රැකියාවෙන් අයින් වෙලා ඒ කාලය සැමියා වෙනුවෙන් වෙන්කළා -දිනිති වල්ගමගේ

gossiplanka image 2
 


දිනිති වල්ගමගේ කියන්නේ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් දක්ෂතා දක්වන කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්. මේ දිනවල පුංචි තිරේ විකාශය වන නිර්මාණ කිහිපයකින්ම එකිනෙකට වෙනස් වූ චරිත ඔස්සේ අපිට මුණ ගැහෙනවා. අද මේ සොඳුරු කතාබහ දිනිති වල්ගමගේ සමඟයි.


දිනිති මේ දවස්වල කාර්යබහුලයි වගේ?


ඔව්. මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි. කලා නිර්මාණ කිහිපයකම වැඩ කරගෙන යනවා.


පුංචි තිරේ මේ දවස්වල නිර්මාණ කිහිපයකම ඉන්නවානේ. ඒ ගැන කෙටියෙන් මතක් කළොත්?


පහේ ළමයි, චංචල රේඛා, ජහුටා, කාකි සහ කාමරේ කියන නාට්‍යයවල ෂූටින් යන අතරේම ඒවා විකාශය වනවා.


පහේ ළමයි නිසා මේ දවස්වල දිනිතිට සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා නේද?


ඇත්තටම ඔව්. මේ දවස්වල පහේ ළමයි නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කොහේ දැක්කත් දිදුලි කියලා කතා කරනවා. පොඩි ළමයි පවා ළඟට ඇවිත් ෆොටෝ ගන්නවා.


පසුගිය කාලේ එකිනෙකට වෙනස් වූ චරිත කරන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නේ?


කාලයක් මම එකම විදිහේ චරිතවලට කොටු වෙලා හිටියා. ඒ මම රැකියාව කරන අතරේ රංගනයේ යෙදීම නිසා. රැකියාව නිසා මට යම් යම් සීමා මායිම් එක්ක වැඩ කරන්න සිද්ධ වුණා. ඒ නිසා මම කරන චරිතේ සුදුද කළු ද කියන එක හිතන්න වුණා. ඒත් එක්කම මට රංගනයට දෙන්න පුළුවන් කාලයත් සිමා වෙලා තිබුණේ. නමුත් රැකියාවෙන් ඉවත් වීමත් එක්ක මට විවිධ චරිත කරන්න නිදහස ලැබුණා. ඒ නිසා ලැබෙන චරිතේ සුදු ද කළු ද කියන එක බලන්නේ නැතුව විවිධ චරිත කරන්න මට පුළුවන් වුණා. මම එක රේන්ජ් එකේ කෙනෙක් නෙවෙයි විවිධ රංගන පරාසයන් කරන්නට හැකියි කියන එක ඔප්පු කරන්න ඒක මට අවස්ථාවක් වුණා. මම හිතනවා මම භාර ගත්ත චරිතවලට සාධාරණයක් කරන්න ඇති කියලා.


මෙතෙක් කරපු චරිතවලින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් ලැබුණු නිර්මාණය මොකක්ද?


සුසුම් රස්තියාදුව නාට්‍යයේ ගිම්හානිගේ චරිතය. ගිම්හානි වෙනුවෙන් මම හොඳම නිළිය සම්මානය සඳහා හතර වතාවක් නිර්දේශ වුණා. මම මෙතෙක් කරපු චරිතවලින් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණු චරිතයත් සුසුම් රස්තියාදුව නාට්‍යයේ ගිම්හානි.


ඉදිරියට එන්න තියෙන සිනමා නිර්මාණ මොනවාද?


මේ දිනවල ශමීර නාඔටුන්නගේ වයිෆ් සිනමා නිර්මාණය තිරගත වෙනවා. ඒත් එක්කම ශාන් ජයරත්නගේ සරාසුසුම් චිත්‍රපටය, එරංග සේනාරත්නගේ මැසෙන්ජර්, අරුණ ජයවර්ධනගේ එදා රෑ සහ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරන සමහරු සහ සමාගම කියන චිත්‍රපට සහ තවත් චිත්‍රපට 4ක් තියෙනවා.


ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් අයින් වෙලා පූර්ණ කාලීනව කලාව කරන්න ගත්තු තීරණය ගැන අද මොකද හිතෙන්නෙ?


ඇත්තටම ඒ ගැන සතුටුයි. ගඟක් වුණත් එකම විදිහට ගලාගෙන යනකොට ලස්සනක් නැහැනේ. මගේ ආසාවක් තිබුණා ගුවන් සේවිකාවක් වෙන්න සහ ලෝකය බලන්න යන්න. මම ඒ ආසාව ඉටු කර ගත්තා. අවුරුදු 8ක් බොහොම ආදරෙන් මම ඒ රස්සාව කළා. කලාවට යොමු වුණාට පස්සේ හිතුවා මට ඒ ඔස්සේ ගමනක් යන්න පුළුවන් කියලා. මගේ සැමියා හමුවුණාට පස්සේ එයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මම ආසයි එයත් එක්ක වැඩි කාලයක් ගත කරන්න. රැකියා දෙකක් එක්ක මගේ කාලය සීමා වෙන නිසා, එක රැකියාවකින් අයින් වෙලා ඒ කාලය මං මගේ සැමියා වෙනුවෙන් වෙන්කළා.


දිනිතිට, සංගීත්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?


සංගීත්ගෙන් ලැබෙන සහයෝගය උපරිමයි. ගොඩක් වෙලාවට අපි දෙන්නා නිර්මාණ දෙකක වැඩ කරන්නේ. ඒත් සමහර දවස්වලට මට තව කවුරු හරි ඕනේ කියලා හිතුණොත් එයා අනිවාර්යෙන්ම මා වෙනුවෙන් ඒ දවස වෙන් කරනවා. මම හිතන්නේ මම හරි වාසනාවන්තයි සංගීත් වගේ ආදරණීය සැමියෙක් ලබන්න.


අනාගත බලාපොරොත්තු මොනවාද?


එහෙම ලොකු බලාපොරොත්තු නම් නැහැ. එකම බලාපොරොත්තුව මගේ සැමියත් එක්ක අදත් හෙටත් හැමදාටමත් සතුටින් ඉන්න එක. ඒ වෙනුවෙන් තමයි අපි දෙන්නා හැමදේම කරන්නේ. ඒ සතුට ලැබුණොත් හොඳටම ඇති. ඒක තමයි අපි දෙන්නගෙම එකම ගෝල් එක

gossiplanka image 1
Previous Post Next Post