මම ජීවිතය ගැන ආපසු හැරිලා බලන්නේ නැති තරම් -නිරෝෂා තලගල

gossiplanka image 2
 

නිරෝෂා තලගල කියන්නේ නර්තනයෙන් සහ රංගනයෙන් ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලබන සොඳුරු කලාකාරිනියක්. ඇය මේ දිනවල අපිට මුණගැහෙන්නේ රොන් සොයා ටෙලි නාට්‍ය තුළින්. ඇගේ කලා කටයුතු සමඟින් ගෙවෙන ජීවිතයේ ‍ නවතම තොරතුරුයි මේ.


මේ දිනවල ඔබ දකින්න ලැබෙන නිර්මාණ මොනවද?


වෙනදට සාපේක්ෂව නම් මගේ විකාශය වන නාට්‍ය ප්‍රමාණය අඩුයි. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන රොන් සොයා නාට්‍යයේ රමණි කියන චරිතය තුළින් ප්‍රේක්ෂකයින් අතරට එනවා.


ඉස්සර වගේ දැන් පුංචි තිරයේ වැඩියම ටෙලි නිර්මාණවලින් දකින්න නැත්තේ ඇයි?


පහුගිය කාලේ චිත්‍රපට කිහිපයකටම දායක වුණු නිසා ටෙලි නිර්මාණ අඩුවෙන් භාර ගත්තේ. කරපු නිර්මාණ නම් ගොඩක් එන්න තියෙනවා. සිනමා නිර්මාණම 5ක් වගේ එන්න තියෙනවා. ටෙලි නිර්මාණ ඊටත් වැඩියි. කොයි මොහොතේ මොන නාළිකාවෙන් ඒ නිර්මාණ විකාශය වේවිද කියලා නම් කියන්න බැහැ.


මෙතෙක් කළ චරිත අතරින් කැමතිම චරිතය මොකක් ද කියල ඇහුවොත්?


හාරකෝටියේ අරුණිගේ චරිතයට මම ගොඩක්ම කැමතියි. ‘එකගෙයි මිනිස්සු‘ හි සුලෝචනාගේ චරිතය සහ දේවි ටෙලි නාට්‍යයේ බිසෝ කුමාරිහාමිගේ චරිතවලටත් කැමැතියි.


නිරෝෂාව වැඩිපුරම දකින්නේ දඟකාර කටකාර චරිතවලින්. කොටු වෙලා කියල හිතෙන්නේ නැද්ද?


එහෙම කොටුවීමක් වුණේ නැහැ. මොකද දඟකාර කටකාර චරිත වුණත් ඒ චරිත එකිනෙකට වෙනස්. මගෙත් එක්ක සමකාලීන අයට සාපේක්ෂව මට වෙනස් චරිත ලැබුණා. ඒ වගේම එකම විදිහේ චරිත ලැබෙද්දී මම ඒ චරිත ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබුණා.


කරන්න ආසාවෙන් ඉන්න තවමත් නොලැබුණු චරිතයක් තියෙනවා ද?


ඔව්. එකිනෙකට වෙනස් විදියේ චරිත ලැබෙනවා නම් මම කැමතියි. රංගන ශිල්පිනියක් විදිහට මං චරිත පිපාසයෙන් ඉන්න කෙනෙක්. මේ සමාජය ගත්තම කොච්චර නම් චරිත තියෙනවා ද? ඒ අතරින් මම කරලා තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්නේ.


චරිත තෝරා ගැනීමක් කරනවද?


මෙහෙමයි. චරිතේ තුළ කරන්න දෙයක් නැතුව නිකම් පෙනී ඉන්න එකක් නම් මම කරන්නේ නැහැ. ඒ හැර මට ලැබෙන චරිතය කතාවේ ප්‍රධාන චරිතේ ද අතුරු චරිතයක් ද කියන එක නම් මම කවදාවත් හොයන කෙනෙක් නෙවෙයි. මම හොයන දෙයක් ඒ චරිතය තියෙනවා නම් මම ඒ චරිතය භාර ගන්නවා. සමහර වෙලාවට ඇඳුම් පැලඳුම් නිසා හිතන්න වෙන, යම් තෝරා ගැනීමක් කරන්න වෙන අවස්ථා තියෙනවා.


නිරෝෂා කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක්. කොහොමද දැන් නර්තන කටයුතු?


