රංගනය ඉගෙනගෙන ඉවර කරන්න බැහැ-මොරින් චාරුණි

gossiplanka image 2
 


සඳක් වැනි පියකරු මුහුණක් රංගන ශිල්පිනියකට ආභරණයකි. ඇය එවන් මුහුණක් හිමි රංගන ශිල්පිනියන් අතර ප්‍රමුඛ ස්ථානයක සිටින්නියක ලෙසද හඳුන්වා දිය හැකිය. ගම් පෙරළියෙහි නන්දාගේ චරිතයට පණ පෙවීම සඳහා අවස්ථාව හිමි වන්නේ ඇය සතු මෙම සුන්දරත්වය නිසාම වන්නට ඇත. දශක ගණනාවක්ම පෙම්වතියගේ චරිතයට උපරිම සාධාරණය ඉටු කරන අතර මේ වන විට අම්මාගේ චරිතයට තම දායකත්වය සපයමින් සි‌ටින මොරින් චාරුණි වන ඇය මේ දිනවල ප්‍රේක්ෂකයාට හමුවන්නේ හිරු TV වෙතින් විකාශය වන “හිද්දලයෝ” ටෙලි නාට්‍ය තුළින්ය. “හිද්දලයෝ” හි ඔබේ චරිතය ගැන මුලින්ම කතා කරමු.


“හිද්දලයෝ” ඓතිහාසික ශානරයේ නිර්මාණයක්. කුඩාපොළ ස්වාමීන් වහන්සේගේ චරිතය තමයි එමඟින් විදහා දැක්වෙන්නෙ. ලංකාව වරින් වර යටත් විජිතයක් බවට පත්වුණා. කුඩාපොළ හාමුදුරුවො යටත් නොවී තමන්ගේ අනන්‍යතාවය රැක ගන්න වෙහෙස වුණා. ස්වාමීන් වහන්සේට සහයෝගය පළ කළ ප්‍රභූ පවුල් කිහිපයක් එවකට එම ගමේ තිබුණා. එම පවුල් කිහිපය පිළිබඳ තමයි මේ කතාවෙන් කියැවෙන්නේ.


එහි මගේ චරිතය කුඩාපොළ හාමුදුරුවන්ගේ අඩිපාරෙම යන නිලමෙවරයකුගේ බිරියකගේ චරිතය.


රඟපාන චරිත තුළින් මෙතරම් ප්‍රේක්ෂක විශ්වාසය දිනාගන්නෙ කොහොමද?


තමන් රඟපාන චරිතය තුළින් ප්‍රේක්ෂක විශ්වාසය දිනා ගැනීමට අපි ලබන අද්දැකීම් හේතු වෙනවා. එම අත්දැකීම් ගොන්නේ තිබෙන අපි දැකපු, අහපු, කියපු දේවල් රඟපාන චරිතයට උපයෝගී කර ගන්න වෙනවා. ඒ වගේම අපි ළඟ තිබෙන දැනුම අවබෝධය වගේම අධ්‍යක්ෂවරයාගෙ උපදෙස් ලබා ගැනීමත් වැදගත් වෙනවා. ඒ සියල්ලටම අමතරව අපේ අතට චරිතය ලැබුණු පසු ඒ පිළිබඳ සොයන්න ඕන. මේක කොහොමද වෙන්නෙ, කවුද ඉන්නෙ, එයාගේ ගති ගුණ කොහොමද? කතාබහ, ඇවිදින්නෙ කොහොමද? දැනෙන්නෙ කොහොමද? ඒ සියලු දේ පිළිබඳ විමසිලිමත් වීමත් වැදගත් වෙනවා. මේ සියලු කාරණාවන්ගෙන් පසුව එම චරිතය රඟපෑමට පෙරත් ඉන් පසුවත් චරිතය අපේ කර ගන්න ඕනෑ.


“හිද්දලයෝ” හි අම්මා වගේම පාට කුරුල්ලෝ හි අම්මත් විශේෂයි නේද?


ඔව්… පාට කුරුල්ලෝහි කෙවින්ගේ අම්මා කියන්නේ මගේ හැබෑ චරිතය අහලකින්වත් තියන්න පුළුවන් චරිතයක් නොවෙයි. මගේ ගතිගුණ, ලක්ෂණ එකක්වත් කෙවින්ගෙ අම්මා ළඟ නැහැ. ඒ නිසාම එම චරිතය මට විශේෂයි. එතැනදී මොරින් චාරුණීගෙන් බැහැර වෙලා වෙනම චරිතයක් ගොඩනඟා ගන්න මට සිද්ධ වුණා. ඒ සඳහා අවශ්‍ය කතාබහ, ඇවිදින ආකාරය, අනෙක් අය සමඟ ගනුදෙනු කරන ආකාරය මේ සියල්ලක්ම අලුතෙන්ම හදා ගත්තා. ඉන්පසුව එම චරිතයට අවතීර්ණ වුණා. ඒ වගේම තමයි ඕනෑම චරිතයක් කරන අතරමැදදී වුවත් අනෙක් සහෝදර ශිල්පීන් සමඟ කතා කරනවා. ඔවුන්ගේ උපදෙස් ලබාගන්නවා. එහෙම නොකළොත් එම චරිතය දිගින් දිගටම කරන්න බැහැ.


