
ගැමි සුවඳ සොයා යන්න බොහෝ පිරිසකට ඇත්තේ විශාල ආශාවක්. කාසි පනම් සොයා ගමෙන් නගරයට සේන්දු වුණත් බොහෝ පිරිසකගේ සිත තවමත් නැවතී තිබෙන්නේ ගමේ. ගමේ කටුකත්වයත් සුන්දරත්වයත් එක ලෙස මුසු කරමින් නිමැවුණු හරි අපූරු නිර්මාණයක් පිළිබඳව ප්‍රේක්ෂකයන් අතර මේ දිනවල විසල් කතා බහක් ඇති වෙලා. ඒ තමයි ‘ඉර හැංගිලා’ ටෙලි සිත්තම. අද හදගැස්ම හා එක් වන්නේ එහි අධ්‍යක්ෂ චාරුක දිල්හාර අරණායක. මේ දවස් ගෙවී යන්නේ කෙසේද?
මේ දවස් ඉර හැංගිලා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සමඟ ගෙවී යනවා. ගල්ගමුව ප්‍රදේශයේ තමයි මෙහි රූගත කිරීම් සිදු කරන්නේ. ඉර හැංගිල ටෙලි නාට්‍යයට ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර මේවන විට ලැබෙමින් පවතිනවා. ඉතින් ඉර හැංගිලා ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු සමඟ මේ දවස් ගෙවී යනවා.
ඉර හැංගිලා නිර්මාණය වුණු අයුරු ගැන කියමු?
ඉර හැංගිලා කියන්නේ මගේ මනසේ අවුරුදු ගණනාවක් පුරා තිබුණු කතා සංකල්පයක්. මම විතරක් නෙවෙයි මේ කතාව ගොඩ නඟන්න තව බොහෝ පිරිසක් මට ඉතා සෙනෙහසින් උපකාර කළා. මම සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස වසර ගණනාවක් වැඩ කළා. ඒ කාලයේ පටන් මේ කතාව මගේ සිතේ ලැඟුම් ගත්තා. මම ඒ දවස්වල අනුරාධපුර පැත්තේ ගම්වල වැඩ කළා. ඒ ප්‍රදේශවල සිටින මිනිසුන් සමඟ ජීවත් වුණා. ඔවුන් සමඟ ගනුදෙනු කළා. ඒ ජීවිතවල සැඟවුණු සුවඳ නිර්මාණයක් බවට පත් කරන්න මට විශාල ආශාවක් තිබුණා. ඒ ආශාව තමයි ඉර හැංගිලා ලෙස නිර්මාණය වුණේ.
ඉර හැංගිලා කියන්නේ ගම කේන්ද්‍රගත වුණු ටෙලි නාට්‍යයක් මේ ගැන කියනවා නම්?
ලංකාව තුළ තිබෙන්නේ එක රැල්ලකට යන නාට්‍ය කලාවක්. මේ මොහොත මිනිසුන් වෙනසක් ඉල්ලා සිටින මොහොතක්. මිනිස්සු ඒ වෙනසට කැමැතියි. ඔවුන් ඒ වෙනසට ආදරෙයි. මට අවශ්‍ය වුණේ මිනිස්සු ගමේ හැමදාම දකින දෙයට වඩා ගමේ ජීවත්වන චරිත ගැන කතා කරන්න. ගමක් තුළ විවිධ ආකාරයේ මිනිසුන් දිවි ගෙවනවා. ඔවුන් තුළ තිබෙන විවිධ ගුණාංග මම මේ තුළ කතා කරනවා. මම මේ කතාව ස්ත්‍රිය කේන්ද්‍රකරගත් ඇය ප්‍රධාන වුණු ටෙලිනාට්‍යයක් ලෙස අර්ථකථනය කරන්න කැමැතියි.
මේ කතාව තුළ විවිධ තලයන් කිහිපයක් පිළිබඳව කතාවට භාජන වෙනවා. ඒ ගැන කියමු?
මේ කතාව තුළ සමාජය තල කිහිපයකින් කියවා ගන්න පුළුවන්. තරුණ වයසේදී අපිට එන ආශාව ආදරය කියලා වටහා ගෙන ඒ ගත් තීරණවලින් බැටකන තැනැත්තියක් තමයි මගේ ප්‍රධාන චරිතය වෙන්නේ. ඒ වගේම පවුල්වල තිබෙන නැන්දම්මා ලේලි ප්‍රශ්නය ගැනත් මෙහි කතා කරනවා. මේ ගැටලුව මෙවැනි ප්‍රදේශවල බහුලව තිබෙනවා. ඒ වගේම මෙවැනි ප්‍රදේශවල ගොවිතැන් කරන මිනිසුන් මුහුණ දෙන ගැටලු ගැනත් ගමේ සිටින මුදලාලි කෙනකුට හෝ බලවත් පුද්ගලයකුට යටත් වෙලා දිවි ගෙවන ආකාරයත් මේ කතාව තුළ කතාබහට ලක් වෙනවා. නමුත් අද මේ දේවල් කෙමෙන් වෙනස් වෙමින් පවතිනවා. ඒ ගැනත් ඉර හැංගිලා ඔස්සේ මම කතාබහට ලක් කරනවා.
