‘මා පුතා’ දෙබස නාට්‍යයට ගෙනාවේ මම රොහාන් විජේතුංග

gossiplanka image 2
 

බොහීමියානුවා ටෙලිනාට්‍යයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසි රොහාන් විජේතුංග මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චරිතයක් බවට පත් වී ඇත. පිරිමි ළමයි ටෙලි නිර්මාණයේ මුදලාලිගේ භූමිකාවෙන් ඔබ හමුවට ආ ඔහු වෘත්තියෙන් ගුරුවරයකු වීමද විශේෂත්වයකි. මේ කතාබහ ඔහු සමඟනි.


‘පිරිමි ළමයි’ කියන්නේ ගොඩක් ජනප්‍රිය වුණු ටෙලි නිර්මාණයක්. මුදලාලිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මිනිසුන් ගොඩක්ම ආදරය කරන්න පටන් ගත්තේ ‘මා පුතා’ කියන දෙබසට. ඇත්තටම මේ වචනය නාට්‍යයට ගේන්නෙ මම. සාමාන්‍ය යෙන් මං චරිතයක් ලැබුණු ගමන්ම ඒ හා ගැළපෙන අවස්ථාවන්, පුද්ගලයන් සිද්ධින් සමඟ චරිතය ගළපනවා. මේ චරිතයත් මම හදාගන්නේ එහෙමයි. මටම ආවේණික වචන කීපයක් තෝරා ගනිමින් චරිතය හසුරුවනවා. ප්‍රේක්ෂක අදහස් ඉදිරිපත් වෙන්නෙත් මම තෝරා ගත් ඒ වචනවලින්ම වීම මට ලොකු සතුටක්.


‘රොන් සොයා’ ටෙලි නාට්‍යයේ අකලංක සර් ගැන මොකද හිතෙන්නේ?


රොන් සොයා ටෙලි නාට්‍යයේ අකලංක කියන්නේ පාසලේ ක්‍රිකට් සර්. මගේ වෘත්තියම මම රඟ දක්වනවා. ඒ නිසා මමත් අකලංකගේ චරිතයට ගොඩක් කැමතියි. අතරමඟදී ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණත් ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා.


වෘත්තීමය ගුරුවරයෙක් විදිහට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ කොහොමද?


ගුරු වෘත්තියට පෙරත් මම කලා ක්‍ෂේත්‍රයේ හිටියා. මගේ වාසනාවකට අවස්ථා තුනකදීම මට ගුරුවරයෙක් වීමට හැකියාව තිබුණා. කලා ක්ෂේත්‍රය නිසාම අවස්ථා දෙකකදි එය මඟ හැරුණා. ටෙලි නාට්‍ය හතරකට සහභාගි වී ජනප්‍රිය නළුවන්ගේ නම් අතරට නිර්දේශ වෙලා හිටියා. කාලවත් එක්ක රංගනය ස්ථාවර දෙයක් නෙමෙයි යන්න වැටහීමත් එක්ක මං නාට්‍ය හා රංග කලා විෂය ධාරාවෙන් ගුරු වෘත්තියට පිවිසුණා.


ඒ කියන්නේ රංගන ක්ෂේත්‍රයට පැමිණීම කුඩා කාලයේ ඉඳන්ම තිබුණු ආසාවක් ද?


නැහැ. පුංචි කාලයේ එහෙම ආසාවක් තිබිලා නැහැ. නමුත් වේදිකාව මට හුරුපුරුදු තැනක් වෙලා තිබුණා. මේ නිසාම පිරිසක් ඉදිරියේ චකිතයකින් තොරව ඉදිරිපත් වුණා. ඇහැළියගොඩ විද්‍යාලයට ඇතුළත් වීමත් එක්ක මම නිවේදකයාගේ භූමිකාව ඉටු කළා. පාසලේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීමත් එක්ක නිවේදකයෙක් වීම තමයි මගේ ඉලක්කය වෙලා තිබුණේ.


ඔබේ පළමුවැනි රංගන අත්දැකීම ගැන කතා කරනවා නම්?


