මගේ චිත්‍රපටවල ආදායම් ගැන බයවෙන්න ඕනෑ නෑ – සෝමරත්න දිසානායක

gossiplanka image 2
 


සූරිය අරණ, සිරිපැරකුම් වැනි ආදායම් වාර්තා තැබූ සිනමා නිර්මාණ වගේම සුනාමි, ජංගි හොරා, සිංහබාහු, කපුටු කොහෝ වැනි සිනමා නිර්මාණ රැසක් ඔබ වෙත තිළිණ කළ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණය ‘Rapist’ හි මුහුරත් උළෙල පසුගියදා කොළඹ ජානකී හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.


රේණුකා බාලසූරිය හා ෂෙහාන් සපරමාදු විසින් නිෂ්පාදනය කරනු ලැබූ මෙම සිනමා පටය සඳහා සජිත අනුත්තර, අභිලාෂි සන්තුෂ්කි, සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, සෙනාලි ෆොන්සේකා, සරත් කුලාංග, හෂිනිකා කරලියද්ද ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. ආචාර්ය සෝමරත්න දිසානායකයන් නවතම සිනමා නිර්මාණය සම්බන්ධයෙන් මෙම සමාරම්භක අවස්ථාවේදී අපත් සමග පැවසුවේ මෙවැන්නකි.


ඔබ මෙවර ටිකක් ආන්දෝලනාත්මක සිනමා නිර්මාණයක් තිරයට ගෙනඑන්න සූදානම් වෙනවා. මොකක්ද මේ ‘Rapist’ එහෙම නැතිනම් ස්ත්‍රී දූෂකයා?


දරුවකු දූෂණය වීම සම්බන්ධයෙන් කතාවක් තමයි සිනමාවට නැඟෙන්නේ. නමුත් මෙහි දූෂණය කිරීම සම්බන්ධයෙන්වත් අසැබි දර්ශන මොකක්වත් නැහැ. දූෂණයට නතු වුණ දරුවෙක් බේරාගන්න ගිහිල්ලා අහිංසකයෙක් අමාරුවේ වැටුණු කතාන්දරයක් තමයි තියෙන්නේ.


මේ පිටපත නිර්මාණය වුණු ආකාරය ගැනත් යමක් පැවසුවහොත්?


ඔය වගේ දේවල් සංසිද්ධීන් තියෙනවානේ. දැන් හිතන්නකෝ, සමහර වෙලාවට පොලිසියේ, අධිකරණයේ තිබෙන සිදුරු හරහා නිවැරදිකරුවන් වැරදිකරුවන් වෙනවා . ඉතින් උසාවියත් තීන්දු ලබාදෙන්නේ ලැබෙන සාක්ෂි සහ තිබෙන සාධක මතනේ. ඉතින් එහෙම වුණහම සමහර වෙලාවට නිවැරදිකරුවො වැරදිකරුවො වන අවස්ථා තියෙනවා. ඒ වගේම වැරදිකරුවො සොයාගන්න බැරිව ඔවුන් නිදහසේ ඉන්න අවස්ථාත් තියෙනවා. ඉතින් ඒ විදියේ දේවල් අපි සමාජයේ දකිනවානේ. අනෙක් එක තමයි හුඟක් පාරවල්වල හදිසි අනතුරක් හෝ යම්කිසි අනතුරක් වුණහම පාරෙ යන අය උදව් කරන්න ඉදිරිපත් වෙනවානේ. ඒ වෙලාවට ඉදිරිපත්වන අය ඉදිරිපත් වෙන්නේ මානුෂීය හැඟීම් අනුව. නමුත් ඔවුන්ටත් උසාවිවලයි, පොලිසිවලයි, සාක්කි කූඩුවල රස්තියාදු වෙන්න සිද්ධ වෙනවානේ. ඒක හින්ද ගොඩක් අය උදව් කරන්නත් මැළි වෙනවානේ. ඉතිං එහෙම දෙයක් දැකපු වෙලාවක තමයි මට ඔය සංකල්පය ඔළුවට ආවේ. මේ පිටපත ලියල ටිකක් කල්. නමුත් අපිට චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ ආර්ථික ගැටලු තිබුණානේ. කොවිඩි වසංගතය හින්දා අපි සුනාමි චිත්‍රපටයෙන් අතරමං වුණා. ඊට පස්සෙ අපි ආයෝජකයො සොයමින් තමයි නිර්මාණ බිහි කළේ. ඒක හින්දා මේකටත් අපි ආයෝජකයො සොයනවා. කොටසකට කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා සම නිෂ්පාදකයෙක් විදිහට, තවත් කාටහරි සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.



