
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයේ ප්‍රමුඛයන් අතර ජයප්‍රකාශ් සිවගුරුනාදන් නාමයට ඇත්තේ ඉතාම ඉහළ පිළිගැනීමකි. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් මේ දිනවල ටෙලි නිර්මාණ හතක් විකාශය වීම වාර්තාගත තත්ත්වයක් බව ද පැවසේ. හිරු නාළිකාවේ ‘පාට කුරුල්ලෝ‘, ස්වර්ණවාහිනියේ ‘පිරිමි ළමයි‘ සහ ‘ජහුටා‘, සිරස නාළිකාවේ ‘ආලවන්තී‘, ස්වාධීන රූපවාහිනී නාළිකාවේ ‘රාග‘ සතියේ දිනවල විකාශය කෙරෙන අතර ස්වර්ණවාහිනියේ ‘පැබ්ලෝ‘ සහ ජාතික රූපවාහිනියේ ‘ආදරණීය මිනිසෙක්‘ සති අන්තයේ විකාශය කෙරෙයි. මේ සියල්ල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹෙන ටෙලි නිර්මාණ වීම ද විශේෂත්වයකි. අධ්‍යක්ෂවරයා සහ තිරපිටපත් රචකයා අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාව ටෙලි නිර්මාණයේ ජනප්‍රියත්වයට කොතෙක් දුරට බලපාන්නේ ද යන්න හොඳින්ම තහවුරු කළ නිර්මාණකරුවා ද ඔහුය. සද්ධා – සිවා සුසංයෝගය ඉන් එක් අවස්ථාවකි. අද අපේ කතාබහ ටෙලි නාට්‍යකරණයේ අසහාය චරිතයක් ලෙස සැලකෙන ජයප්‍රකාශ් සිවගුරුනාදන් සමඟිනි.
මේ දිනවල ඔබේ අධ්‍යක්ෂණයෙන් ටෙලි නිර්මාණ හතක් විකාශය වෙනවා. එය වාර්තාගත තත්ත්වයක් නේද?
සති අන්තයේ නාට්‍ය දෙකත් එක්ක මේ දිනවල ටෙලි නාට්‍ය හතක් විකාශය වෙනවා. මීට මාස හය හතකට කලින් රූගත කරපු නාට්‍ය දෙකකුත් විකාශය වෙන්නේ දැන්. සතියක් ඇතුළත මගේම නාට්‍ය හතක් විකාශය වීම ලංකාවේ වාර්තාගත තත්ත්වයක් ද කියන එක නම් මං හරියටම දන්නෙ නැහැ.
හැමදාම එකම අධ්‍යක්ෂණයෙන් ටෙලි නිර්මාණ විකාශය වෙද්දි ප්‍රේක්ෂකයාට ඒකාකාරී බවක් දැනේවි කියල හිතෙන්නෙ නැද්ද?
ඒකාකාරී බවක් දැනේවි කියල නම් මට හිතෙන්නෙ නැහැ. මොකද නිර්මාණ හත ගත්තොත් විවිධ තේමා ඔස්සේ ගලාගෙන යන්නේ. නළු නිළියන් ගත්තත් නිර්මාණයෙන් නිර්මාණයට වෙනස් වෙනවා. ඒ නිසා ප්‍රේක්ෂකයාට ඒකාකාරී බවක් දැනෙනවා ඇති කියලා නම් හිතන්න අමාරුයි. එහෙම දැනුන නම් මගේ නාට්‍ය මිනිස්සු මේ තරම් බලන එකක් නැහැ.
අධ්‍යක්ෂවරයා සහ තිරපිටපත් රචකයා අතර සුසංයෝගය නිර්මාණයක සාර්ථකත්වයට කොතරම් දුරට බලපානවද කියන එක පුංචි තිරයට හඳුන්වා දෙන්නේ ඔබ?