නර්තන කණ්ඩායමත් එක්ක දිගටම වැඩ කෙරීගෙන යනවා. නිරෝෂා තලගල විත් යූ. ඩාන්සර්ස් කණ්ඩායමට තාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං දැන් නැටුවා ඇති, මගේ කණ්ඩායම විතරක් යැව්වම ඇති කියලා හිතලා ප්‍රසංගයක් භාර දෙන්න යද්දි මම නැතුව මෙහෙමයි, මම ඇතුව මෙහෙමයි කියල කියද්දිම නෑ නෑ….අපිට ඔයා එක්කම ඕන කියන ඉල්ලීමත් එනවා.


නිරෝෂා එන්න එන්නම ලස්සන වීමේ රහස මොකක්ද?


එහෙම විශේෂයක් නැහැ. කාලෙන් කාලෙට ඉන්න මූඩ් එක එක්ක වෙනස් වෙනවා ඇති. මම කැමති හිනාවෙලා සතුටින් ඉන්න අයත් එක්ක ඉන්න. මූඩ් ගහගෙන ඉන්න අයත් එක්ක ඉන්න මම කැමති නැහැ. මගේ නර්තන කණ්ඩායමේ ළමයි එක්ක මම ඉන්නේ. පන්සල් කෝවිල් යනවා. පිං දහම් කරනවා. මගේ මානසික සතුට තියෙන්නේ එතන. ඒ දේවල් එක්ක මගේ හිත සතුටින්, මනස සුවයෙන් තියෙනවා. ඒ නිසා වෙන්න ඇති මාව ලස්සනට පෙන්නේ.


දුවත් කලාවට යොමු වෙයි ද?


ඒක නම් හරියටම කියන්න බැහැ. එයා ගොඩක් දක්ෂ දරුවෙක් කියන එක එයාගේ ක්‍රියාකාරකම් තුළින් පෙන්නුම් කරනවා. බොහොම ආදරණීයව මම එයා දිහා බලන් ඉන්නවා. නර්තනය, ගායනය වගේම ක්‍රීඩාවටත් දක්ෂයි. මගෙන් කිසිම බලපෑමක් නැහැ. එයා කැමති අංශයකින් ඉදිරියට යන්න මම මගේ සහයෝගය ලබා දෙනවා.


ජීවිතය ගැන ආපසු හැරිලා බලද්දී මොකද හිතන්නේ?


සතුට වගේම කලකිරීම්, පසුබැසීම් තියෙනවා. හැබැයි අද මම දුකින් ඉන්නේ කාලයකට උඩදී සතුටින් ගත්තු තීරණයක් නිසා නම් මං ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. මොකද මම එදා ඒක ගොඩක් සතුටින් ගත්ත තීරණයක් නිසා. අද මම දුක් වෙනවා නම් ඒ සසරේ මොකක් හෝ කරපු දෙයක් නිසා මට ලැබෙන්න තියෙන කර්මානුරූපී දෙයක් වෙන්න ඇති. ඒ නිසා ජිවිතේ මට ලැබෙන්න තියෙන දේ ලැබෙයි. මම ජීවිතය ගැන ආපසු හැරිලා බලන්නේ නැති තරම්. හෙට දවස සහ ඉස්සරහ බලාගෙන තමයි මේ ගමන යන්නේ.


කලාවට ආ දා පටන් නොඅඩුව ආදරය ලබා දෙන ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ?


ඒ ආදරේ තමයි මාව මෙතනට ගෙනාවේ. රංගන ශිල්පිනියක් විදිහට හෝ නර්තන ශිල්පිනියක් විදිහට ලැබෙන ආදරේට ඇත්තටම මමත් ආදරෙයි. සමහර වෙලාවට පන්සලේ දී හෝ කෝවිලේ දී මම කතා කරන්නේ නැහැ කියල කවුරු හරි හිතනවා නම් ඒ, ඒ තැන්වලට මමත් එන්නේ සාමාන්‍ය කෙනෙක් විදිහට, හිතේ එක එක ප්‍රශ්න තියාගෙන වෙන්න පුළුවන්. එහෙම වෙලාවට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මඟහැරෙනවා ඇති. ඒ ආඩම්බරකම නිසා නෙවෙයි. මෙතුවක් ආව ගමනේ මම කරපු චරිත විශ්වාස කරලා මට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට මම හැමදාම හිස නමා ආචාර කරනවා.


අනාගත බලාපොරොත්තු මොනවද?


මගේ මුළු ජීවිතේම මගේ දරුවා. ඇයව ගෙනියන්න පුළුවන් ඉහළම තැනට එයාව ගෙනියනවා. ඒ හැර මගේ නර්තන සහ රංගන කටයුතු එක්ක ජීවිතේ ඉස්සරහට යනවා.

gossiplanka image 1
Previous Post Next Post