බාර ගත්තු නිර්මාණයට අපි වගකියන්න ඕනෑ -සුදීක්ෂා සමාධි

gossiplanka image 2
 


මේ දිනවල පුංචි තිරයේ වගේම රිදී තිරයෙත් ඇය ජනප්‍රියයි. මායාවී ටෙලි නිර්මාණයෙනුත් සූර්යා සහ මදර් ලංකා සිනමා නිර්මාණවලිනුත් ප්‍රේක්ෂක ඔබ හමුවට එන ඇය සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් කලාවට නැවුම් ආලෝකයක් එක් කරන ඇය නමින් සුදීක්ෂා සමාධි. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්. සූර්යා සහ මදර් ලංකා චිත්‍රපටවල ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම ප්‍රතිචාර හොඳයි. මොකද පුංචි තිරයේ මංගේෂ්වරීගේ චරිතය හරහා තමයි මාව බොහෝදෙනකු වැළඳගෙන තිබෙන්නේ. ඉතින් මංගේෂ්වරීගේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිත දෙකක් තමයි රිදී තිරයේ මට නිරූපණය කරන්න තිබෙන්නේ. ඒත් එක්ක ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් රිදී තිරයේදී ලබා ගන්න පුළුවන්.


පුංචි තිරයේ පවන් සහ මංගේෂ්වරී ඉදිරියේදී සාරා සහ වගීෂ විධියට රිදී තිරයේ දකින්න ලැබීම ගැනත් කතා කරමු?


ඔව්. ඒකත් අලුත්ම චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයටත් ආරාධනාව ලැබිලා තිබෙනවා. ඒකෙ වැඩ කටයුතු භාර අරගෙන මාත් හෂානුත් දෙන්නම ඊට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒකත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබාදෙන ලස්සන නිර්මාණයක් වේවි කියලා මම හිතනවා. ඒ වගේම හෂාන් කියන්නේ පුංචි තිරයේ මට රංගනයේදී උපරිම සහයෝගයක් ලබාදුන් රංගන ශිල්පියෙක්. ඉතින් ඒ තිබෙන සහයෝගය තවත් වැඩි වෙනවා වගේම අපි දෙන්නාගේ තිබෙන සුහදත්වය නිසා නිර්මාණයට ලැබෙන දායකත්වයත් අතිවිශාලයි.


මංගේෂ්වරීගේ චරිතය වෙනුවෙන් සම්මානයක් ඔබට හිමි විය යුතුය යන්න ප්‍රේක්ෂකයන් අදහස් පළ කරනවා?


මම හිතන්නේ ප්‍රේක්ෂක ඇගයීම තමයි රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට අනිවාර්යෙන්ම ඕනෑ කරන්නේ. රංගන ශිල්පිනියක් විධියට මට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ඇගයීම අති විශාලයි. ඉතින් ප්‍රේක්ෂකයන්ම මංගේෂ්වරීගේ චරිතයට මට සම්මානයක් ලැබෙන්න ඕනෑ කියලා තීරණය කිරීමම නිහතමානී සතුටක්. ඒ වගේම මම ඒ වචනවලට හිස නමා ආචාර කරනවා. ඇත්තටම සම්මාන උළෙලකදී සම්මානයක් අත දරන්න නොලැබුණත් ඊට එහා ගිහින් අවංකවම ප්‍රේක්ෂකයන් එහෙම තීරණය කිරීම මට ලොකු සතුටක් සහ නිහතමානී ආඩම්බරයක්. දැන් මනා දැනුමක් තිබෙන හොඳ ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. මම නිහතමානීව ඒ ප්‍රේක්ෂක ආදරය බාරගන්නවා. හැමදාමත් මම ඒ ප්‍රේක්ෂක ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක්.


අද වන විට ක්ෂේත්‍රයට පැමිණීමට බොහෝ මාර්ග විවරව තිබුණත් නවක පරපුර ක්ෂේත්‍රයේ රැඳෙනවා අඩුයි නේද?


