ඔහු මේ වනවිට ‘පොඩි අතුල’ නමින් රටම හඳුනන චරිතයක් බවට පත්වී ඇත. වසර කිහිපයක් තිස්සේ විකාශය වන ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ ‘පොඩි අතුල’ ලෙසින් පෙනී සිටින ඔහු නිරෝෂ් අනුරාධය. ඔහු සිය කලා නිර්මාණ ගැන කතා කරන්නට මෙසේ අප හා එක් විය.
පොඩි අතුල කිව්වම නොදන්න කෙනෙක් නෑනේ. කොහොමද මේ දිනවල ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර ගැන කියනවා නම් ඒක මගේ ජීවිතේ ලබන උතුම්ම සතුට කිව්වත් හරි. වයස් භේදයකින් තොරව දකින ඕනම කෙනෙක් ‘අතුල අයියා, අතුල මාමා, අතුල පුතා’ කියලා කතා කරනවා. නිරෝෂ් කියන නමට වඩා ‘පොඩි අතුල’ කියන නම මිනිස්සුන්ගේ හදවතටම ගිහින් තියෙනවා. පාරේ යද්දිත් වාහන නවත්තලා අතුල අයියා කියලා අත වනලා, හෝන් ගහන තත්ත්වයක් තියෙන්නේ. ඒ ප්‍රතිචාර නම් හිතා ගන්න බැහැ.
මේ චරිතයට ආරාධනා ලැබෙන්නේ කොහොමද ?
සාරංග මෙන්ඩිස් මං මුලින්ම දකින්නේ මීට අවුරුදු හය හතකට කලින්. ඊට පස්සේ අපි දෙන්නා මුහුණු පොත හරහාත් සම්බන්ධ වුණා . 2023දී වගේ සාරංග මල්ලිට මං මැසේජ් එකක් දානවා අවස්ථාවක් ආවොත් මටත් කියන්න කියලා. ඊට ටික දවසකට පස්සේ ඔහු මට දාල තිබුණා සහාය අධ්‍යක්ෂ ලසංක මදුශාන් කතා කරයි කියලා. ඒ විදිහටයි මට ‘පොඩි අතුල’ට ආරාධනා ලැබුණේ.
කොතරම් ජනප්‍රිය වුණත් ‘පොඩි අතුල’ කියන්නේ මැරයෙක්. චරිතය භාර ගනිද්දි චකිතයක් ඇති වුණේ නැද්ද?
පිටපත කියවද්දිම මේකෙන් මම ගොඩයනවාම කියන අදහස ආවා. ඇත්තටම ඒක හිතාගන්න බැරි තරම් චරිතයක්. ඒක මට දැනුණේ හිත හොඳ චණ්ඩියෙක් කියලා. මේක තමයි මට ගැළපෙන චරිතය කියලා මට හිතුණා.
රූගත කරද්දී අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?
අමතක නොවන සිදුවීම් නම් කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් විශේෂම සිදුවීම ජ්‍යෙෂ්ඨ රංගනවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් සමඟ පැවති සටන් ජවනිකාවකදි ඔහුගෙන් ඇත්තටම පහරවල් දෙක තුනක් වැදුණා. ඒ ජවනිකාවට අවශ්‍ය නිසා මම ඒ බව නොපෙන්වා දරාගෙන හිටියා. දවස් දෙක තුනක් යනකල්ම වේදනාව තිබුණා. අධ්‍යක්ෂවරයාටත් ඒක දැනුණා.
චරිතේ ජීවමාන කරන්න සුවිශේෂී උපක්‍රම යොදනවා ද ?
මේ වගේ චරිත අපට හමුවෙනවා. ඔවුන් භාවිත කරන වචන තමයි මං ගත්තේ. පිටපතේ තිබෙන දෙබස්වලට අමතරව සමාජයේ දුටු චරිතවල භාවිත වුණු වචන මාලාවක් යොදාගත්තා.
‘සංගිතේ’ ට අමතරව මේ දිනවල දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?
සිරස නාළිකාවේ විකාශය වන ‘කළු අහස ‘ ටෙලිනාට්‍යයේ ‘රාජු’ වගේම ස්වාධීන නාළිකාවේ විකාශය වන ‘ සිහිනෙක තනිවෙලා ‘ ටෙලිනාට්‍යයේ ‘කළු’ විදිහටත් මේ දවස්වල රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම තවත් ටෙලි නිර්මාණ තුනකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉන් දෙකක් ළඟදීම විකාශයට නියමිතයි.