“රංගනය ඉගෙනගත යුතුයි” ඇයි ඔබ එහෙම කියන්නෙ?


රංගනය කියන්නෙ ඉගෙනගෙන ඉවර කළ නොහැකි දෙයක්. මෙන්න මෙතැනින් මේ විෂය ඉවරයි කියලා පාසල් විෂය මාලාවෙ තිබෙන විෂයන් ඉවර කරන්න පුළුවන් වුණාට රංගනය එහෙම නැහැ. ඉවරයි කියලා එකක් නැහැ. මම අම්මගෙ චරිත 100ක් කළත් 101 වැනි වතාවට මම රඟපාන අම්මගෙ චරිතය වෙනස් වෙනවා. ඒ වගේම අපි දැකපු, අහපු, ස්පර්ශ කරපු චරිතයට අමතරව ඉන් ඔබ්බට ගිහින් වුණත් චරිත කරන්න පුළුවන්. සිතුවිල්ලක් අරගෙන වුණත් අපේ නිර්මාණශීලීත්වයෙන් චරිතයක් ගොඩනඟා ගන්න පුළුවන්. එම චරිතය අපි නොදැකපු එකක් නිසා ඒ පිළිබඳ අපි හිතන්න ඕන. එතැනදී මේ අධ්‍යයනය වැදගත්.


මීට කලින් චරිතවලට වගේම මේ චරිතයටත් සාර්ථක ප්‍රතිචාර ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවද?


අනිවාර්යයෙන්ම ඔව්. මම කරන හැම වැඩකදීම සමස්ත වශයෙන් මුළු නාට්‍යයටමත් සාධාරණයක් ඉටු වෙනවා කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ විශ්වාසය ඇදහීමක් ලෙසට නිතරම හිතනවා. මොකද අපි හැමෝම එකතු වෙලා කරන මේ කාර්යය ප්‍රේක්ෂකයා අතරට යන්න ඕනෑ. එහෙම ගිහින් විතරක් මදි. සාර්ථක ප්‍රතිචාරත් ලැබෙන්න ඕන. එහෙම ලැබෙන්න නම් අපි සියලුදෙනාම මහන්සි වෙලා වැඩ කරන්න ඕන.


“හිද්දලයො” අධ්‍යක්ෂවරයා “රනිල් කුලසිංහ” නියෝජනය කරන්නෙ නවක පරපුර. ප්‍රවීණයෙක් ලෙස ඔහු ගැන ඔබේ කියැවීම?


රනිල් කුලසිංහගේ නාට්‍යයක මම මුලින්ම රඟපාන්නෙ බොක්සිං ක්‍රීඩා කරන කාන්තාවකගේ චරිතයක්. යම්කිසි ප්‍රශ්නයක් වෙලා නාට්‍ය අතරමඟ නතර වුණා. ඉන්පසුව රනිල්ගෙ පානාමංකඩ ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වුණා. එය කොටස් 80කින් යුත් වරින් වර සම්මානයට පාත්‍ර වුණු නාට්‍යයක්. මේ නාට්‍යයේ ප්‍රවීණ වගේම නවක රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් සහභාගි වුණා. මෙම අධ්‍යක්ෂවරයා අලුත් අලුත් දෑ සොයා යන නිර්මාණකරුවෙක්. ඒ වගේම සුන්දර නම්‍යශීලී ආදරණීය පුද්ගලයෙක්. ඔහු තමන් කරන කාර්යය නිවැරැදිව කරන්න උත්සාහ ගන්නවා. මම මේ සහභාගි වෙන්නෙ ඔහුගේ තුන් වැනි නිර්මාණයට. ඔහු හොඳින් හඳුනාගන්න පුළුවන් නම් වැඩ කරන්න ඉතාමත් පහසුයි.


පටන්ගත් මුල් කාලය වගේම මේ වන විටත් ඔබ තවමත් කාර්යබහුලද?


බොහොම සතුටෙන් ඔව් කියන උත්තරය දෙනවා. කාර්යබහුලය කියන්නෙ ඉවරයක් නැතිව වැඩ තියෙනවා කියන එක නෙවෙයි. මුල් කාලයේ තිබුණා වගේම වැඩ ප්‍රමාණයක් මේ වන විටත් කරගෙන යනවා. මම රංගනයෙන් ගොඩක් උඩටම හරි ගොඩාක් පහළටම හරි ආව කෙනෙක් නෙවෙයි. මැද මාවතේ ආව කෙනෙක්. අදත් ඒ මැද මාවතේම ගමන් කරනවා. ඉතින් මුලදී තිබූ පිළිගැනීමම අදත් තිබෙනවා. එයට මම පෙර ආත්මයන්හි කරපු පින් බලය හා වාසනා ගුණයත් හේතුවක් වෙන්න ඇති කියන දේ විශ්වාස කරනවා.