ඒ දේ එක එක්කෙනාට සාපේක්ෂයි. සමහර අය කලාව තමන්ගේ ජීවිතය කරගෙන කලාවට එන අය ඉන්නවා. මම නම් හිතන්නේ කලාව කියන්නේ මනා හික්මීමක් ඇතිව ඊට ආදරයෙන් කරන්න ඕනෑ දෙයක්. කලාව ඇතුළේ වැඩ කරද්දී නළුවකුට නිළියකට ඒ හික්මීම අවශ්‍යයි. අපි තත්පරයකටවත් මේ කලාවට හානියක් වෙන දෙයක් කරන්නේ නෑ. කලාව ඇතුළේ හික්මීමෙන් වැඩ කරනවා. කලාවට ඇවිත් එයින් තමන්ගේ හිත්වල තිබෙන එක එක අභිමතාර්ථ ඉටුකර ගන්නවාට වඩා කලාව අවංකවම දේවත්වයෙන් අදහන්න පුළුවන් පිරිසක් එහි රැඳෙනවා නම් කලා ක්ෂේත්‍රය හරිම නිර්මල තැනක් වෙයි.


ඔබ ඔබේ රංගන කුසලතා වැඩි දියුණු කර ගැනීමට ස්වයං අභ්‍යාස කරනවද?


මම පාසල් යන කාලයේ ඉඳන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව අධ්‍යයන කටයුතු කරපු කෙනෙක්. මගේ ගුරුවරයා ජයලාල් රෝහණ සර්. දැන් එතුමා ජීවිතයෙන් සමු අරගෙන හිටියත් එතුමාගෙන් ලබපු පන්නරය මට පාසල් යන කාලයේ ඉඳලම ලැබුණා. ඉතින් පසුකාලීනව අපි මේ ක්ෂේත්‍රයේ ඉන්නවිට අනිවාර්යයෙන්ම අධ්‍යයනයක් කරන්න ඕනෑ. ඒ අධ්‍යයනය නැතුව ඉස්සරහට ගමනක් යන්න අමාරුයි. මට චරිතයක් ලැබෙනකොට මම නිරන්තරයෙන්ම ඒ ගැන අධ්‍යයනය කරනවා. මම කොහොමත් චරිත තෝරා බේරාගෙන කරන කෙනෙක්.


මම එක සැරයක් කරපු චරිතයක් නැවතත් කරන්න කැමති නැහැ. මොකද මම එකිනෙකට වෙනස් විධියේ චරිත කරනවා කියලා ප්‍රේක්ෂකයන්ට හිතෙනවා නම් ඒ මගේ තෝරාගැනීම තමයි. හැමදාම එකම විධියේ චරිතවලින් දකිනවා නම් ප්‍රේක්ෂකයන්ට ඒක ඒකාකාරී වෙනවා. මම හැමවෙලේම එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරන්න උත්සාහ ගන්නවා. මම රංග අභ්‍යාස කරනවා වගේම රංගන වැඩමුළුවලට සහභාගි වෙනවා. ඒ වැඩකටයුතු කරන ගමන් තමයි ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්නේ. මට චරිතයක් ලැබුණාම ඒ චරිතය මතු කරගන්නට මට අවශ්‍ය අභ්‍යාසවල නිරත වෙනවා. සම්මානවලට එහා ගිහින් මම චරිතයට සාධාරණයක් කරන්න උපරිම උත්සාහ කරනවා.


නවක පරපුරේ යම් රංගන ශිල්පීන් ශිල්පිනියන් වගකීම් විරහිතව වැඩ කිරීම ඒ නිර්මාණයට කොතරම් බලපානවාද?


අපි නිර්මාණයක් බාර ගත්තට පස්සේ ඒ නිර්මාණයට අපි වගකියන්න ඕනෑ කියලා මම හිතනවා. මොකද ඒ නිර්මාණයට රංගන ශිල්පිනියක් විධියට මම විතරක් නෙවෙයි සහභාගි වෙන්නේ. ඒ නිර්මාණය එක්ක විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. තේ හදන කෙනාගේ සිට කැමරා ශිල්පියා, අධ්‍යක්ෂ දක්වා විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. අපිව පුංචි තිරයේ දැක්කට ඒ කණ්ඩායමේ විසි පහකට තිහකට ආසන්න පිරිසක් ඉන්නවා. ඉතින් මේ හැමෝගෙම කාර්යයන්වල එකතුවක් විධියට තමයි නළුවෙක් හෝ නිළියක් විධියට අපිව පුංචි තිරයේ


