සත්‍යා විධියට සත්‍යාගේ අම්මයි, තාත්තයි වුණු ක්‍රිෂාන්ති අක්කා සහ අනූෂ අයියා මාව විශ්වාස කළා. ඇත්තටම සත්‍යා විධියට අනුගත වෙන්න ගත කරපු කාලය ගැන මම දැන්ම කියන්නේ නැහැ කියලා තීරණය කරලා තියෙන්නේ. මොකද ඒකෙන් ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් වෙන්න පුළුවන් නිසා. නමුත් පසුකාලයේදී ඒ ගැන හෙළි කරනවා. ඇත්තටම අද ඔබ දකින සත්‍යා ගොඩනැඟුණේ දීර්ඝ කාලීන සැලසුමක, සූදානම් වීමක ප්‍රතිඵලයක් විධියට.
සත්‍යා වැනි කෙනෙක් මීට පෙර ප්‍රේක්ෂකයන්ට හමුවෙලා නැහැ කියලා ඔබ කියනවා?
සත්‍යා වැනි චරිත අපි දැකලා ඇති. නමුත් මට ඕන වුණේ මීට පෙර ප්‍රේක්ෂකයන් දැකලා තියෙන කෙනෙක් නිර්මාණය කරනවාට වඩා, මම සත්‍යා බවට පත්වීම. සිනමා පටය නරඹපු කෙනෙක් නම්, දැනටමත් ඔබ තේරුම්ගෙන ඇති අපි මීට පෙර සත්‍යා වැනි කෙනෙක්ව දැකලා නැති බව. මීට කලින් කවුරුත් දැකලා නැති චරිතයක් නිර්මාණය කරන්න නම් මම විශ්වාස කරා මම ඒ චරිතය බවට පත් විය යුතුයි කියලා. ඒකට අවශ්‍ය කරන හැම දේම මේ පිටපත ඇතුළේ ක්‍රිෂාන්ති ලියලා තිබුණා. එතැනින් එහාට නයන උජිත් හෙවත් වේශ නිරූපණ ශිල්පියා සත්‍යාව බාහිරින් සත්‍යා බවට පත් කිරීම සාර්ථකව සිදු කරා. මේ හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක් විධියට තමයි ඔබ මෙතෙක් කිසිම තැනකදි නොදැකපු සත්‍යා කෙනෙක් බිහිවුණේ.
ඕඩියනස් එක චරිතය කොහොම බාර ගනීද කියලා චකිතයක් තිබුණේ නැද්ද?
ඒකම තමයි මම මේක භාර ගන්න හේතුව. මීට කලින් මෙවැනි චරිත බහුලව පාවිච්චි කළේ මිනිස්සුන්ව හිනස්සන්න. එතැනදි මේ වගේ කොමර්ශල් ෆිල්ම් එකක ඒ වගේ චරිතයක් සීරියස් අරගෙන කරන්නේ කොහොමද කියන ගැටලුව මට තිබ්බා. එතැනදි මෙහි අධ්‍යක්ෂවරයා සහ රචිකාව තුළ දැඩි විශ්වාසයක් තිබුණා මේ චරිතය සීරියස් අරගෙන කරන්න පුළුවන් එකක් කියලා. ඇත්තටම මදර් ලංකා සම්පූර්ණ කණ්ඩායමේ ප්‍රතිඵලයක් විධියට තමයි මේ වගේ චරිතයක් බිහි වුණේ.
සිනමාව දැන් නැවතත් අළු ගසමින් නැඟිටින ගමන් එහි ඵල නෙළා ගන්න සිනමාකරුවන්ට හැකි වෙයිද?
ඇත්තටම මේ දවස කවදද උදාවෙන්නේ කියලා අපිත් බලාගෙන හිටියා. අපි හැමෝම දන්නවා ඕනෑම ස්වර්ණමය යුගයකින් පස්සේ බිහි වෙන්නේ අඳුරු යුගයක්. හැබැයි ඒ අඳුරු යුගයේදී පවා අපිට අතරින් පතර හොඳ නිර්මාණ රස විඳින්න හැකි වුණා. ස්වර්ණමය යුගය කියන්නේ මෙන්න මේ වගේ එකක් වෙන්න ඇති කියලා හරි අපිට හිතෙන්න පටන් ගන්නේ මෑතකදි අපේ සිනමාව ඇතුළේ එක ළඟ හොඳ නිර්මාණ රැසක් එළියට ඒම සහ ඒවා ප්‍රේක්ෂකයන්ගේ ආදරයට අවධානයට ලක්වීමත් එක්ක. ඒ වගේම එතැනදී තවත් විශේෂත්වයක් තමයි මේ සෑම චිත්‍රපටයක්ම වගේ එකිනෙකට වෙනස් නිර්මාණ වීම. ඔය කාරණයත් එක්ක අපිට පොඩි බයකුත් තිබ්බා ලබන අවුරුද්දේ පෙන්වන්න හොඳ චිත්‍රපට නැති වෙයිද කියලත්. නමුත් නිර්මාණයශීලීත්වය කියන්නේ එහෙම වියැකෙන දෙයක් නෙවෙයි. මේ වෙද්දි හොඳ ස්ටාර්ට් එකක් අරන් තියෙනවා දැන් අපිට තියෙන්නේ දිගටම ඒ පාරේ යන්න.
වෙනදට වඩා වෙනස් ටෙලි නාට්‍ය බිහි වෙන බවකුත් පේනවා?
ඒ වෙනස ඇත්තටම ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක්. පසුගිය කාලයේ විකාශය වුණු ඉරගිනි මද්දහන ටෙලි නාට්‍යය මෑත කාලීනව අපේ රටේ ටෙලි නාට්‍ය කලාවේ එක්තරා හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා. එම නාට්‍යයේ ප්‍රධාන චරිතවල ඉඳලා අනෙකුත් සෑම සෙසු චරිතයක්ම ප්‍රේක්ෂකයන් බොහොම ආදරයෙන් වැලඳ ගත්තා. ඒක බොහොම කාලතුරකින් සිද්ධ වෙන දෙයක්. මේ කාරණයත් එක්ක මිනිස්සු දැන් හොඳ ටෙලි නිර්මාණ හොයන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම මම සතුටු වෙනවා එකම වසරක් තුළ ඉරගිනි මද්දහන වගේ ටෙලි නිර්මාණයකත්, මදර් ලංකා වගේ චිත්‍රපටයකත් රඟපාන්න ලැබීම ගැන. ඉතින් ඉරගිනි මද්දහනට ආදරය කරපු පිරිසට අපි ආරාධනා කරනවා, මදර් ලංකා බලන්න එන්න කියලා. මොකද එතැන ඉන්නේ සමන්තා සහ බණ්ඩාර නෙවෙයි, සත්‍යා සහ ශාලු, ඔවුන් දෙදෙනා ඊට හාත්පසින් වෙනස් පුද්ගලයන් දෙදෙනෙක්. ඒ නිසා ඇවිත් ඒ වෙනසත් රස විඳින්න.
අවසන් වශයෙන් ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා කරමු?
ඔව්. ඇත්තටම මම රංගනයේ යෙදුණු ටෙලි නාට්‍ය හතරක් වගේ තව එන්න තියෙනවා. ඒ වගේම සිනමා නිර්මාණ තුනක් විතර තිරගත වීමට නියමිතයි. නමුත් ඒවා මේ වසර තුළදීම එළියට එයිද කියලා කියන්න අමාරුයි. නමුත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට මාව එකිනෙකට වෙනස් චරිත කිහිපයකින්ම දැකගන්න හැකියාව තියෙනවා.