දැන් තිබෙන ආර්ථිකයත් එක්ක චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියන්නේ ලේසි නැහැ. ඒකද ඔබ මෙයින් අදහස් කරන්නේ?


ඔව්. චිත්‍රපටයක් කරනවා කියන එක ලොකු අභියෝගයක්. ඉස්සර වගේ නෙමෙයි වියපැහැදම් වැඩියි. හැබැයි ඒකෙ අනෙක් පැත්තකුත් තියෙනවා. වියදම් වැඩියි වගේම ආදායමත් වැඩියි. ප්‍රවේශ පත්‍රයක මිලත් ඉහළයි. විශේෂයෙන් මගේ චිත්‍රපටවල නම් ආදායම් ගැන බයවෙන්න ඕනෑ නැහැ. ඉතිහාසයේ මගේ චිත්‍රපට හැම එකක්ම වාර්තා තබල තියෙනවානේ. දේශීය සිනමාවේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව, වැඩිම ආදායම කියන වාර්තාව තියෙන්නෙත් මට. මේ චිත්‍රපටයෙත් ආදායම ගැන නම් මට කිසිම සැකයක් නැහැ.



ඔබ කවදත් අභියෝගාත්මක කාරණා තමයි සිනමාවට ගෙනඑන්න බලන්නේ. ඇයි ඒ?


මම හිතන්නේ කලාකරුවෙක් වගේම ඕනෑම කෙනෙක් අත්හදා බැලීම් කරන්න ඕනෑ. අපි අලුත් දේවල් කරන්න ඕනෑ. අපි සාම්ප්‍රදායික රාමුවක ඉඳලා සාම්ප්‍රදායික රේඛාවක ගමන් කරනවා නම් ලෝකය දියුණු වෙන්නේ නැහැනේ. ඒක හින්දා අපි අලුත් දේවල් හොයන්න ඕනෑ. අලුත් දේවල් කරන්න ඕනෑ. අභියෝගවලට මුහුණදෙන්න ඕනෑ. මම ඒකට කැමැතියි. මම අභියෝග රැසකට මුහුණදීලා තියෙනවා. ඒ වගේම විවිධ අත්හදා බැලීම් රැසක් සිදුකරලා තියෙනවා. ඒ එකක්වත් මට වැරදිලා නැහැ. මේකත් සාමාන්‍යයෙන් සිනමාකරුවෙක් අතනොතබන විදිහේ වස්තුබීජයක්. නමුත් මම ඒකෙන් කලාකෘතියක් නිර්මාණය කරනු ලබනවා. නමුත් මම ඒකෙන් අසැබි දෙයක් හෝ කුණුහරපයක් හෝ මිනිස්සුන්ට බලන්න බැරි දෙයක් කරන්නේ නැහැ. සමාජයේ පවතින සංසිද්ධියක් මම සිනමාරූපීව ඉදිරිපත් කරනවා.



චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවාට වඩා ලොකු අභියෝගයක් තමයි ප්‍රදර්ශනය. මේ අභියෝගයට මුහුණදෙන්න හිතාගෙන ඉන්නේ කොහොමද?


චිත්‍රපටයක් හදන එක නෙමෙයි අමාරුම කාර්යය, ප්‍රදර්ශනයයි. දැනට අපිට තියෙන්නේ අවිධිමත් ප්‍රදර්ශන රටාවක්. මේක වෙනස් වෙන්න ඕනෑ. දැන් අපි මේක බොහොම කාලයක ඉඳලා කරන දෙයක්. චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා තිබෙන අවිධිමත් අසාධාරණ වැඩපිළිවෙළක් යටතේ තමයි අපි චිත්‍රපට පෙන්වන්නේ. මණ්ඩල පහකට බෙදලා සිනමාශාලා, අපිට ඒවායේ චිත්‍රපට පෙන්වන්න කියලා බලකර සිටිනවා. මණ්ඩල ක්‍රමයට තමයි තවම චිත්‍රපට පෙන්වන්නේ. නමුත් ලංකාවේ සිනමාවේ තියෙන ලොකුම ගැටලුවක් තමයි ප්‍රදර්ශන මණ්ඩල සමග ප්‍රදර්ශනය කිරීම. එකම මණ්ඩලයකටවත් ප්‍රමාණවත් සිනමාශාලා නැහැ දිවයින පුරා චිත්‍රපට පෙන්වන්න. ඉතින් එහෙම තියෙද්දිත් තවම ක්‍රියාත්මක වෙන්නේ මණ්ඩල ක්‍රමය. හරිම අසාර්ථක, වැඩකට නැති පිළිවෙතක්. අපි දිගින් දිගටම කියා සිටින්නේ මේ ක්‍රමය වෙනස් කරන්න කියලයි.

gossiplanka image 1
Previous Post Next Post