
තව නොබෝ දිනකින් රිදී තිරය වර්ණවත් කරන්නට නියමිත චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ චිත්‍රපටයේ වීරයාගේ භූමිකාව නිරූපණය කරන්නේ පූජන දන්දෙණියයි. වර්තමානයේ මෙරට කැපීපෙනෙන රංගන ශිල්පියකු ලෙස හැඳින්විය හැකි පූජන සමඟ එය නිමිති කරගෙන අප විසින් කරන ලද සංවාදයයි මේ. ‘ෆාදර්’ කියන්නෙ පූජන ප්‍රධාන චරිතය නිරූපණය කරන පළමු චිත්‍රපටය නේද?
ඔව්, මීට කලින් එක චිත්‍රපටයකට විතරයි මට දායක වෙන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ. ඒ ‘සිහින සමීකරණ’ කියන චිත්‍රපටය. දෙවැනි චිත්‍රපටය විදිහට තමයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ. චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ පළමුවැනි වතාවට.
මුලින්ම චරිතයට ආරාධනාව ලැබුණම මොකද හිතුණෙ?
අධ්‍යක්‍ෂ චමින්ද ජයසූරිය මං කාලයක් තිස්සෙ දන්නවා. වේදිකාවෙන් තමයි අපි හමුවුණේ. කාලයක් තිස්සෙ අපි බොහොම කුලුපගව ඇසුරු කරනවා. ඒ කාලෙත් එයා නිතරම කියනවා ‘අපි වැඩක් ප්ලෑන් කරගෙන යනවා, උඹ තමයි ඒකට ඕනෙ’ කියලා. නමුත් මං හිතුවෙ නෑ ඒක මෙච්චර දැවැන්ත වැඩක් කියලා. දවසක් එක පාරම එයා මට ‘ෆාදර්’ ෆිල්ම් එකට කතා කළා. ඊට පස්සෙ මට පිටපත එව්වා. ඒක කියවලා, වැඩේ යන වැඩ පිළිවෙළත් ඇහුවට පස්සෙ මං ඇත්තටම පුදුම වුණා. ඇත්තටම මම සිනමාවට නවකයෙක්. සාමාන්‍යයෙන් ඩිරෙක්ටර්ස්ලා එවැනි අවදානම් ගන්නවා අඩුයි. ඒක ලොකු අවස්ථාවක් වුණා. මට හිතුණෙ දක්‍ෂතාව වගේම වාසනාව කියන එකත් නළුවකුට අවශ්‍යයි කියලා මේ වගේ චරිතයක් හම්බ වෙන්න. ඇත්තටම ඒක හරි සතුටක්.
මෙහි ඔබ නිරූපණය කරන්නේ අදටත් ජීවතුන් අතර ඉන්න ඒහිදී පුද්ගලයකුගෙ චරිතයක්. පෙර සූදානම මොන වගේද?
මේකට පාදක වුණ සැබෑ චරිතය මට හම්බ වුණේ එක පාරයි. විශේෂයෙන්ම අපේ අධ්‍යක්ෂවරයාට ඕන වුණේ නිකන්ම ඔහුගෙ චරිත කතාව නිරූපණය කරන්න නෙවෙයි. ඔහුට ඒ චරිතය ඇසුරෙන් කියන්න ඕනෙ දෘෂ්ටිවාදයක් තිබුණා. ඔහුට අවශ්‍ය වුණේ ඒක මගෙන් ගන්න කියලයි මං විශ්වාස කරන්නෙ. ඒ නිසා මට උපදෙස් ලැබුණෙ ඒ චරිතය රිසර්ච් කරන්න කියල නෙවෙයි. එවකට දේශපාලන වාතාවරණය මොකද්ද, සමාජ පසුබිම මොකද්ද කියන වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න කියලයි. ඉතිං මං ඒ ගැන අවධානය යොමු කළා. අධ්‍යක්ෂවරයා නිතරම කිව්වෙ, ‘උඹේ ඇතුළෙ තියෙන දේ ගන්න මං දන්නවා, උඹ නිදහසේ ඉඳපන්’ කියලයි. මං සාමාන්‍යයෙන් රෙෆරන්ස් බලන මනුස්සයෙක්. චරිතයක් ලැබුණාම ඒක අදාළ වෙන ශානරයක් තියෙනවනෙ. මේක ගත්තොත් ගැන්ග්ස්ටර් ත්‍රිලර්. එතකොට මං ලෝකෙ ඒ වගේ නිර්මාණය වුණ වෙනත් නිර්මාණ බලනවා. මනිරත්නම්ගෙ, රාම් ගෝපාල් වර්මාගෙ වගේ ආසියාව ඇතුළෙ එහෙම හැදුණ ඒවායෙ ලක්‍ෂණ අධ්‍යයනය කළා.
