කලාව කියන්නෙ හොඳ ඇබ්බැහිවීමක්- ධර්මප්‍රිය ඩයස්

gossiplanka image 2
 


ඔහු වේදිකාව, ටෙලිවිශනය වගේම සිනමාව අතැඹුලක් සේ අතට ගත් විශිෂ්ට කලාකරුවෙක්. එමෙන්ම ඔහු මේ දිනවල බොහෝ කලා කටයුතුවලට සම්බන්ධ වෙමින් තම අසහාය රංගනයේ ප්‍රතිභාවෙන් ආදරණීය ප්‍රේක්ෂකයාගේ මනදොළ සන්සිඳුවනවා. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පි ධර්මප්‍රිය ඩයස්. මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දවස්වල සරත් කොතලාවල අධ්‍යක්ෂණය කරන නවතම සිනමාපටයෙහි රූගත කිරීම් සමඟ කාලය ගෙවී යනවා. ඒ වගේම වේදිකා නාට්‍ය කිහිපයකම රංගන කටයුතුවල නිරත වෙනවා. ඉතින් මේ ආකාරයට විවිධ වැඩකටයුතු සමඟ කාලය ගෙවී යනවා.


වේදිකාව සමඟ ගෙවෙන ජීවිතේ කොහොමද?


මේ දිනවල මම වේදිකා නාට්‍ය කිහිපයකම රඟපානවා. මගේම නාට්‍ය දෙකක් මේ දිනවල වේදිකාගත වෙනවා. ‘සාදය මාරයි සල්ලි හමාරයි’ කියන වේදිකා නාට්‍ය සහ ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ කියන වේදිකා නාට්‍ය ද්වය මේ දිනවල වේදිකාගත වෙනවා. මේ වේදිකා නාට්‍ය දෙකටම ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයාගේ ආදරය සහ ගෞරවය ලැබෙමින් දිවයින පුරා මේ වේදිකා නාට්‍ය දෙක වේදිකාගත වෙනවා. ඒ වගේම මම නෙවෙයි වෙන කෙනෙක් නාට්‍ය අපි ඕස්ට්‍රේලියාවේ පෙන්වීමට සූදානමින් සිටිනවා. රාජිත දිසානායකගේ ‘නැතුව බැරි මිනිහෙක්’ දැන් වසර නවයක් පුරා වේදිකාගත වෙනවා. ඒ වගේම ‘චක්‍රායුදම්’ නාට්‍යයත් වේදිකාගත වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන චාලක රණසූරිය ‘අටවන බුවනෙක’ කියලා නව වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා. එයටත් ඉමහත් ප්‍රතිචාර ලැබෙනවා. මේ වන විට එයටත් දර්ශන වාර ලැබෙමින් පවතිනවා. ඉතින් ඔහොම තමයි වේදිකාවේ ජීවිතය ගෙවී යන්නේ.


අටවන බුවනෙක සහ අඳුරු ප්‍රහසන ශානරය ගැන කියනවා නම්?


‘බ්ලැක් කොමඩි’ කියන්නේ සමාජයේ තිබෙන ප්‍රශ්නයක් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරන එය මූලික කරගත් ශානරයක්. නමුත් එහිදී මේ ජීවිතයේ සිදුවන ඛේදවාචක තුළින් හාස්‍ය මතු කරනවා. එහිදී කතා කරන ප්‍රශ්නය බරපතළයි, එය ඛේදවාචකයක්. නමුත් එයට මිනිසුන්ට හිනා යනවා. මේ තමයි චාලක සමඟ මම වේදිකා නාට්‍යයක වැඩ කරන පළමු අවස්ථාව. නමුත් මම ඔහුගේ ටෙලි නාට්‍ය පිටපත්වලට ගොඩක් වැඩ කරලා තිබෙනවා. අකලංක ප්‍රභාෂ්වර, මනෝජා ප්‍රනාන්දු, නයෝමි තක්ෂිලා මෙහි මාත් සමඟ රංගනයෙන් දායක වෙනවා. මේ පිරිස සමඟ මට සහයෝගයෙන් වැඩ කරන්න ලැබීම සතුටක්. මෙයටත් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.


චක්‍රායුදම්හි කියවෙන ලිංගික දේශපාලනය ගැන ඔබේ අදහස කුමක්ද?


සචිත්‍ර රාහුබද්ධ කියන්නේ ඉතා දක්ෂ නිර්මාණකරුවෙක්. ඔහුගේ ජීවිතය ඔහු ෆුල් ටයිම් කැප කරලා තිබෙන්නේ නාට්‍ය කලාව වෙනුවෙන්. විශේෂම දේ වෙන්නේ මේ නිර්මාණය කෙටි නාට්‍ය වීම. මේ කෙටි නාට්‍ය තුළ කතා වෙන්නේ මාතෘකා හතරක්. නමුත් මේ නාට්‍ය හතරම හරි අපූරුවට එක නිර්මාණයක් බවට පත් වෙනවා. මේ තමයි මට චාන්දනී සෙනෙවිරත්න අක්කා එක්ක වේදිකාව මත රඟපාන්න ලැබුණු පළමු අවස්ථාව. ඒක මට විශාල ගෞරවයක්. ඔහුගේ හිතට වැටුණු මිසයිල නාට්‍ය නරඹා මට සචිත්‍ර ගැන ලෝභ හිතුණා. ඉතින් ඔහු මට ඊළඟ නිර්මාණයට කතා කිරීම සතුටට කාරණයක්.