යම් චරිතයක් නිරූපණය කරද්දි එම චරිතය ගොඩනඟා ගැනීමට මොනවගේ උපක්‍රමද භාවිත කරන්නෙ?


චරිතයක් ගොඩනඟා ගැනීමට උපක්‍රම නම් විශාල ප්‍රමාණයක් භාවිත කරනවා. එහෙම නැතිව සාර්ථක ලෙස චරිතයක් ගොඩනඟා ගන්න බැහැ. රංගනයේදී මට ලැබෙන හැම චරිතයක්ම මට හුරුපුරුදු නැහැ. එම නිසා චරිතයක් ලැබුණාම මම දවස් දෙකක් විතර එම චරිතය දෙස බලාගෙන ඉන්නවා. එම අවස්ථාවේදී එයා හැසිරෙන විදිහ, කනබොන විදිහ, ඇවිදින විදිහ වාඩිවන විදිහ වගේ එදිනෙදා දින චර්යාවන් සියල්ලක්ම අධ්‍යයනය කරනවා. මේ සියලු දේ හොඳින් මනසේ ධාරණය කරගෙන ඉන්පසු තමයි ඒ චරිතයට  අනුගත වෙන්නෙ.


ඒ වගේම රූගත කිරීම්වලට සහභාගි වූ අවස්ථාවේ සිටම එම චරිතය තුළම ජීවත් වෙනවා. එහෙම ජීවත් නොවුණහොත් එම චරිතය මගෙන් ගිලිහිලා යන්න පුළුවන්. දුරකථන භාවිතය අඩු කිරීම වගේම අලුත් අලුත් රංගන ක්‍රමවේදයන් අත්හදා බලනවා. මේ අවස්ථාවේදී මම අලුත් පරපුර නියෝජනය කරන ආදරණීය දුවලගෙන් පුතාලගෙනුත් ඉල්ලීමක් කරන්න කැමැතියි. කලාව තුළ සාර්ථක ගමනක් යන්න නම් මෙවැනි ක්‍රමයන් අනුගමනය කරන්න. එවිට ඔබටත් පුළුවන් ඔබේ ගුණාත්මක බව පවත්වා ගන්න.


ඓතිහාසික ශානරයේ නිර්මාණයකට දායක වීම වෙනම අත්දැකීමක්. මේ ගැන කතා කළොත්..


ඉතිහාසය පිළිබඳ නාට්‍යවල භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එම භාෂාව හුරු වෙන්න ඕනෑ. ඒ සඳහා ඒ පිළිබඳ මනා අවධානයක් යොමු කිරීමට අවශ්‍යයි. මෙහිදී භාෂාව වගේම වචන හසුරු වන ආකාරයත් වෙනස් වෙනවා. එහිදී වචන භාවිත කරන විලාසය, වාක්‍ය කඩන විදිහ, වාක්‍යයේ තාලය වර්තමානයේ වගේ නෙවෙයි. ඒ කාලයේ කාන්තාවන්ගේ හැසිරීම, ලාලිත්‍ය, ගාම්භීර බව ආදරණීය බව අද වගේ නොවෙයි. එම නිසා රංගනය හරිම පරෙස්සමෙන් මුදාහරින්න ඕනෑ.


වර්තමාන ටෙලි නාට්‍ය පිළිබඳ ඔබේ කියැවීම?


මේ දිනවල දීර්ඝ ලෙස විකාශනය වෙන මෙගා නාට්‍ය තමයි වැඩිපුර තියෙන්නෙ. බොහෝ දෙනාගේ විශ්වාසය එවැනි නාට්‍යවලට සහභාගි වීමෙන් තමන්ගේ ගුණාත්මක බව අඩු වෙන බව. නමුත් එවැනි නිර්මාණවලින් පවා ප්‍රේක්ෂකයා සතුටු කළ හැකියි. විශ්වාසය දිනාගත හැකි ආකාරයට චරිත නිරූපණය කරන්න බැරිකමක් නැහැ. කොටස් ප්‍රමාණය වැඩිය කියලා තමන්ට ලැබුණු චරිතය අතහැරීම කරන්න එපා. තමන්ට හැකි උපරිමයෙන් ඒ සඳහා රංගන දායකත්වය ලබාදෙන්න. එසේ කළ විට ඕනෑම නිර්මාණයක ගුණාත්මක බව රැක ගැනීම එතරම් අපහසු නැහැ.


අරුණි ජයසේකර

gossiplanka image 1
Previous Post Next Post