
දෛවයේ ලියැවී ඇත්නම් අප යන ගමන නවත්වන්නට අපටවත් නොහැකිය. පාසල තුළ නර්තනයෙන් දස්කම් පෙන්වා අහඹු ලෙස රංගනට අවතීර්ණ වූ මෙම රංගන ශිල්පිනියගේ තිඹිරිගෙය ටවර් හෝල් නාට්‍ය පාසලයි. ඉන් අනතුරුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන්ද රංගනය උගත් ඈ, තමා උගත් දෙයට සාධාරණය ඉටු කරමින් අද රටම හඳුනන අති දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත්ව සිටින්නීය. ඊට අමතරව මෙරට ප්‍රධාන පෙළේ පාසලක නාට්‍ය හා රංග කලා ගුරුවරියක් ලෙස සේවය කරන ඇය නමින් අයේෂා දිසානායකයි. මේ දවස්වල තොරතුරු කියලම කතාව ආරම්භ කරමු?
මේ දවස්වල මගේ ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙනවා. ඒ පාට කුරුල්ලෝ සහ රට පවුල. ඒ අතරිනුත් රට පවුල ටෙලි නාට්‍යයේ රංගනයට මේ දවස්වල හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. ඊට අමතරව මම වෘත්තියෙන් ගුරුවරියක්. ඉතින් ඔය දෙකත් එක්ක තමයි මගේ කාලය ගත වෙන්නේ.
ප්‍රේක්ෂකයන්ගේ කෝපයට ලක් විය හැකි චරිතයක් වුණත්, රට පවුල තුළ ඔබේ රංගනයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා?
ඇත්තටම මම මීට කලින් එවැනි චරිතයක් කරලා තිබුණේ නැහැ. එවැනි චරිතයක් කරපු පළමු වතාව. ඒ චරිතය භාර ගනිද්දි මට පොඩි චකිතයක් තිබුණා. නමුත් හසුන් සමීර එක්ක වැඩ කරන්න තිබුණු ආසාවට හොඳ පැත්තට වැඩේ වෙයි කියලා විශ්වාස කරලා තමයි මේ නිර්මාණය භාර ගත්තේ. මම රංගන ශිල්පිනියක්. එතැනදි සීමා මායිම් දාගෙන ඉන්න බැහැ. නමුත් මම රංගන ශිල්පිනියක් වගේම ගුරුවරියක්. එතැනදි මම විශ්වාස කරනවා දරුවෝ කියන්නේ අපි දිහා බලාගෙන හැදෙන පිරිසක් නිසා අපි ඔවුන්ට ආදර්ශවත් වෙන්න ඕන
කියලා. නමුත් මට ඉතාමත් සතුටුයි මම රැකියාව කරන පාසලේදි මගේ ඒ චරිතය ගැන කිසිම කතාබහක් නැහැ. ටෙලි නාට්‍යය නරඹලා ලබා දෙන හොඳ ප්‍රතිචාර හැර වෙනත් වැරැදි අදහස් කවුරුත් ප්‍රකාශ කරලා නැහැ. සමහර විට ප්‍රේක්ෂකයන්ට වුණත් මගේ ඒ චරිතයට බනින්න හිතෙන්නේ මගේ රංගන සාර්ථක නිසා වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.
ඒ කියන්නේ ලංකාවේ ප්‍රේක්ෂයන් දැන් නිර්මාණයක චරිත ඇසුරෙන් රංගන ශිල්පීන්ව විනිශ්චය කරන තත්ත්වය අඩු වෙලාද?
