
ඔහු ගායකයෙක්, ගීත රචකයෙක්, කෙටිකතාකරුවෙක්, චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, වේෂ නිරූපණ ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක්, නාට්‍යකරුවෙක් මෙන්ම පිටපත් රචකයෙක් ආදී ලෙසින් කලාවේ බොහෝ ඉසව් වල නිරත වන කලාකරුවෙක්. ඔහු නමින් චන්ද්‍රසිරි හෙටිටිආරච්චි.
“එක්දහස් නවසිය අසූනවයේ කාලයේ මම හිටියේ සීදුව ප්‍රදේශයේ. ඒ දවස්වල මගේ සහෝදරිය හිටියේ එහේ. මගේ සහෝදරියගේ නිවසේ ඉදලා තමයි මම උසස් අධ්‍යාපන කටයුතු සිදු කළේ. ඒ දවස්වල මම කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඒ අතරතුර තමයි ‘සීදුව රෙඩ් රෝසස්‘ සංගීත කණ්ඩායමට නිත්‍ය ගායකයා ලෙස එකතු වෙන්න අවස්ථාව ලැබුණේ. එතකොට සංගීත කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කළේ නීල් සමන්ත අයියා. මගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය විදියට මම දකින්නේ මේ අවස්ථාව. එදා ඉදන් අද දක්වාම ප්‍රසංග වේදිකාවේ ගායකයෙක් විදියට කටයුතු කරන්න මට හැකි වෙනවා. ඒ කාලයේ රියැලිටි වැඩසටහන් තිබුණේ නෑ. මම එස්.එම්.එස් වලින් ජනප්‍රිය වුණ ගායකයෙක් නෙවෙයි. ඒත් මගේ සංගීත දිවියට දැන් වසර 36ක්.”
තමන් පැමිණි ගමන මඟ පිළිබඳ මතකය අවදි කරමින් චන්ද්‍රසිරි හෙටිටිආරච්චි.
“මගේ ගම් පළාත අත්තනගල්ල ඌරාපොල නිකහැටිකන්ද කියන දිය ඇලි, කඳුගැටවලින් වටවුණ සුන්දර ගම්මානයක්. මම පාසල් අධ්‍යාපනය ලැබූවේ නිකහැටිකන්ද ප්‍රාථමික විද්‍යාලයෙන් සහ ඌරාපොල මධ්‍ය විද්‍යාලයෙන්. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා. දැනට මම වෘත්තීය ගුරුවරයෙක් ලෙස ආඬිඅම්බලම මහා විද්‍යාලයේ සේවය කරනවා. ගුරු වෘත්තියට අමතරව දේශකයෙක් ලෙසත් කටයුතු කරගෙන යනවා. දේශකයෙක් විදියට රටේ දරුවන් වෙනුවෙන්, තරුණ ප්‍රජාව වෙනුවෙන් දේශන පවත්වමින් ඔවුන් යහමඟ ගන්න ලොකු උත්සාහයක යෙදෙනවා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි වුණ ස්වභාවයක් දකින්න ලැබෙනවා. ඉතින් මේ මත් උවදුරෙන් තරුණ දරුවන් බේරා ගැනීමේ අපේක්ෂාවෙන් තමයි මේ දේශන කටයුතු සිදු කරන්නේ. ඒවගේම ළමා අපචාර මෙන්ම ළමා අපයෝජන මුල්කරගෙනද මේ දේශන ක්‍රියාවලිය සිදු වෙනවා.“
මෙතක් ආ සංගීත දිවියේ ඔහු විසින් නිර්මාණය කළ ගී විස්සකට වැඩිය. එම ගීත අතරින් ‘වීදි කොනේ කඩ පිල මත‘ ගීතය, ශානිකා වනිගසේකර හා එක්ව ගැයූ ‘තොරන් බැඳලා‘ ගීතය සහ ‘ලස්සන හිම හංසියේ‘ යන ගීත සඳහා රූප රචනා ද සිදුකර ඇත.
“වීදිකොනේ කඩ පිල මත ගීතය, ශානිකා වනිගසේකර හා එක්ව ගායනා කළ තොරන් බැඳලා යන ගීත විවිධ නාලිකා ඔස්සේද ප්‍රචාරය වෙනවා. වීදි කොනේ ගීතය මගේ පළමුවැනි ගීය. ගීතයේ පද රචනය කළේත් මමමයි. වීදි ළමුන්ගේ ඛේදවාචකය පාදක කරගෙන තමයි ඒ ගීතය රචනා කළේ. ඇත්තටම ඒ ගීතයට රසික ප්‍රතිචාරත් ගොඩක් ලැබුණා වගේම බොහෝ අවස්ථාවල ඇගයීමට ලක්වුණ නිර්මාණයක් වුණා.