ඇත්තම කතාව තිරපිටපත් රචකයා තමයි නිර්මාණයට විශාලම කාර්යභාරයක් කරන්නේ. ඔහු හදල දෙන දෙබස් සහ ඔහුගේ පරිකල්පනය තමයි අපි ප්‍රතිනිර්මාණය කරන්නේ. නිර්මාණය මිනිස්සුන්ට ප්‍රබලව දැනෙන්න, ආකර්ෂණය වෙන්න තිරපිටපත් රචකයාගේ භූමිකාව මෙතනදි අතිශයින්ම ප්‍රබලයි. පහුගිය දශකයක කාලය තුළ සද්ධා තිරරචනය කරලා මං අධ්‍යක්ෂණය කළ නාට්‍ය පොදු ප්‍රේක්ෂකයා අතර ගොඩක්ම ජනප්‍රිය වුණා. ප්‍රචලිත වුණා. සද්ධයි මායි ගත්තම අපි අතර හොඳ අවබෝධයක් තියෙනවා වගේම අපි අතරෙ නොගැළපීම් අඩුයි කියලයි මට හිතෙන්නේ. අනිත් අතින් ගත්තම බුද්ධික මේ මාත් එක්ක වැඩ කරන තුන්වැනි අවස්ථාව. බුද්ධිකටත් ඒ අවබෝධය තියෙනවා. ඊට අමතරව සුනන්ද සිල්වා කියන්නේ අවුරුදු හතළිහක විතර ඉඳන් මාත් එක්ක ඉතාම ළඟින් ඇසුරු කරන කෙනෙක්. ඔහුගේ තිරපිටපතක් යනවා. ඒ වගේම නලීන් ලුසේනා මාත් එක්ක වැඩ කරන පළමු අවස්ථාව. දැනට මාත් එක්ක වැඩ කරන තිරපිටපත් රචකයෝ මං අකමැති දේවල් නම් ලියල එවන්නෙ නැහැ. එහෙම දෙයක් එව්වත් අපිට කතාබහ කරලා විසඳගන්න පුළුවන්. තිරපිටපත කියන්නෙ ඉතාම ප්‍රබල කාරණාවක්. ප්‍රේක්ෂකයාට ගෙනියන්න කලින් මුලින්ම ඒ තිරපිටපත මට දැනුණොත් තමයි ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. මං හිතන විදිහට මං එක්ක වැඩ කරන සියලුම තිරපිටපත් රචකයින්ට ඒ අවබෝධය තියෙනවා. සද්ධාගෙයි මගෙයි අතරෙ ඒ අවබෝධය ටිකක් වැඩියි.
සද්ධා – සිවා සුසංයෝගයෙන් බිහිවුණු ජනප්‍රියම ටෙලි නිර්මාණ ගැන කතා කළොත්?
ප්‍රමාණාත්මකව මතකයක් නැති වුණත් සෑහෙන්න ප්‍රමාණයක් කරල තියෙනවා. හාරකෝටිය, කෝටිපතියෝ, අඟුරු සිත්තම්, සල්ලි පොකුරු, හංස පිහාටු, අග්නි පියාපත්, නාඩගම්කාරයෝ, පාර දිගේ, කෝලම් කුට්ටම වගේ ටිකක් මතකයි. ඇත්තටම මං එහෙම සටහන් කරගෙන නැහැ. ප්‍රමාණාත්මකව දහයක දොළහක සංඛ්‍යාවක් වුණත් ඒ එක නාට්‍යයක කොටස් 300-400 පමණ විකාශය වුණු නිර්මාණ.
බුද්ධික – සිවා ගැළපීමත් ගොඩක් සාර්ථක වුණා නේද?
ඔව්. පාට කුරුල්ලෝ කියන්නේ බුද්ධිකගෙයි මගෙයි අතර සුසංයෝගයෙන් කෙරෙන තුන්වැනි නිර්මාණය. මේ දිනවල ඉතාම ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා. මීට කලින් සද්ධාගේ කාර්යබහුලත්වය නිසා පාර දිගේ අවසන් භාගය රචනා වුණෙත් බුද්ධිකගේ අතින්. ඊට අමතරව අපේ එකතුවෙන් තවත් එකක් කළා.
ඔබේ බොහෝ නිර්මාණවල චරිත ජනප්‍රියම සන්නාම බවට පත්වුණා. පාර දිගේ ‘බණ්ඩා‘. පාට කුරුල්ලෝ ‘ලොකු බ්‍රදර්‘ අතිශයින්ම ජනප්‍රියයි. කොහොමද එහෙම වෙන්නේ?
