මම කරලියට එන්නේ මගේම ගීතයකින්-හංසිකා සේනාරත්න

gossiplanka image 2
 


නව පරපුරේ සිටින ඉගෙනීමටත්, නර්ථනයටත්, දක්ශ රූමත් නැගීඑන ගායන ශිල්පිනියක් සමඟ මෙවර හදගැස්මට සොඳුරු කතාබහක් එකතු කරන්න හිතුවා. සංගීතයේ නව මාවතක් සොයා යන ඇය නමින් හංසිකා සේනාරත්න. මේ දිනවල විස්තර?


පුංචිම කාලෙ ඉඳන් දැකපු හීනයක් වෙනුවෙන් මේ දවස්වල මන් ඉතාම කාර්යබහුල වෙලා ඉන්නෙ. ඒ හීනය ඉටුවෙන ගමන්, හැබෑ කරගන්න ගමන් තියෙන්නෙ. ඉතිං ඒ ගැන විස්තර මන් ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා.


ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් කියලම ඉමු?


මම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවෙ පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඉන්පසු ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වෙලා මම නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙලා උසස් පෙළ දක්වා ඉගෙනුම ලබනවා.


මම දැනට ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ අවසන් වසර උපාධි අපේක්ෂිකාවක් ලෙස ඉගෙනුම ලබනවා.


මගේ පාසල වගේම විශ්වවිද්‍යාලය ගැන කියන්නම ඕන. මොකද අද මන් මේ ඉන්න තැනට එන්න මගේ විශ්වවිද්‍යාලය මට ලොකු ශක්තියක් වෙනවා. සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නේ කොහොමද, මේ වගේ ක්ෂේත්‍රයක රැඳී ඉන්නේ කොහොමද කියන එක මම මුලින්ම ඉගෙන ගත්තේ මගේ විශ්වවිද්‍යාලයෙන්.


පවුලේ විස්තර?


මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි අයියයි ආච්චි සීයයි තමයි ඉන්නෙ.


ගායිකාවක් වෙන්න හීන දැකපු කෙනෙක්ද?


ඇත්තෙන්ම ඔව්. මම පුංචිම කාලේ ඉඳන් දැකපු ලොකුම හීනය තමයි ලංකාවේ දක්ෂ ජනප්‍රිය ගායිකාවක් වෙනවා කියන එක. මම ඒ නිසාම සංගීතය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළා. සංගීතය කියන්නෙ හරිම පුළුල් විෂයක්. මගේ අරමුණ තමයි සංගීතය පිළිබඳ හොඳින් හදාරමින් අර්ථවත් ලස්සන නිර්මාණ බිහි කරන්න.


ඒ කියන්නේ අනාගතයේදී අර්ථවත් නිර්මාණ බිහි කරනවා කියන එකද?


ඔව්. අනිවාර්යෙන්ම. ළඟදීම මගේ නිර්මාණ රැසක් එන්න තියෙනවා. ඒ හැම නිර්මාණයක්ම වෙනස්ම විදිහේ නිර්මාණ වෙයි කියලා මම විශ්වාස කරනවා.


හංසිකා සැබෑ ජීවිතයේදී මොන වගේ තරුණියක්ද?


අහිංසකයි. මිනිස්සුන්ට බොහෝම ආදරය කරන වැරැද්දට වැරැදියි කියන කෙළින් කතා කරන කෙනෙක්. හැමෝටම උදවු කරගෙන ආදරණීයව සිටින තරුණියක්. හැබැයි අසාධාරණයේදී නම් කට වහගෙන ඉන්නෙ නැහැ.


මේ ගෙවී ගිය ජීවිතය ගැන හිතෙන්නේ කොහොමද?


ජීවිතයට දුක, සතුට, බාධක, කම්කටොලු එනවා. මගේ ජීවිතයත් එහෙමයි. හැබැයි ඒ හැමදෙයකටම හරිම මධ්‍යස්ථව මුහුණ දීලා ජීවිතය හරි ලස්සනට ගත කරනවා. මම හැම වෙලාවෙම හිතනවා මම හරිම වාසනාවන්තයි කියලා. මිනිස්සු හැමෝම එක්ක මම හොඳින් සිටින කෙනෙක්. හැමෝටම එකවගේ ආදරෙයි. මම වෛරයෙන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසාම දෝ මගේ ජීවිතය හරිම සුන්දරයි.


සංගීත ක්ෂේත්‍රය මොන විදිහටද දැනෙන්නෙ?


හරිම නිදහස් ක්ෂේත්‍රයක්. කරන දේ හරියට කළොත් හැමෝම හොඳ කියනවා. වැරැදි තැනක් තිබුණොත් පෙන්නලා දෙනවා. ඒකට මම හරිම කැමැතියි. සංගීතය කියන්නෙ අඩුපාඩු හදා ගනිමින් අත්දැකීම් ප්‍රගුණ කරමින් යා යුතු ගමනක්.


පවුලේ අයගෙන් සහ යහළුවන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


පොඩි කාලෙ ඉඳන්ම මේ වෙනකම් මගේ ජීවිතේ මට ඉන්න ලොකුම ශක්තිය මගේ අම්මා. මගේ සංගීත ගමනටත් මගේ අම්මා මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම තාත්තා, අයියා, ආච්චි, සීයත් මට හැමදේටම ගොඩක් උදවු කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනෙ මගේ සංගීත ගුරුවරයා ගැන. බුද්දික දයාරත්න සර්. සර් මගේ සංගීත ගමනට ලොකු ශක්තියක් වෙලා ඉන්නවා. ඒ වගේම මගේ යාළුවොත් මට ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා.


අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නෙ?


ළඟදීම මගේ නිර්මාණ කිහිපයක් තුළින් ඔයාල අතරට එන්න මම බලාපොරොත්තු වෙනවා. මම මගේ ආදරණීය රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියලා.

gossiplanka image 1
Previous Post Next Post