ඇත්තටම ඒ තත්ත්වයට ප්‍රේක්ෂකාගාර හැදෙන්න එක හේතුවක් තමයි රූපවාහිනි නාළිකාවලින් ඒ අභියෝගය භාර ගැනීම. උදාහරණයක් විධියට පසුගිය කාලය පුරාම ස්වාධීන රූපවාහිනිය හරහා ප්‍රේක්ෂකයන්ට වෙනස් වෙනස් නිර්මාණ අරගෙන ආවා. ඒ වගේ තවත් බොහෝ රූපවාහිනි නාළිකා ඒ අභියෝගය භාරගෙන වෙනස් නිර්මාණ තමන්ගේ නාළිකා
හරහා ප්‍රේක්ෂකයන් වෙතට අරගෙන ආවා. ඒත් එක්කම මේ රංගනය හරහා නිරූපණය කරන්නේ මේ සමාජයේ දකින්න තියෙන චරිතම තමයි කියලා හිතන්න, තේරුම්ගන්න පුළුවන් මට්ටමට අවබෝධය පුළුල් වුණා. ඒකත් එක්ක මට හිතෙනවා අපේ ප්‍රේක්ෂකයන්ගේ රස වින්දනය දියුණු වෙලා කියලා. මොකද අපි යන්න ඕන ලෝකයත් එක්ක. ඒ විධියට ලෝකය එක්ක ඉස්සරහට යද්දි අපිට දැන් බය නැතුව නිර්මාණයට උචිත වන විධියට රංගනයේ යෙදෙන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.
එක චරිතයකින් සාර්ථක වුණාට පස්සේ දක්ෂ රංගන ශිල්පීන් දිගටම එවැනි චරිතවලට කොටු කිරීම මොන තරම් අසාධාරණද?
පහුගිය කාලයේ මටත් ඒ වගේ චරිත හම්බවුණා. එහෙම ලැබුණු නිර්මාණවලින් මම කැමැති නිර්මාණවලට මම දායකත්වය දුන්නා. නමුත් අපි එහෙම ආසාවෙන්, කැමැත්තෙන් කරන හොඳ වැඩකදි, අපේ චරිතය සාර්ථක වුණාම ගොඩක් වෙලාවට දිගටම එවැනිම චරිතවලට ආරාධනා ලැබෙනවා. ඒත් එක්කම මම තීරණයක් ගත්තා කොච්චර හොඳ නිර්මාණයක් වුණත් එක වගේ චරිතවලට දායකත්වය දෙන්නේ නැහැ කියලා. ඇත්තටම සමහර චරිතවල අපිට ලොකුවට කරන්න දේකුත් නැහැ. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් සාර්ථකව රංගනයක් ඉදිරිපත් කළාම ඔවුන්ට නැවතත් එවැනි භූමිකාවලට ආරාධනා ලැබීම සාමාන්‍යයි. එතැනදි කවුරුත් වැරැදි නැහැ. නමුත් අපේ යහපත වෙනුවෙන් අපි උපක්‍රමශීලී විය යුතුයි.
ඒ විධියට වාරණ පනවා ගැනීම කොයි තරම් දුරට ප්‍රායෝගිකද?
අපේ වෘත්තිය රංගනය නම් අපිට එහෙම වාරණ දාගෙන ඉන්න බැහැ. නමුත් මට ඒ හැකියාව ලැබිලා තියෙන්නේ මම රංගනයට අමතරව ගුරු වෘත්තියෙත් නියැළෙන නිසා. ඒ නිසා මට වෙනත් ආදායම් මාර්ගයක් තියෙන නිසා මට හැකියාව තියෙනවා බැලන්ස් කරගෙන ඉන්න. හැබැයි වෘත්තීයමය රංගන ශිල්පීන්ට ඒක තරමක් අපහසු දෙයක්. එහෙම අවස්ථාවකදී අපිට ඒ වගේ වාරණ පනවා ගැනීමේදි යම් යම් බාධක තියෙනවා. මොකද අපේ ආදායම් මාර්ගය තීරණය වෙන්නේ ඒ හරහා නිසා.
අද වෙද්දි වේදිකා නාට්‍ය නරඹන්න වෙනම කල්චර් එකක් නිර්මාණය වෙලා, මේ ගැන කතා නොකරම බැහැ?