කලා ලොවට පිවිසුණු අයුරු සිහි කළොත්?
මම දකුණු කොරියාවේ රැකියාව කරන අතරේ හිතවත් වුණු සහෝදරියක් කිව්වා ඔයා හොඳයි රඟපාන්න කියලා. එදා මම කිව්වා රඟපාන්න නම් ආසයි. ඒත් අවස්ථාවක් නැහැනේ කියලා. ඒ නංගිගේ මාර්ගයෙන් තමයි මට ඇන්ටන් මිහිඳුකුල සර්ව හඳුනගන්න අවස්ථාව ලැබෙන්නේ. ඔහුගේ හඳුනා ගැනීමත් එක්ක 2012දී තමයි මම කලා ලොවට අවතීර්ණ වෙන්නේ.
ඔබට ගායන හැකියාවකුත් තියෙනවා නේද?
ඔව්. මම සංගීත ප්‍රසංගවල ගීත ගායනයට එක්වෙනවා.
නිරෝෂ් අනුරාධ කියන ගායකයා ගැන කතා කළොත්?
මම ගායනයට යොමුවෙන්නේ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී සංගීත් නිපුන් සනත් නන්දිසිරි සර්ට
පින් සිද්ධ වෙන්න. බොහෝ විට මං ගායනා කළේ ඔහුගේ ගීත. ඒවට ඉතා හොඳ ප්‍රතිචාරත් ලැබුණා. ගායකයෙක් ලෙස මම ඉස්මතු වුණේ Power Back සංගීත කණ්ඩායමේ ඔගිව් තරංග මල්ලි නිසා. ඩුබායි හා සිංගප්පූරු විදෙස් සංචාර දෙකකට ගායනයට ආරාධනා ලැබුණත් සහභාගි වෙන්න බැරි වුණා.
ගායනය පැත්තෙන් ඉදිරි නිර්මාණ ගැන කිව්වොත්?
සංගීත කණ්ඩායම්වලින් වගේම මගේ යාළුවොත් නිතර කරන ඉල්ලීමක් තමයි ‘අයියේ ඔයාගේ සින්දුවක් කරමු ‘ කියලා. ඒක මගේ හිතට වැදුණා. නුදුරේදීම මගේම ගීත කිහිපයක් අහන්න ලැබේවි.
ඔබට රංගන හැකියාවක් තිබෙන බව මුලින්ම හඳුනා ගත්තේ කොහොමද?
විදෙස්ගත වෙලා හිටිය කාලේ යාළුවොත් එක්ක එකතුවෙලා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බැප්ටිස් ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි වගේ අයගේ චරිත නිරූපණය කරනවා. යාළුවොත් හරි ආසාවෙන් මාව උනන්දු කරවනවා. ඇන්ටන් මිහිඳුකුල සර්ගේ රංගන වැඩමුළුවලට යද්දී මටත් තේරුණා මටත් යම්කිසි රංගන හැකියාවක් තිබෙනවා කියලා.
කැමරාවට මුලින්ම මුහුණ දුන් දවස මතකද?
ඔව්. අද වගේ මතකයි. හරියටම 2012 වසරේ ඔක්තෝබර් 04 වැනිදා. හිරු නාළිකාවේ විකාශය වුණු ‘අදිසි’ කතා මාලාවෙන් තමයි මුලින්ම කැමරාවට මුහුණ දුන්නේ.
සිනමාවේ භූමිකාව මොන වගේද?
සිනමාවට නම් තවම අවස්ථා දෙකයි ලැබුණේ. ‘ කතුරු මිතුරු ‘ හා ‘Mr මිසිස්’ චිත්‍රපටවල සුළු චරිත දෙකක් සඳහා ආරාධනා ලැබුණා.
රංගනයට ද ගායනයට වඩාත් කැමැති?
මේ දෙකටම මම හරිම ආසයි. දෙකම මගේ ඇඟේම තියෙනවා කියල හිතනවා.
පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?
මගේ අම්මා, තාත්තා, ලොකු අයියා, අක්කා, මල්ලිලා තුන්දෙනා වගේම බිරිඳ ගයනිගෙන් මගේ මේ ගමනට පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. එයාලමයි මාව උනන්දු කරවන්නේ. ඔවුන්ටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.