මේ වගේ චරිතයක් නිරූපණය කරද්දි මේකප් ආර්ටිස්ට්, කස්ටියුම් ඩිසයිනර් වගේ අයට ලොකු වගකීමක් පැවරෙනවා?
ඔව්, උදේ නැඟිටපු වෙලාවෙ ඉඳල වෙන හැමදෙයක්ම වැදගත්. මට ලැබුණ ලොකුම අවස්ථාව තමයි ඒ තාක්ෂණික ශිල්පීන් හැමෝම පළපුරුදු අය වීම. මට වඩා සෑහෙන්න අත්දැකීම් තියෙන පිරිසක් එක්ක මං වැඩ කළේ. ඇත්තටම සෙට් එකේදි මට එයාලගෙන් ලොකු ට්‍රීට්මන්ට් එකක් ලැබුණා. ඒ නිසා මට තිබුණෙ කැරැක්ටර් එකට ෆෝකස් වෙන්න විතරයි. මට අවශ්‍ය කරන අනෙක් හැමදෙයක්ම එයාල අතින් සිද්ධ වුණා. ප්‍රියන්ත එස්. වන්නිනායක තමයි අපේ මේකප් ආර්ටිස්ට් හිටියෙ. මේකප් එකට වාඩි වුණාම මං එයා එක්ක ගොඩක් දේවල් කතා කරනවා. ඔහු සමහර වෙලාවට යෝජනා කරනවා ‘අපි රැවුල ටිකක් මේ ගාණට හදා ගමුද, ඩිරෙක්ටර් එක්ක කතා කරමුද’ වගේ දේවල්. සෙට් එකට ගියාම හැමෝම එහෙමයි. ඩීඕපී, ඒඩී මේ හැමෝම හරිම ෆෝකස්. මේ වැඩේදි තමන්ගෙ වැඩක් වගේ හැමෝම එක විදිහට මහන්සි වුණා. නැත්නම් මෙච්චර දැවැන්ත වැඩක් මෙච්චර අඩු කාලෙකදි කරන්න අපිට බැරි වෙනවා.
ඔබේ චරිතය ගොඩනඟා ගන්න අනෙක් චරිතවලින් ලැබුණ සහයෝගය කොහොමද?
චරිතය ගොඩනඟා ගන්න අංක එකටම උපකාරී වෙන්නෙ පිටපත. මං චමින්ද අයියා එක්ක ෆිල්ම් එක ගැන සාකච්ඡා කරන්න කලින් එයා මුලින්ම කළේ මට පිටපත කියවන්න දීපු එක. ඒ කියැවීම ඇතුළෙ මං මගේ පරිකල්පනය එක්ක චරිතය ගැන හැඩයක් හදා ගත්තා. ඊට පස්සෙ ආපු ලොකුම දේ තමයි මං චරිතය පරිකල්පනය කර ගත්තට මගේ ශරීර ස්වභාවය නෙවෙයි ඇත්ත කෙනාට තියෙන්නෙ. එතැනම ලොකු වෙනසක් තියෙනවා. එතකොට තමයි මට තේරුණේ චමින්ද අයියට ඕනෙ ඒ චරිතෙ එහෙමම නිරූපණය කරන්න නෙවෙයි. ඒ ජීවිත කතාව ඇසුරින් තව යමක් කියන්න කියලා. වැඩේ කරන්න පටන් ගත්තම සිනමාවෙ මගේ වීරයෝ ගොඩක් මට වැඩේ ඇතුළෙ හම්බ වුණා. ඒ කියන්නෙ රංගන ශිල්පීන් කියලා මං වීරයෝ විදිහට සලකන ගොඩක් අය මැද්දෙ තමයි මට වීරයා වෙන්න අවස්ථාව ලැබුණෙ. ඒක හරි අපූරු අත්දැකීමක්. බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න ඇතුළු බොහෝ දෙනෙක් මං දේවත්වයෙන් වගේ අදහන රංගන ශිල්පීන්. ඒ සියල්ල මැද්දෙ මට වීරයා වෙන්න ලැබුණ එක, එක පැත්තකින් මට ලොකු පීඩනයකුත් වුණා. ඊට අමතරව මගේ සමකාලීනයොත් සෑහෙන ප්‍රමාණයක්. ශේවියර් කණිෂ්ක, අකලංක ප්‍රභාෂ්වර, චානක බණ්ඩාර, පසන් රණවීර ආදී පිරිසක්. මේ සෙට් එකත් ඇවිල්ල නිකන් අය නෙවෙයි, හයේ පාරවල් ගහන කට්ටිය. හැබැයි මේ හැමෝගෙම ෆෝකස් එක මට තිබුණා. ඒ හැමෝගෙම ආදරය මට ලැබුණා. ජගත් මනුවර්ණ එක තැනකදි මට කිව්වා ‘උඹ හීරෝ හින්ද තමයි මං විලන් වෙන්නෙ, හරියට වැඩේ කරපන්’ කියලා. එයා ඒක චැලේන්ජ් එකක් විදිහට මට දුන්නා. තමන්ගෙ වීරයො අතර වීරයෙක් වෙන්න ලැබීම වාසනාවක්නෙ. මං ඒ හැඟීම තාම විඳිනවා. ඒ ගැන චමින්ද අයියට ස්තුතිවන්ත විය යුතුයි.