දකින්නේ. කණ්ඩායමක් විධියට කණ්ඩායම අපහසුතාවට පත් නොකර තමන්ගේ චරිතයටත් සාධාරණයක් කරනවා නම් තමයි ප්‍රේක්ෂකයන්ට හරි සාධාරණයක් කරනවා කියලා මම හිතන්නේ. මොකද අපි බාරගත්ත චරිතයක් අතරමඟ දමා නොයා ෂූටින්වලට හරි වෙලාවට ඇවිත් වෙලාවට ෂූටින් දින ලබාදීලා කණ්ඩායමට සහයෝගය දක්වන්න ඕනෑ. රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට ඇත්තටම විවේකයක් ලබාගෙන ඉන්න අමාරුයි. ඉතින් අපේ පෞද්ගලික ජීවිතය මොන තත්ත්වයක තිබුණත් අපි රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක නම්


කරන වෘත්තියට සම්පූර්ණයෙන්ම අවංක වෙලා කලාවේ තිබෙන සම්පත්වලට උදව් කරගෙන හරි ගමනක් යෑමේ වගකීම අපි සතුයි. ඉතින් රංගනය කියන්නේ දේවත්වයෙන් අදහන්න පුළුවන් දෙයක්. නර්තනය කරන කෙනකු වුණත් හරිම දේවත්වයෙන් තමයි එයාගේ නර්තනය හදාරන්නේ. නාට්‍ය හා රංග කලාව විෂයත් පිරිසුදුව කරන්න පුළුවන් රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් හැදුණොත් ඒ වගේ කතාවක් අහන්න වෙන්නේ නෑ.


ඔබ ක්ෂේත්‍රය තුළ ඔබේ ජනප්‍රියත්වය රඳවා ගන්නේ කෙසේද?


මම හිතන්නේ ජනප්‍රියත්වය රඳවා ගැනීමට අපි මොකුත් කරන්න ඕනෑ නෑ. අපි කරන වැඩේ අවංකව කරනවා නම් ඒ අවංක බව නිසාම ප්‍රේක්ෂකයන් අපිව ආදරයෙන් වැළඳගන්නවා. මම 2014 වර්ෂයේ ඉඳන් කලාවේ ඉන්නවා. ඉතින් මේ වසර දහය තුළ කිසිම වැඩක් අතරමඟ දාලා ගිහින් නෑ. මගේ ජීවිතයේ පෞද්ගලික හැලහැප්පීම් මොන දේ තිබුණත් මගේ හිත හදාගෙන හිත ශක්තිමත් කරගෙන සෙට් එකට ගිහින් වැඩ කටයුතු කරපු අවස්ථා තිබුණා. අපි නිර්මාණයකට සාධාරණයක් කරන වාර ගණන කොතරම්ද ප්‍රේක්ෂකයන් ඒ හා සමානව අපිව ආදරයෙන් වැළඳ ගන්නවා. මම හිතන්නේ ඒක තමයි අපිට තිබෙන ලොකුම ආශීර්වාදය. අපි කරන වැඩේට අවංකව වැඩ කරනවා නම් හොඳ ප්‍රේක්ෂක පිරිසක් මා වටා එකතු වේවි කියන විශ්වාසය මට තදින්ම තිබෙනවා.


ආදරය හා විවාහය පිළිබඳව ඔබේ කියැවීම?


මම හිතන්නේ ආදරය හා විවාහය කියන්නේ හරිම සුන්දර මාතෘකාවක්. නමුත් හරි කෙනකු ජීවිතයට හමුවුණොත් හොඳයි. එහෙම නැති වුණොත් අපේ ගමන මඟදී අඩාල වෙන්න පුළුවන්. මගේ පෞද්ගලික මතය මට අවශ්‍ය වෙන්නේ මගේ ගමනට උදවු කරගෙන යන කෙනෙක්. මම පුදුම ආදරයෙන් වැඩ කරන මේ දේ මගේ විවාහය නිසා විනාශ කරගන්න කැමැති නෑ. මම චරිතාංග නිළියක් විධියට ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න පුළුවන් උපරිම රසාස්වාදය ලබාදෙන්න කැමැතියි. සම්මාන මගේ ජීවිතයට මම මැරෙනකල් නොලැබුණත් කමක් නැහැ. නමුත් මම මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරලා කලාව ඇතුළේ ලස්සන ගමනක් යන්න උත්සාහ කරනවා.

gossiplanka image 1
Previous Post Next Post