
ජයලත් මනෝරත්න අයියගෙ අභාවයත් සමඟ ඔහුගේ “අන්දරේලා” වේදිකා නාට්‍ය නැවැතිලා තිබුණා. එහි රංගන අධීක්ෂණ කටයුතු කරලා නැවැතත් එම නාට්‍ය රඟදක්වන්න කියලා ඔහුගේ පුත් භානුක මනෝරත්න මගෙන් ඉල්ලීමක් කළා. මම එම ඉල්ලීම භාරගෙන එහි පැරැණි නාට්‍ය කණ්ඩායම නැවැතත් එකතු කරගෙන එහි දෙවැනි සංස්කරණය සිදුකළා. එහි පුහුණුවීම්වලට වැඩි කාලයක් වැය කරන්න මට සිද්ධ වුණු නිසා මේ ගත වෙන්නේ තරමක අවිවේකී කාලසීමාවක්.
මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ. ඒ වෙනුවට නවකයන් තෝරා ගන්නේ කොහොමද?
මෙම වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරපු ජයලත් මනෝරත්නයන්ගේ අඩුව නම් පුරවන්න බැහැ. එහෙත් එම චරිතයට මම තෝරා ගත්තෙ රවීන්ද්‍ර යසස් කුමානායකයි. ඔහු එම චරිතයට උපරිම සාධාරණයක් කළා. ඊට අමතරව රුවන් වික්‍රමසිංහ සමඟ කවිඳු බණ්ඩාර සහ ඔවිදු බණ්ඩාර කියන නවක පරපුරේ රංගන ශිල්පීන් දෙපොළ සහභාගි කරවා ගෙන මේ නාට්‍යයේ සංස්කරණ කටයුතු සිද්ධ කළා. ඒ ආකාරයට සංස්කරණය වූ නව වේදිකා නාට්‍ය පසුගිය 22 වැනි දින ටවර් හෝල් එකේදී වේදිකාගත කළා.
කොහොමද ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර?
හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ වේදිකා නාට්‍ය ජයලත් අයියා කරන කාලෙදි නැරැඹූ අයත් ඇවිත් සිටියා. එදා දර්ශනය වූ නාට්‍යයේ සහ මෙදා වේදිකාගත වූ නාට්‍යයේත් ලොකු වෙනසක් නැහැ කියලා ඔවුන් කිව්වා. “අන්දරේලා” වේදිකා නාට්‍ය කණ්ඩායමේ පැරැණිම සාමාජිකාවක් වන මම ජයලත් අයියා එය අධ්‍යක්ෂණය කළ ආකාරය සහ ඔහුගේ රංගන විලාසය ආදිය දැක්කා. මේ කටයුත්ත සාර්ථක කර ගන්න එම කාරණයත් ඉවහල් වෙන්න ඇති. ඒ වගේම අපි මේ වන විට මේ නාට්‍ය වෙනුවෙන් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණය කරනවා. මීට කලින් එහෙම කරලා නැහැ. නමුත් දැන් තිබෙන තරගකාරිත්වයත් සමඟ නාට්‍ය දර්ශන වාර එක් ශිල්පියකුගේ අඩුවක් නිසා නතර කරන්න බැහැ.
මේ දිනවල ඔබව දක්නට ලැබෙන්නේ “විසේකාරී” සහ “පාට කුරුල්ලෝ” ටෙලි නාට්‍ය හරහා ඒ ගැනත් යමක් කියන්නම වෙනවා?
පාට කුරුල්ලෝහි මගේ චරිතයේ නම විශාකා. දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. පුංචි කාලෙදි මොන තරම් ආදරයෙන් හැදුවත් දරුවන් ලොකු වෙලා ආදර සම්බන්ධතා ඇති වුණාම වෙනස් වන ආකාරය අත්විඳින අම්මා කෙනකුගේ ස්වභාවය තමයි ඒ චරිතයෙන් කියැවෙන්නේ. මේ නාට්‍ය පටන්ගෙන වසර දෙකක පමණ කාලයක් ගත වෙලත්, තවමත් ජනප්‍රිය බවේ අඩුවක් නැහැ. සම්මාන එහෙමත් ලැබෙනවා. මෙම නාට්‍යයේ අධ්‍යක්ෂණය සිවගුරුනාදන් අයියාගෙ. මේ ඔහුගේ ටෙලි නාට්‍යයක රඟපාන දෙවැනි අවස්ථාව.
“විසේකාරී” ටෙලි නාට්‍යට නම් මම සම්බන්ධ වෙන්නෙ නාට්‍ය අතරමඟදියි. එම නාට්‍යයේ මම රඟපාන්නේ නැන්දම්මාගේ චරිතයට. මුල් කාලයේදී හොඳ නැන්දම්මා කෙනෙක්. ඒ වුණාට දැන් ඒ නැන්දම්මා නපුරුයි. ඒ නිසා මට එහි රඟපාන්න සිදුවෙලා තියෙන්නෙ නපුරු නැන්දම්මා කෙනකුගේ චරිතයයි.
ඔබ වඩාත් කැමැති ඔබ තුළ සිටින ගුරුවරියටද, ගායිකාවටද එහෙම නැත්නම් රංගන ශිල්පිනියටද, නිවේදිකාවටද?