මම දින කිහිපයකට කලින් අන්තිමටම බලපු වේදිකා නාට්‍යය තමයි සෙනෙහෙබර ඩොලී. එදා මම නාට්‍යය බලද්දි දැක්ක දෙයක් තමයි ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිරී යන තරමට මිනිස්සු මේ නාට්‍යය බලන්න ඇවිත් හිටපු එක. ඇත්තටම ඒක දැක්කම මට හරි ආසාවක් සහ විශ්වාසයක් ඇති වුණා. වේදිකාවෙන් ආපු කෙනෙක් විධියට කාගේ හෝ නිර්මාණයකට ප්‍රේක්ෂකයන් ඉන්න එක විශාල සතුටක්. මොකද ඒත් එක්කම අපිට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙනවා මේ වේදිකාව තනි නොකරන ප්‍රේක්ෂක පිරිසක් තවමත් ඉන්නවා කියලා. මොකද අපිට බයක් තිබුණා වේදිකාව හිස් වෙයි කියලා. නමුත් අද වෙද්දි දක්ෂ-තරුණ අලුත් නිර්මාණකරුවන් පිරිසක් ඇවිත් ඉන්නවා. ඔවුන් ලස්සන වැඩ කරන වෙනස් වෙනස් වැඩ කරන පිරිසක්. ඔවුන් අද වෙද්දි අලුත් තාක්ෂණ ක්‍රම භාවිත කරමින් වේදිකාවට අලුත් වෙනසක් අරගෙන ඇවිත් තියෙනවා. ඒත් එක්කම වේදිකාවෙන් ආපු අපිට ආයෙත් අලුත් වැඩක් ගැන හිතන්න අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. මම කාලයකින් වේදිකාවට ගොඩ වුණේම නැහැ. නමුත් දැන් තියෙන තත්ත්වය දැක්කම ආයෙත් ඉක්මනින් වේදිකාවේ වැඩක් කරන්න ඕන කියන ජවය ඇති වෙලා තියෙනවා.
බදුල්ලෙන් ආපු අයේෂා අද රටම දන්න දක්ෂ රංගන ශිල්පිනියක්, ලංකාවේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක්, මොකද හිතෙන්නේ?
මම තවමත් හිතනවා මේ මම කවුද කියලා. සමහර වෙලාවට අනිත් අයට තියෙන දේවල් මට නැහැ කියලා හිතුණත් අලුතෙන් සිහිනයක් සැබෑ කරගන්න හිතද්දිම මට මම ආපු ගමන මතක් වෙනවා. මම ආපු ගමන සුළුපටු ගමනක් නෙවෙයි. තනියම හිතද්දි මට මං ගැන පුදුම අභිමානයක් දැනෙනවා. බදුල්ලේ විශාකාවෙන් පටන් ගත්ත මගේ ගමන නතර වුණේ කොළඹ විශාකාවට ඇවිත්. කවදා හිතපු දෙයක්ද ඒක. මම ඉගෙන ගන්න කාලේ කොළඹ විශාකාව ගැන අහලා තිබුණා. හැබැයි කොළඹ එන එකත් සිහිනයක් වෙලා තිබුණු මට මම මේ ආපු ගමන ලෙහෙසි පහසු ගමනක් නෙවෙයි.
අවසන් වශයෙන් ඉදිරි වැඩ කටයුතු ගැනත් මතක් කරමු?
අලුතෙන් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්න වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම අලුත් වේදිකා නාට්‍ය තුනකට වගේ ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වැඩත් මේ මාසයේ පටන් ගන්නවා. ටෙලි නාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබිලා තියනවා. නමුත් ඉදිරි කාලය වැඩි වශයෙන් යොදවන්න හිතාගෙන ඉන්නේ වේදිකාව වෙනුවෙන්. මගේ වේදිකා නාට්‍යය මේ වසරේ අග හෝ ලබන වසරේ මුල වේදිකාගත කරන්න උත්සාහ කරනවා. ඒ වගේම මගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් සැලසුම් කරගෙන යනවා. ඔය ඔක්කොමත් එක්කම මගේ ඉස්කෝලේ ළමයින්ව අමතක කරන්න බැහැ. එයාලත් එක්කත් අලුත් නාට්‍යයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
අක්ෂි මාපා වීරසිංහ