සිනමා ජීවිතය ගෙවී යන්නේ කෙසේද?

ඒ ගැනත් කියමු?


මම මේ කතා කරන මොහොතේදිත් සිටින්නේ සරත් කොතලාවල අධ්‍යක්ෂණය කරන නවතම සිනමාපටයේ රූගත කිරීම්වල. දැනට එම සිනමාපටයට නමක් නැහැ. මෙය අවසන් වුණු විගසම කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කරන ‘ඕල්ඩ් මෑන්’ හි වැඩකටයුතු ආරම්භ කරනවා. මේ කාලය මම බොහොම සතුටින් සිටින කාලයක්. ඒ වගේම රංජන් රාමනායකගේ ‘ගඩාෆි’ සිනමාපටයේ රූගත කිරීම්වලටත් මම එක් වුණා. මේ දිනවල මට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබුණා. ඒ වගේම රන්ජන් වගේ කෙනකු සමඟ වැඩ කිරීමට ලැබීමත් මට ලොකු සතුටක්. ඔහු මේ රටේ සිටින සුපර් ස්ටාර්නේ. මට ප්‍රසන්න විතානගේ සිනමාපටයක චරිතයකට පණ පොවන්න ආරාධනා කළා. එයට සම්බන්ධ වීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා.


ධර්මප්‍රිය ඩයස්ට සිනමාපටයක් කරන්න අදහසක් නැද්ද?


ඔව්. ධර්මප්‍රිය ඩයස් කියලා කෙනෙක් චිත්‍රපටයක් ලියලා තිබෙනවා. මම එය අධ්‍යක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ දිනවල එය තිබෙන්නේ සාකච්ඡා මට්ටමේ. දමින්ද මඩවල තමයි එහි සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ. ඉතින් එය රූගත කිරීමට අපි සූදානමින් සිටිනවා. සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයා ඇදී එන, මේ කර්මාන්තයටත් හොඳයි කියා සිතෙන නිර්මාණයක් තමයි මම කරන්න සිතමින් සිටින්නේ. ඉතින් අපි බලා සිටිමු. 


මේ මොහොතේ ලාංකේය කලාව තුළ වාණිජ සහ කලාත්මක නිර්මාණවල බෙදුම් රේඛාව මැකී යනවා. මේ ගැන ඔබේ අදහස?


පළමුවැනිම දෙය තමයි කලාව කියන දෙය ඉරි ගහලා තබන්න ඕන නැහැ. එය මිනිස්සු තමන්ට රිසිසේ වැලඳ ගනීවි. ඔවුන් මේ නිර්මාණ නරඹලා වෙනස් වෙන්න පුළුවන් නම් වෙනස් වේවි. අපි අමුතුවෙන් ඉරි ගහලා එහෙම වෙන් කරන්න ඕන නැහැ. ඒක තමයි මගේ අදහස.


වත්මන් දේශපාලන වෙනස කලාවේ අනාගතයට කෙසේ බලපෑම් කරයිද?


මම නම් ඉස්සර පටන්ම දරපු මතය වුණේ මොනම දේශපාලන තත්ත්වයක් උඩ වුණත් මිනිස්සුන්ට කලාව, රසවින්දනය, සෞන්දර්ය වැනි දේවල් තිබෙන්න ඕන. ඕනෑම පරිසරයක් තුළින් කලාව කලාවේ එක් එක් අංග බිහි වෙන්න පුළුවන්. යුදමය වාතාවරණයක වුණත් ලෝකයේ විශිෂ්ට කලා නිර්මාණ සිදු වෙන්න පුළුවන්. ඒ වගේම කවි, සිතුවම්, නිර්මාණ ආදී දෑ සාමකාමී පරිසරයක වුණත් නිර්මාණය වෙන්න පුළුවන්. එයට ලබා දෙන ඉඩ හසර සහ පරිසරය සකසා දීම තමයි වැදගත් වෙන්නේ. ඒ ඉඩහසර නව දේශපාලන වෙනස හේතුවෙන් ලැබෙයි කියා අපි විශ්වාස කරනවා.


සිනමාවේ නව නැඟීම පිළිබඳ ඔබ දක්වන අදහස?


මේ ගැන ගොඩක් සතුටුයි. අපි නිතර කතාබහ කරන දෙයක් තමයි කෝටි දෙකහමාරක් දිවි ගෙවන රටේ අඩුම තරමින් කෝටියක් වත් චිත්‍රපට බලන්න පුරුදු වුණොත් මේ කර්මාන්තය සහ අපේ ජීවිත ලස්සන වෙයි. කලාව කියන්නේ බෝ කරන්න හොඳ ඇබ්බැහි වීමක්. ඉතින් ඒ දෙය වුණොත් ඉතා හොඳයි. කාලයක් තිබුණා වගේ කොපි චිත්‍රපට හැදීම නෙවෙයි මිනිස්සුන්ට රසවිඳින්න පුළුවන්, විශ්වාසයක් ඇතිව මිනිසුන්ට බලා යන්න පුළුවන් නිර්මාණාත්මක දේවල් හැදෙනවා නම් ඉතා හොඳයි. එහෙම වුණොත් ප්‍රේක්ෂකයා සිනමාශාලා සඳහා ඇදිලා එයි. ඒක තමයි කෙරෙන්න ඕන.

gossiplanka image 1
Previous Post Next Post