ඒවගේම මා හා තනි වී, අප්පච්චි, සිරවෙලාද නුඹ ආලකමන්දාවේ, තනි යහන මත එදා, දෑස නුඹ සොයනා තරම්, සඳසාවි, පුංචි පුංචි මල් හිනැහෙන, උකුල සුව යහනක්, වසා දෙනුවන්, එක මලක්, අහස තරමට ආදී ගීතත් මගේ ගීත එකතුවේ තියෙනවා.
පූජ්‍ය වනසිරිගම සිරිරතන හිමි, පූජ්‍ය මැදවල නිමලසිරි හිමි, පූජ්‍ය නෙළුවේ විමල ශාන්ත හිමි, පසිඳු කරුණාරත්න, විශාරද ප්‍රදීප් නිශාන්ත, උචිත සෞම්‍ය ගුණරත්න, දහම් මානගේ, නිශාන්ත දර්ශන යන අයත් ගීත රචනයෙන් දායක වුණා.
රංජිත් බාලසූරිය, තරිඳු බණ්ඩාර, නුවන් පීරිස්, උචිත සෞම්‍ය ගුණරත්න, රම්සි මොහොමඩ්, ලසන්ත රත්නායක, පැතුම් කුරේ, අමිල බද්දේගම යන සංගීත ශිල්පීන් තමයි ගීතවලට සංගීතය නිර්මාණය කරලා දුන්නේ.
මගේ මේ ගමන යන්න සමීර් හන්සර් මගේ මිතුරා ගොඩක් උදව් කළා. ඔහු මගේ ජීවිතයට ලැබුණ වටිනාම සම්පතක්.”
ගීත රචකයෙක් ලෙසද ප්‍රසිද්ධියට පත් චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි තමා ගැයූ ගී වලට අමතරව වෙනත් ගායක ගායිකාවන් සඳහා ද ගී රචනා කළ අයෙකි.
“ සිංහල ගුරුවරයෙක් විදියට මම ගීත රචනයට දැඩි ඇල්මක් දක්වනවා. නදීශා විජේසුන්දර ගායනා කරන පාළු හිත ළඟ ගීතය, ගයාන් වීරසිංහ ගායනා කරන ඔබයි අපේ විරුවා ගීතය, තාරුකා වන්නේ ආරච්චි ගියනා කරන හිත හොරෙන් නැවතිලා ගීතය ක්‍රිස්ටන් ජේම්ස් ගායනා කරන ඔබ නැතිව මං නිදියනවා ගීතය සහ මුමුණාපු හැමදේම ගීතය යනාදී ගී මම විසින් පද රචනය කළ ඒවා.”
ගායනය සහ ගීත රචනයට අමතරව කෙටිකතාකරුවෙක්, චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, වේෂ නිරූපණ ශිල්පියෙක්,නර්තන ශිල්පියෙක්, නාට්‍යකරුවෙක් මෙන්ම පිටපත් රචකයෙක් ලෙස ද කලා ක්ෂේත්‍රයේ පැතිකඩ රැසක් නියෝජනය කරන චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි එදා විශ්වවිද්‍යාලයටද නැතුවම බැරි චරිතයක් විය.
“මට විවිධ අවස්ථාවල සම්මානයට ලක් වෙන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම ඒ ගැනනම් මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ඒවා මගේ කැපවීමට වගේම වාසනාවට ලැබුණ දේවල් කියලයි මට හිතෙන්නේ. සංගීත ක්ෂේත්‍රයෙන් තවත් බොහෝ දුරක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. මෙ වන විට මගේ ගීත පහක පමණ වැඩ කටයුතු අවසන් වෙමින් තියෙන්නේ. ඉක්මනින්ම ඒවා රසවිඳින්න මගේ රසික ජනතාවට හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා.
ඇත්තටම කලාව කියන දේ මට දැනෙන්නේ මම කලාවත් එක්ක හුස්ම ගන්නවා වගේ දෙයක්. ඉදිරියේදීත් සුභාවිත ගීතයක් සමඟින් දැනෙන, මතක හිටින ගීත නිර්මාණය කරමින් කලාකරුවෙක් විදියට රසික ජනතාව පිනවීම තමයි මගේ එකම බලාපොරොත්තුව. මගේ අම්මා ජීවතුන් අතර නැතත් මගේ තාත්තාගේ ආශීර්වාදය එක්ක ආ මේ ගමන ගැන පුදුමාකාර සතුටක් දැනෙනවා.“
චන්ද්‍රසිරි හෙට්ටි ආරච්චි තම මෙතෙක් ගමන් මඟ පිළිබඳ පැවැසුවේ එලෙසනි.
සිතුමිණි ගුණරත්න
