නන්දනී කියන්නේ මගේ වාසනාවට ලැබුණු චරිතයක් -රෙබෙකා දිල්රුක්ෂි

gossiplanka image 2
 

තමන්ට ලැබෙන සෑම චරිතයකටම උපරිම සාධාරණයක් ඉටු කරමින් ප්‍රේක්ෂකාදරය උපරිමයෙන් දිනා ගන්නා ඇය මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන පට්ටි ගෙදර ටෙලි නාට්‍යයේ නන්දනීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට එන්නීය. අද අපේ කතා බහ ඇය සමඟනි. ඇය නමින් රෙබෙකා දිල්රුක්ෂිය.


ඔබ මේ දිනවල දකින්න ලැබෙන්නේ පට්ටි ගෙදර ටෙලි නාට්‍යයෙන්. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ?


හරිම සතුටුයි. මෙච්චර කාලෙකට වුණු මහන්සියේ ප්‍රතිඵල තියෙනවාද නැද්ද කියලා දැනෙන්න ගන්නේ ප්‍රේක්ෂකයන් හරහා. ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරෙන් පට්ටි ගෙදර නාට්‍යය වැලඳගෙන තියෙනවා. ඉතින් හොඳ ඕඩියන්ස් එකක් හැදිලා ඉන්නවා පට්ටි ගෙදරට.


පට්ටි ගෙදර නන්දනීට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පෞද්ගලිකව ෆේස්බුක් එක හරහා බොහෝ දෙනෙක් මට මැසේජ් දානවා. ඒ සියලු දෙනාටම මම රිප්ලයි කරනවා. ඒ ආදරය තමයි තියෙන්න ඕන. නන්දනීගෙ චරිතෙට මම හිතුවෙවත් නැති විදිහට ප්‍රතිචාර ලැබෙනවා.


ඒ අත්දැකීම ඔබට දැනෙන්නේ කොහොමද?


නන්දනී කියන්නේ ඇත්තටම පොඩි ළමයකුගේ මානසිකත්වය තියෙන කෙනෙක්. එක තැනකින් පස්සේ එයාගේ මනස අප්ඩේට් වෙමින් ඉස්සරහට යෑමක් සිදුවෙන්නේ නෑ. නමුත් වයස යනවා. ළමා කාලයේ වෙන සමහර සිදුවීම් හේතුවෙන් වැඩිහිටියෙක් වුණත් ළමා කාලයේම ඉන්න සිදුවීමක් තමයි නන්දනීගේ චරිතය තුළින් ඉස්මතු වෙන්නේ. මට නන්දනීව දැනෙන්නේ හරිම පියෝ චරිතයක් විදිහට. එයාගේ හැඟීම්, ප්‍රතිචාර හරිම පිරිසිදුයි. පොඩි ළමයෙක්ට දුකක් දැණුනහම හිර කරගෙන ඉන්නේ නැතුව අඬන්නේ කොහොමද අන්න ඒ වගේ ඒ මොහොතේ ඇති වෙන දේවල්වලට ඒ මොහොතේම මෙයා ප්‍රතිචාර දක්වන කෙනෙක්.


කණ්ඩායමෙන් ඔබේ චරිතයට ලැබෙන්නේ මොන වගේ සහයෝගයක් ද?


මට වැඩිපුරම ගැටෙන්න තියෙන්නේ චමින්ද බටුකොටුවත් එක්ක. එයා මගේ තාත්තා. ඇත්තටම චමින්ද අයියා මාර අප්ඩේට් මනුස්සයෙක්. සමහර වෙලාවට ගහගන්න ඒව පෙරළගන්න ඒවා කරන කොට මෙයා තමයි ටෙක්නික් මට කියලා දෙන්නේ. ඊට පස්සේ අපේ මාර්ටින් ඇන්තනී ඒ චරිත දෙක වුණත් මට මාර සහයෝගයක් දෙනවා. ඉතින් චමින්ද අයියගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එක දර්ශනයක දී හම්බ වුණු චින්තක වාස් අයියත් ලොකු සහයෝගයක් ලබා දුන්නා. ජොනට් ඇන්තනී, ලෝචනා, නවීන්ද්‍ර, ධම්මික, කසුන්, දිනක්ෂි, දාසට රඟපාන මල්ලි, දුලාජ් මේ සියලු දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. තමන්ගේ චරිතය සාර්ථක වීම හෝ අසාර්ථක වීම සිද්ධ වෙන්නේ සෙසු රංගන ශිල්පීන්ගේ සහයෝගය මත. ඇතැම් චරිතවල සමහර ගුණාංග මතු වෙන්නේ සෙසු ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය මත. ඒ සියලු දෙනාගේම සහයෝගය මට ඉතාමත් වටිනවා.


රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවා ද?


හැමදාම වගේ මට ලැබුණේ මම කැමති චරිත. එහෙම නැත්නම් කරන චරිතෙට මම කැමති වෙනවා. එහෙම එකක් තමයි මට තියෙන්නේ. නන්දනී කියන්නෙත් මං කැමැත්තෙන් හිටිය චරිතයක්. මගේ වාසනාවකට මට ඒක ලැබුණා.


ඔබ රංගනයෙන් දායක වන වයිෆ් චිත්‍රපටයත් මේ දිනවල තිරගත වෙනවා නේද?


ඔව්. ‘වයිෆ්‘ ආදරවන්තයන්ගේ මාසයේ තිරගත වෙනවා. අධ්‍යක්‍ෂණය සහ පිටපත් රචනය ශමීර නාඔටුන්නගේ. දක්ෂ රංගන ශිල්පීන් රැසක් දායක වෙනවා. මේකෙ මට තියෙන්නේ බොහොම අඩු ඩියුරේෂන් ප්‍රමාණයක්. චිත්‍රපටය තුළින් සමාජයට දෙන අදහස හොඳයි. මේ කාලයට ගැළපෙන්න කරපු සරල ඉතාමත් හොඳ ලස්සන වැඩක්.


ඔබේ රංගන කටයුතු සාර්ථක කර ගන්න පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?


ඒ අයගේ සහයෝගය නැත්නම් කලාකරුවෙක්ට ඉදිරි ගමනක් නෑ. ඒ කලාකරුවා එතනම මැරෙනවා. මට මාර විදිහට ඒ සහයෝගය ලැබෙනවා. මාව ස්ට්‍රෙස් කරන්නේ නැතුව මාව සුවෙන් තියන එක තමයි එයාලා මට කරන පළවෙනිම උදව්ව. රංගන ශිල්පියෙක් කරන්නේ මනසත් එක්ක ගනුදෙනුවක්. එතනදි අපේ මනස ක්ලියර් එකට තියෙන්න ඕන. එයාලා ඒකට උදව් කරනවා කියන්නේ මට ලොකු සහයෝගයක්. ඔවුන් මගේ වැඩේ කරගෙන යන්න හොඳටම ඉඩ දෙනවා .


ඉදිරියේදී ඔබ දකින්න පුළුවන් නිර්මාණ ගැන කතා කළොත්?


නාට්‍ය කීපයක්ම එන්න තියෙනවා. මේ දවස්වල ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘හිත් අතර හිස්තැන්‘ කියන අලුත් නාට්‍යයේ රූගත කිරීම් තියෙනවා. ඒ වගේම ප්‍රියන්ත කොළඹගේ ගේ බැද්දේගම නාට්‍යය. ඒකත් තිරගත වීමට නියමිතයි. මේ දවස්වල ෂූටින් යනවා සහ චිත්‍රපටයකට අපි සැලසුම් කරනවා. ඒවා තමයි අලුත් වැඩ.


රෙබෙකා දිල්රුක්ෂිට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොකක් ද කියන්න තියෙන්නේ?


බොහොම ස්තූතියි මට ආදරය කරනවාට සහ ඒ ආදරේට මමත් හරි ආදරෙයි. ප්‍රේක්ෂකයන් නිසා තමයි මම වගේම අනෙක් රංගන ශිල්පීනුත් රැඳිලා ඉන්නේ. ඒ ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ප්‍රේක්ෂක ඔබ තමයි මගේ අංක එක. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. තවත් හොඳ නිර්මාණ ඔයාලට ඉස්සරහට බලාගන්න පුළුවන්.


ඔබ ප්‍රවීණයන්ගෙන් පවා පැසසුම් ලබන දක්ෂ ශිල්පිනියක්. නවක රංගන ශිල්පීන්ට කියන්න දෙයක් ඇති?


ඇත්තම කතාව කිවුවොත් රඟපාන්න එන්න හරිම ලේසියි. හැබැයි පැවැත්ම තියාගන්න එක තමයි අමාරුම. ඒකට හේතුව විදිහට මං දකින්නේ තමන් අප්ඩේට් නොවීම සහ මේ මොහොතේ කරන්නේ මොකක්ද කියන එක පිළිබඳව අදහසක් නොමැතිකම. ඔය දෙක හදා ගත්තනම් සහ උනන්දුව, කැපවීම තියෙනවනම් රඟපාන්න පුළුවන්.

gossiplanka image 1
Previous Post Next Post