ඇය නමින් නෙතුලි සනායා මෙත්සුකීය. ‘අකුරට යන වෙලාවේ‘ ටෙලි නාට්‍යයේ ද ඇය මෙත්සුකීය. එමෙන්ම ‘රුවන්වන් සෙනෙහස‘ ටෙලි නාට්‍යයේ මෙලනි ලෙසින් ද ඔබ හමුවට ආ ඇය අද අප හා මෙසේ එක්වන්නීය.
මෙත්සුකීගේ රංගන කටයුතු කොහොමද?
මේ දවස්වල නම් අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දීලා ඉන්න නිසා රංගන කටයුතුවලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නේ. මම මේ අවුරුද්දේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. මං ඉගෙන ගන්නේ මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ.
අධ්‍යාපනයට අමතරව විනෝදාංශ ගැන කතා කළොත්?
කැමතිම විෂය නැටුම්. විනෝදාංශයක් විදිහටත් ගොඩක් වෙලාවට මම නැටුම් කරන්නේ. එහෙමත් නැත්තම් මගේ සුරතල් පූස්, බලු යාළුවෝ එක්ක සෙල්ලම් කරනවා. රඟපෑමට අමතරව නිවේදන කටයුතුත් කරනවා. පාසල නියෝජනය කරමින් නර්තන තරගවලින් ජයග්‍රහණ ලබා ගෙන තියෙනවා. ඊට අමතරව පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේත්, නැටුම් කණ්ඩායමේත් සාමාජිකාවක්. බැඩ්මින්ටන් සහ පිහිනුම් කටයුතුත් කරනවා.
මුලින්ම රඟපාපු ටෙලි නාට්‍යය මොකක්ද?
හිරු නාළිකාවේ විකාශය වන ‘අකුරට යන වෙලාවේ‘ ටෙලි නාට්‍යයේ මෙත්සුකීගේ චරිතයට තමයි මම මුලින්ම රංගනයෙන් දායක වුණේ. ඒක තමයි මගේ පළමුවැනි ටෙලි නාට්‍යය. මෙත්සුකී ගමක ජීවත් වන ඉස්කෝලේ පහ වසරේ ඉගෙන ගන්න ගැමි දැරියක්. ඒත් ඇත්තටම මම ඉගෙන ගන්නේ එකොළහ වසරේ. ඒ වගේම කතාවේ චරිතයට වඩා ඇත්ත ජීවිතේදි මං ටිකක් සැරයි.
මෙත්සුකීගේ කලා කටයුතුවලට පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
පාසලේ ගුරුවරුන්ගෙන් වගේම යාළුවන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මඟහැරෙන පාඩම්, සටහන් හැමදේම ආවරණය කරගන්න එයාලා මට උදවු කරනවා.
පවුලේ විස්තර කොහොමද?
මං ඉන්නේ මතුගම. අම්මයි, තාත්තයි, මමයි, මගේ සුරතල් බලු පැටව් දෙන්නයි, පූසයි තමා අපේ ගෙදර ඉන්නේ. අම්මා තමයි ගොඩක් වෙලාවට ෂූටින් එක්ක යන්නේ.
මේ වෙනකොට රඟපෑ නාට්‍ය ගැන විස්තර කළොත්?
‘අකුරට යන වෙලාවේ‘, ‘රුවන්වන් සෙනෙහස‘ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. තවත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා.
මෙත්සුකී ටෙලි නිර්මාණවලට විතරද රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ?
නැහැ. රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලටත් සම්බන්ධ වෙලා තියෙනවා.
ප්‍රේක්ෂකයා අතර වැඩියෙන් ජනප්‍රිය වුණ චරිතය ගැනත් කියමු?
‘අකුරට යන වෙලාවේ‘ ටෙලි නාට්‍යයේ මෙත්සුකීගේ චරිතයෙන් තමයි මාව ප්‍රේක්ෂකයා අතර කතා බහට ලක් වුණේ. මගේ ඇත්ත නමෙත් මෙත්සුකී කියන කොටස තියෙනවා. නාට්‍යයේ චරිතේ නමත් ‘මෙත්සුකී‘ නිසා මට ඒ ගැන සතුටුයි. මගේ චරිතය හරියට, ලස්සනට කරන්න නාට්‍ය කණ්ඩායමෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
රඟපෑම් අතරතුර මුහුණ දුන්න අමතක නොවන සිදුවීම් එහෙම තියෙනවද ?
එහෙම සිද්ධි නම් කීපයක්ම තියෙනවා. ‘රුවන්වන් සෙනෙහස‘ ටෙලි නාට්‍යයේ මම හිටියේ නපුරු අක්කා කෙනෙක්ගේ චරිතෙකට. එතනදි නංගි එක්ක මම නිතරම ගහගන්න අක්කෙක් විදිහට තමයි රඟපෑවේ. ඉතින් ඔහොම අපි දෙන්නා ගහගන්න කොටසක් රූගත කරනකොට නංගිගේ ගවුම ඉරුණා. ගවුම ඉරෙනකම්ම මම ඉතින් ඇත්තටම ගැහුවා.
රඟපාන්න වැඩිපුර ආස චරිත එහෙමත් ඇති?
ඔව් මම ආසයි ගැමි දැරියකගේ චරිතයක් වගේම ටිකක් නපුරු ළමයෙක් ගේ චරිතයක් ඉස්සරහටත් කරන්න.
වෘත්තීමය රංගන ශිල්පිනියක් වෙන්නද කැමති?
නැහැ, මම ආස නැටුම් ටීච කෙනෙක් වෙන්න. ඒ අතර දිගටම රංගනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.