මගේ පළමු රංගන අත්දැකීම වුණේ බොහීමියානුවා. ඒ තිරපිටපත ලියන්නේ නාමල් ජයසිංහ. මට එහි සුළු චරිතයකට අවස්ථාව තිබුණා. වාසනාවකට වගේ මෙහි අධ්‍යක්ෂ සිවගුරුනාදන්ට මගේ රංගනය ගැන පැහැදීමක් ඇතිවුණා. සෙට් එකට ආපු පළමුවැනි දවසේ මට කිසිම අවබෝධයක් තිබුණේ නෑ. සෙට් එකේ අය මාව ගණන් ගත්තෙත් නැහැ. නමුත් අධ්‍යක්ෂවරයා මට කතා කළා. ඒ දවස මගේ ජීවිතේට ලොකු අත්දැකීමක් එකතු කළා.


ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?


නවක රංගන ශිල්පීන් සෙට් එකේදිත් ජංගම දුරකතනය භාවිත කරනවා වැඩියි. ඒ නිසා ප්‍රවීණයන් හා ගැටෙන අවස්ථාව මඟහැරෙනවා. නමුත් මම එදා නිතර ඔවුන් සමඟ කතා කරමින් ඔවුන්ගේ අත්දැකීම් ලබාගත්තා. කැමරාව ඉදිරියේ හැසිරිය යුත්තේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඔවුන් ගොඩක් උදවු කළා. අතළොස්සක් ඇරුණහම ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණ ශිල්පීන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. අදටත් එහෙමයි.


රිදී තිරය තුළ ඔබගේ අත්දැකීම් මොනවාද?


රිදී තිරයේ නම් මට එතරම් අත්දැකීමක් නැහැ. ශෙලීනා කියන චිත්‍රපටයේ මම වැඩ කළා. ඒ වගේම ජීවන් කුමාරතුංග අධ්‍යක්ෂණය කළ ‘ජීවා’ චිත්‍රපටයට සහ උදයකාන්ත වර්ණසූරියගේ ‘මේඝ වර්ණ’ කියන චිත්‍රපටවලට මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබෙනවා. මීටත් වඩා සාර්ථක අන්දමින් චිත්‍රපට ක්ෂේත්‍රය තුළ යමක් කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.


ක්ෂේත්‍රය තුළ ඔබේ ජයග්‍රහණ මොනවාද?


මම මුලින්ම ජයග්‍රහණ ලබා ගත්තේ වේදිකා නාට්‍ය තුළින්. කෙටි නාට්‍ය හරහා වේදිකාව තුළ ප්‍රධාන නළුවාට හිමි සම්මාන කිහිපයක්ම හිමිවෙලා තිබෙනවා. රූපවාහිනී සම්මාන මට හිමිවෙලා නැහැ. නමුත් අවස්ථාවන් දෙකකදී ජනප්‍රිය නළුවාට නම නිර්දේශ වෙලා තියෙනවා.


ක්ෂේත්‍රය තුළ ඉදිරි බලාපොරොත්තු මොනවාද?


ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න එකම ලොකු බලාපොරොත්තුවක්. ඒ වගේම සිනමාව තුළ වැඩියෙන් වැඩ කිරීමට අවස්ථාව ලබා ගැනීමත් ආසාවක්. වේදිකාව තුළත් වැඩ කරමින් ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන චරිතයක් වෙන්න තමයි මම උත්සාහ කරන්නේ.


කලා ක්ෂේත්‍රය තුළ මෙතෙක් ආ ගමනේදී ඔබට සහයෝගී වූ ලොකු පිරිසක් ඇති. ඒ අයවත් මතක් කරමු.


අපේ ජීවිතේ වෙනස් කරන ලොකුම තැන පාසල. ඇහැළියගොඩ විද්‍යාලයේ ගුරුවරුන්ව මේ මොහොතේ මතක් කරන්නම ඕනෙ. ඒ වගේම මගේ මවුපියන්, සහෝදරයන් මෙතැනට එන්න මට ලොකු අත්වැලක් වුණා. මේ වෙද්දි මගේ බිරිඳත් මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ක්ෂේත්‍රයට පැමිණීමට පෙර සිටම මේ ගමනේදී ඇය මට ලොකු හයියක් වුණා. නම් වශයෙන් කියන්න බැරි තරම් පිරිසක් මා වටා එක් වෙලා ඉන්නවා. මේ හැමෝටම බෙහෙවින්ම ස්තුති කරනවා.

gossiplanka image 1
Previous Post Next Post