මම මුලින්ම කළේ රඟපෑම. රඟපෑමේ නිරතව සිටින අතරතුර තමයි මම ගුරු වෘත්තියට ඇතුළු වෙන්නේ. හැබැයි රඟපෑමේ නියැළෙද්දිත් හිතේ තිබුණේ ගුරුවරියක් වීමේ ආශාව. මම රංගන ශිල්පිනිය සහ ගුරුවරිය කියන වෘත්තීන් දෙකටම ආදරෙයි. ඒ නිසාම තමයි මේ චරිත දෙකම සමබරව කරගෙන ගියේ.
කලාවට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න දුවෙකුට හෝ පුතෙකුට දෙන හොඳම අවවාදය කුමක්ද?
හැම වෙලාවෙදිම යම් කාර්යයක් පටන් ගන්න කලින් තමන් පටන් ගන්න කාර්ය හදාරන්න ඕනෑ. රඟපෑම, ගායනය, නිවේදනය විතරක් නෙවෙයි වෙන වෘත්තියක යෙදුණත් නියමිත දැනුම අවශ්‍ය ආකාරයට ලබා ගැනීම අනිවාර්යයි. එහෙම හැදෑරීමෙන් තමයි අපට යම් ක්ෂේත්‍රයක් තුළ රැඳී සිටීමට හැකි වෙන්නෙ. එසේ නොමැතිව බාහිර ලස්සන ජනප්‍රියත්වය වගේ දේවල් ළඟ රැඳෙන්න එපා. වෘත්තියෙන් සාර්ථක වීමට නම් හැදෑරීම අත්‍යවශ්‍යයි.
ආ ගමන් මඟ ගැන තෘප්තිමත්ද?
අපොයි ඔව්… දැන් මේ වන විට මම කලාවට ඇවිත් අවුරුදු 50ක් වෙනවා. 1975 වර්ෂයේදී තමයි ගුවන්විදුලියට සම්බන්ධ වුණේ. මේ වන විට මාව ක්ෂේත්‍රයේ බාහෝ දෙනකු දන්නවා. ඕනෑම තැනකට ගියාම ඉතා හොඳ පිළිගැනීමක් ලැබෙනවා. වෘත්තීය ජීවිතය වගේම මගේ පෞද්ගලික ජීවිතයත් සාර්ථකයි. හොඳ ශිෂ්‍ය පරම්පරාවක් ක්ෂේත්‍රයට දායාද කරලා තිබෙනවා. ඒ නිසා තමයි මම මේ ආකාරයේ සුවදායී විශ්‍රාම දිවියක් ගත කරමින් ඉන්නෙ.
තෝරා බේරාගත් චරිත පමණක්ද රඟපාන්නෙ?
එදා මම වෘත්තියෙන් ගුරුවරියක් නිසා එයට හානියක් නොවන අයුරින් චරිත තෝරා බේරා ගෙන රඟපාන්න අවශ්‍යයි කියලා හිතුවා. මොකද මට නිතරම හිතුණේ මම තෝරාගත යුත්තේ ළමයි ඉස්සරහට ගිහින් ඉගැන්වීමට හැකි චරිත පමණයි කියලයි. දැන් මම විශ්‍රාමිකයි. ඒ නිසා ඒ රාමුවෙන් මිදිලා. වෙනස් වෙනස් විදිහේ චරිත භාර ගන්න කැමැත්තෙන් ඉන්නවා.
වර්තමානයේ බිහිවන නිර්මාණ ගැන තිබෙන්නෙ මොනවගේ අදහසක්ද?
වර්තමානයේ තරුණ පරම්පරාවේ අය හොද නිර්මාණ කාර්යයක නියැළෙනවා. මේ කාලෙද, අනාගතයේද, අතීතයේදී කියලා වර්ග කිරීමක් නැහැ. ඔය මොන කාලෙදිත් අවර ගණයේ නිර්මාණත් බිහිවෙලා තියෙනවා. බිහිවෙමින් පවතිනවා. එහෙත් මගේ නම් අදහස හොඳ දේ දකින්න නම් නරක දේවලුත් තියෙන්න ඕනෑ කියලයි.
ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණයට අදහසක් නැද්ද?
ඒක ලොකු කර්තව්‍යයක්. දෙසීය තුන්සීය කියලා වේදිකා නාට්‍යයක් නම් 2018දී අධ්‍යක්ෂණය කළා. ටෙලි නාට්‍යයක් කියන්නෙ කැමරාවක් සමඟ කරන ලොකු හරඹයක්. එය ලොකු වගකීමක්. එතරම් භාරධුර කාර්යයක් කරන්න දැන් අපහසුයි. මේ වයසෙදි බොහොම සරලව සැහැල්ලුවෙන් ඉන්න ඕනෑ.
අනාගතයේදී ඔබව දකින්න පුළුවන් මොන වගේ නිර්මාණ තුළින්ද?
කිර්ති කේ. රත්නායකගේ මුනු ටෙලි නාට්‍ය මේ දවස්වල රූගත කිරීම් සිද්ධ වෙනවා. ජගත් බෙනරගමගේ “මම සහ ඔබ” ටෙලි නාට්‍යයත් ළඟදීම විකාශනය වීමට නියමිතයි. ඒ වගේම ශ්‍රියානි අමරසේනගේ “දේවි නන්දිනා” වේදිකා නාට්‍යයේ පුහුණු වීමත් මේ දිනවල සිදුවෙනවා. එයත් ඔක්තෝබර් මාසයේදී වේදිකාගත වෙන්න සූදානම්. ඉදිරියේ ඒ නිර්මාණ තුළින් රසිකයන්ව හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.
අරුණි ජයසේකර