එකක් තමයි තිරපිටපත් රචකයායි මායි අදාළ රංගන ශිල්පියා එක්ක කතා කරලා මේක මෙහෙමයි වෙන්නෙ කියලා චරිතයක් ගොඩනඟනවා. ඒ චරිතයේ හතර කොන් බලලා, මේවා මෙහෙම තමයි වෙන්නෙ කියලා සීමා මායිම් ඇතුළේ ඒ චරිතය ගොඩනැඟුවහම චරිතයට අදාළ නළුවා හෝ නිළියත් ඒකට දායක වුණහම මේ වැඩේ හරිම පහසුයි. මේ දවස්වල විකාශය වෙන පාට කුරුල්ලෝ නාට්‍යයේ ලොකු බ්‍රදර්ගේ චරිතය ගත්තොත් බුද්ධික ලියල එව්වේ ඉංග්‍රීසි වචන දාල කතා කරන කෙනෙක්. අපි දේවින්ද වික්‍රමසිංහ එක්කත් කතා කරලා ඒක වැඩිදියුණු කරගෙන ඒක චරිතයේ ස්වභාවයක් බවට පත්කර ගත්තා. අපේ නිර්මාණවල අඩංගු චරිත සන්නාම බවට පත්වෙලා තියෙනවා නම් ඒකෙ දායකත්වය තිරපිටපත් රචකයා, ඒකට දායක වෙන රංගන ශිල්පියා හෝ ශිල්පිනිය වගේම අධ්‍යක්ෂ විදිහට මම. අපි තුන්දෙනාගේ එකමුතුව සහ අවබෝධය තමයි එතැන තියෙන්නේ. මං යමක් කිවුවහම රංගන ශිල්පියා ඒක අවබෝධ කරගන්න විදිහ වගේම ඔහු යමක් කිවුවහම මං ඒක අවබෝධ කරගන්න විදිහ තමයි වැදගත්. මං මේක මෙහෙම කරල බලන්නද කියලා ඔහු ඇහුවොත් මං කියන්නේ හරි කරල බලමු. හොඳනම් ගමු කියලා. මෙතැන තියෙන්නේ අපි එකිනෙකාට ඇහුම්කන් දීම සහ අපි එකිනෙකාට ගරු කරගැනීම. එහෙම නැතුව මේක මගේ ටෙලි නාට්‍ය මට ඕන එක ලියන්න ඕන, මට ඕන එක ඔයා රඟපාන්න ඕන කියන තැන මං නැහැ. මම හැම වෙලේම නළුවා හෝ නිළියට ඇහුම්කන් දෙනවා. රචකයාගෙන් අහනවා මේක මෙහෙම වෙන්න බැරි ද කියලා. ඒ සාකච්ඡා කිරීම සහ විශේෂයෙන්ම ඇහුම්කන් දීම තමයි ගොඩක්ම වැදගත්. මං දකින විදිහට අපේ මේ ක්ෂේත්‍රයේ තියෙන ලොකුම අඩුව තමයි ඇහුම්කන් දෙන්නෙ නැති එක. මේ හැම චරිතයක්ම මාර චරිත කියලා මං කියන්නෑ. අපි තුන්දෙනාගේ අවබෝධයත් එක්කම මේකට එකතුවන තවත් පිරිසක් ඉන්නවා. කැමරා අධ්‍යක්ෂවරයා ආකර්ෂණීය රූපරාමු මවනවා වගේම අංග රචනා ශිල්පියා අපිට අවශ්‍ය විදිහට වෙස් ගන්වලා දෙනවා. කලා අධ්‍යක්ෂවරයා ගත්තත් අවශ්‍ය ඇඳුම් ආයිත්තම් හදලා දෙනවා. සංස්කරණ ශිල්පියා ඇතුළු තවත් විශාල පිරිසක් ඉන්නවා. දිගටම එක ටීම් එකක් එක්ක වැඩ කරනවා කියන්නේ ඔවුන්ගේ හෘද ස්පන්දනය මට දැනෙනවා වගේම මගේ හෘද ස්පන්දනයත් ඔවුන්ට දැනෙනවා. ඔවුන් දන්නවා කොහොමද මේක වෙන්න ඕන කියන එක. ඒක වැඩ කරන්න පහසුවක්. එහෙමයි කියලා මම අලුත් කෙනෙක් ගන්න දෙපාරක් හිතන්නෙත් නැහැ.
අධ්‍යක්ෂවරයා විදිහට නිර්මාණයේ රසය පවත්වාගෙන යමින් කොතනින්ද මෙය නතර කළ යුත්තේ කියන එක තීරණය කරන්න ඔබටත් හැකියාවක් ඇති?
මෙහෙමයි. අසූව දශකයේ ටෙලි නාට්‍ය පටන්ගත්ත කාලේ බොහෝ විට අධ්‍යක්ෂවරයා තිරරචකයෙක් තෝරගෙන ඔහුගෙන් කතාව අරගෙන කොටස් දොළහක, දහඅටක නාට්‍යයක් කරලා ඒක චැනල් එකකට විකුණන එක තමයි කළේ. නමුත් දැන් ඒක විශාල පරාසයකට විහිදිලා. අද අපි නිර්මාණයක් කරනවා නම් චැනල් එකක්, නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂවරයා, තිරරචකයා මේ ඔක්කොම එක්ක කතා කරලා නිශ්චිත තැනකට ඇවිත් තමයි වැඩේ කරන්නේ. ඉස්සර වගේ සරල නැහැ. මේක තමයි දැන් තියෙන රටාව සහ විදිහ. අපේ මහන්සිය ප්‍රේක්ෂකයා අතරට ගෙන යන වාහකයා වෙන්නේ නාළිකාව නිසා අපි ඔවුන්ටත් ඇහුම්කන් දිය යුතුයි.