නගරයෙන් ඈත් වෙලා ඈත පිටිසර ගමක මේ වැඩේ කරන විට මුහුණ දුන් අභියෝග මොනවාද?
දුර පළාතකට ගිහින් වැඩක් කරනවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. අපි ඒ ප්‍රදේශයට ගිහින් අපිට උචිත දර්ශන තල සොයා ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි අපි ඒ ප්‍රදේශවල සිටින කවදාවත් නොදැකපු නන්නාඳුනන මිනිසුන් සමඟ තමයි ගනුදෙනු කරන්න ඕන. මේ කතාවේ තිබෙන කඩවල් වගේ දේවල් අපි හදපුවා. අපි දෙවැනි වර රූගත කිරීම් කරද්දී මේ කඩ නැවත හදන්න වුණා. ඒ වගේම කාලගුණ විපර්යාස නිසත් අපි බොහෝ බැට කෑවා. ඉතින් ඒවා තමයි අපිට මුහුණ දෙන්න වුණු අභියෝග.
ඉර හැංගිලා නළු නිළි වරණය තරමක් වෙනස්. මේ ගැනත් කතා කරමු?
ඇත්තටම මම මගේ සිතේ තිබුණු චරිතවලට අවශ්‍ය නළු නිළියන් මේ කතාව රචනා කරන්න ආරම්භ කරන්න පෙර සිටම තෝරා ගෙන තිබුණා. ඒ සියලු දෙනා නිසි අයුරින් චරිතවලට යොදාගත් පසුව තමයි මෙහි රූගත කිරීම් පවා ඇරඹුවේ. අපි තිරපිටපතක් ඔහේ ලියා ගත්තට වැඩක් නැහැ. ඒ නිර්මාණයට නියමාකාරයෙන් පණ පොවන්න හැකි පිරිසක් තමයි අපි සොයා ගන්න ඕන. අපිට අවශ්‍ය විධියට රංගන ශිල්පිනියන් යොදාගෙන නිර්මාණයක් කිරීම මේ වගේ කාලයක ලෙහෙසි පහසු නැහැ. ඒ ගැන මෙහි නිෂ්පාදකවරුන්ට විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන.
මෙහි ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස පණ පොවන්නේ දිලිණි ලක්මාලි. මේ ගැන කියනවා නම්?
දිලීමා කියන චරිතය දිලිණිම තමයි. ඇගේ නම නිසාම තමයි මේ ප්‍රධාන චරිතය මම දිලීමා කියලා නම් කළේ. ඇයව ඔළුවේ තබාගෙන තමයි අපි මේ වැඩේ කළේ. ඇය මේ චරිතය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. ඒ වගේම ඇය අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ ගැන ඇයට විශේෂයෙන්ම තුති පුදන්න ඕන.
අද ලාංකේය ටෙලිනාට්‍ය ගන්නා දැඩි රැඩිකල් පිළිවෙත් පිළිබඳ ප්‍රේක්ෂකයාගෙන් බොහෝ විවේචන එල්ල වෙනවා. ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද?
දැන් ප්‍රේක්ෂකාගාරය ඉස්සර වගේ නෙවෙයි. ඔවුන් හරිම අප්ඩේට්. තාක්ෂණික ලෝකය නිසා ඔවුන් ගොඩක් නිර්මාණ ඇසුරු කරනවා. අද සමාජ මාධ්‍ය තිබෙන නිසා ඉතා ඉක්මනින් ඔවුන් නිර්මාණකරුවා විවේචනය කරනවා. ඉස්සර එහෙම දෙයක් තිබුණේ නැහැ. නමුත් ප්‍රේක්ෂකයා අපේ නිර්මාණ අන්තර්ජාතික නිර්මාණ සමඟ සසඳන්න හොඳ නැහැ. මොකද මේ දෙක දෙකක්. ඔවුන් එය වටහා ගත යුතුයි.
සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස වසර ගණනාවක් වැඩ කළා. ඒ මතකයන් මතක් කරමු?
මම සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස ඉතා විශාල කාලයක් මේ ක්ෂේත්‍රය තුළ වැඩ කළා. ඒ භූමිකාව ඉටු කිරීමෙන් පසුව තමයි මම අධ්‍යක්ෂවරයෙක් ලෙස මේ ක්ෂේත්‍රය තුළ නිර්මාණකරණයට යොමු වුණේ. සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස මට ඉතා විශාල අත්දැකීම් රාශියක් එක් වුණා. අධ්‍යක්ෂවරයෙක් වීමට නම් අනිවාර්යයෙන්ම සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන්න ඕන කියා මම සිතනවා. ඔහු මත විශාල කාර්යභාරයක් පැවැරී තිබෙනවා. ඒ කැපකිරීම මහන්සිය තමයි මට අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන්න පුහුණුව ලබා දුන්නේ. මම අදටත් ඒ භූමිකවට හරිම ආදරෙයි. ඇත්තටම ඒ භූමිකාව ගැන කියන්න වචන නැහැ.
ඉදිරි වැඩකටයුතු ගැන කියනවා නම්?
මම මේ වන විට අලුත් නිර්මාණයක වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. එය ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඉක්මනින්ම දැක ගන්න ලැබේවි.
ගිහාන් සචින්ත<