චිත්‍රපටය රූගත කළ අත්දැකීම කොහොමද?
අපි ටයිට් ෂෙඩියුල් එකක වැඩ කළා. රංගන ශිල්පීන් විදිහට අපිට ලොකු නිදහසක් තිබුණා. නමුත් කෘෘ එක එකම විදිහට, එකම වේගෙන් වැඩ කළා. රන්මිණිතැන්නෙ තමයි ගොඩක් රූගත කිරීම් වුණේ. ඒ වැඩ ඇතුළෙම අපිට එතැන ගෙදර වගේ වුණා. ෆැමිලි එකක් වගේ හැමෝම එකට සෙට් වුණා. ඒ වගේම ඔන් ටයිම් හැමදාම අපි ෂූටින් පටන් ගත්තා. ඒකෙ ගෞරවය අපේ සහාය අධ්‍යක්‍ෂක උදය ප්‍රසන්නට ලැබිය යුතුයි. අර අකුරටම වැඩ කරනවා කියල අපි නිකම් කතාවට කියන්නෙ. අන්න ඒ විදිහට වැඩේ අකුරටම වුණා. ඒක මාරයි. මොකද මේක ලොකු කාස්ට් එකක් එක්ක ගිය වැඩක්. සිය ගාණක් සෙනඟ එක දවසට. ඒ සෙනඟ පාලනය කරනවා කියන එකත් වැඩක්නෙ. මං හිතන්නෙ ෂෙඩියුල් කරපු කාල සීමාව ඇතුළෙ අපි මේක ෂූට් කළා. ඒකට එක හේතුවක් වුණේ පොඩි චරිතයකට පවා දක්‍ෂ රංගන ශිල්පීන් අරගෙන තිබීම. ඔවුන්ට හොඳ වෘත්තිමය දැනුමක් තිබුණා. වැඩේ නාන රංගන ශිල්පීන් නම් අපිට හම්බ වුණේම නැති තරම්. හැමෝම අධ්‍යක්‍ෂකවරයා ඉල්ලපු දේ හරියටම දුන්නා. දක්ෂයො ගොඩක් එකතු වුණාම වැඩක් ලේසි වෙනවනෙ. අධ්‍යක්‍ෂකවරයාගෙ කාන්දම් ගුණය ඉතාම හොඳට වැඩ කරපු වැඩක් මේක. එයා කාන්දමක් වුණාම අනෙක් අය හැමෝම එයාගෙ වටේ එකතු වෙනවනෙ. ඒ වගේම සිනමාවට ආධුනිකයෙක් වශයෙන් මට මේක නියම අභ්‍යාස බිමක් වුණා.
පූජන දන්දෙණියට සිනමාවෙ ඊළඟ තාරකාව වෙන්න හැකියාවක් තිබෙනවා කියලා යෝජනා කළොත්?
මං නම් කියන්නෙ තරු පායන්න අහසක් තියෙන්න ඕනෑ කියලයි. ඒ කියන්නෙ නළුවකුට පවතින්න කර්මාන්තයක් තිබෙන්න ඕනෙ. අනෙක් අතට මං තරු ගුණය කියන එක එච්චර විශ්වාස කරන්නෙ නැහැ. රංගන ශිල්පියෙක් විදිහට වැඩ කරන්න මං මාර කැමැතියි. නමුත් ප්‍රේක්ෂක අවධානය කියන එක අපිට අවශ්‍යයිනෙ. හැබැයි ඔය තරු ගුණය කියන්නෙ මේන්ටේන් කරන්න ඕනෙ එකක්. ඒක කරන්න මට තේරෙන්නෙ නෑ.
සංවාදය – කසුන් සමරතුංග