මේ වෙද්දි සිනමාවට ඔබේ දායකත්වය අඩුයි නේද?
ඔව්. මුලින්ම මං සම්බන්ධ වෙලා හිටියෙ සිනමාවට. නමුත් මොකක්හෝ අවාසනාවකට මට සිනමාවෙන් ඈත්වෙලා ටෙලි නාට්‍ය එක්කම ගනුදෙනු කරන්න වුණා. මේ වසරේ යළිත් සිනමාවට සම්බන්ධ වෙන්න පුළුවන් වේවි කියල හිතාගෙන හිටියත් ඒකත් මඟහැරුණා. ඉදිරියේදී බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකෙන් කියවෙන්නේ මං ටෙලි නාට්‍යවලට ආදරයක් නෑ කියන එක නෙවෙයි. ඒක හරියට මගේ කොයි දරුවට ද වැඩියෙන්ම ආදරේ කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් එක නමක් කියාගන්න බෑ වගේ වැඩක්. මම ටෙලි නාට්‍ය කොතරම් කළත් මම කැමැතියි සිනමා නිර්මාණයක් කරන්න. ඒක ඕනෙම නිර්මාණකරුවෙකුගේ පිපාසයක්. ප්‍රේක්ෂකයින් රඳවා ගත හැකි හොඳ සිනමා නිර්මාණයක් කරන්න මමත් කැමැතියි.
ඔබේ නිර්මාණ ඔස්සේ අලුතෙන් ක්ෂේත්‍රයට එකතුවන බොහෝ දෙනා කියන්නේ සිවා සර්ගේ වැඩකට සම්බන්ධ වෙනවා කියන්නේ හරියට රංගන පාසලකට ගියා වගේ කියලා. ඒ ගැන මොකද හිතෙන්නේ?
යම්කිසි කෙනෙක් මා ගැන එහෙම සඳහන් කළා නම් මං ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේක අපි කාගෙවත් බූදලයක් නෙවෙයි. අපිට කලින් පරපුර අපිට ඒ බැට්න් එක හරියට දීපු නිසා තමයි අද අපෙන් හොඳ දෙයක් කෙරෙන්නේ. ඔවුන් ළඟ මං වැඩ කරද්දි ඉගෙන ගත්ත දේවල් වගේම ඉගෙන ගන්න ඕනෙ නැති දේවල් තෝරාබේරා ගෙන තමයි දැන් මං වැඩ කරන්නේ. අදටත් මං හිතන්නේ ඉපදුන ගමන් ළමයෙකුට ඇවිදින්න බැහැ වගේම අලුතින් එන දරුවන්ටත් අත්දැකීම් නැහැ. මං කේන්ති ගන්නෙ නැතුව නිවී සැනසිල්ලේ ඔවුන්ට අවශ්‍ය උපදෙස් දෙමින් තමයි ඔවුන් එක්ක වැඩ කරන්නේ. එහෙම තමයි වැඩ කරන්න ඕනෙ කියලයි මට හිතන්නේ. මං මගේ අත්දැකීම් එක්ක ඔවුන්ට කෑගහනවා නම් ඒක වැරැදියි. මුලින්ම මං ඔවුන්ට අත්දැකීම් ලබාගන්න ඉඩ දෙනවා.
මේ තරම් කාර්යබහුල තත්ත්වයකදී මනස සැහැල්ලුවෙන් තියාගෙන හොඳ නිර්මාණ කරන්න ගෙදරින් ලැබෙන සහායත් ගොඩක්ම වැදගත් නේද?
අනිවාර්යයෙන්ම. ඇගෙන් ලැබෙන සහාය ඉතාම ඉහළයි. ඇය ධම්මිකා ඕවිස. ඇය වගේ බිරියක් ලැබීම තමයි මගේ ලොකුම වාසනාව. ඇත්තටම මේ කාර්යබහුලත්වය හමුවේ අපිට ගෙදර වැඩ ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. ගෙදර වැඩත් එක්ක දරුවන්ගේ වැඩත් කරගෙන මට නිර්මාණකරණයට අවශ්‍ය නිදහස ලබාදෙන්න ඇය ලොකු කැපකිරීමක් කරනවා. ප්‍රේක්ෂකයින්ගේ සිත් සනසන්න නිර්මාණ කළාට බිරියත් එක්ක ගමනක් බිමනක් යන්නවත් මාකට් එකට යන්නවත් වෙලාවක් නැහැ. ඒ හැමදේම අමතක කරලා ඔයා මට වඩා රටට අවශ්‍යයි කියලා හිතන බිරියක් ඉන්න එකත් ලොකු වාසනාවක් කියලා මං හිතනවා.
