
මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ ඩොක්ටර් රන්දුල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන භූමිකාවකි. ඩොක්ටර් රන්දුල ලෙසින් ඔබ හමුවට එන ඔහු විශේෂඥ මනෝ විද්‍යාඥ අශෝක් ප්‍රියදර්ශනය. දවස පුරා ජීවන අරගලයක යෙදෙන ප්‍රේක්ෂකයන්ගේ මනස සැහැල්ලුවෙන්, සතුටින් තබන්නට වෙර දරන පාට කුරුල්ලෝහි සෑම චරිතයක්ම අතිශයින් ජනප්‍රිය වීම ද විශේෂත්වයකි. ලංකාවේ මෙතෙක් පැවැති සෑම සම්මාන උලෙළකදීම සම්මානයට ලක්වූ පාට කුරුල්ලෝ හි කොටස්කරුවකු වීමේ සතුට විඳිමින් සිටින අශෝක් අප හා කතාබහට එක්වෙමින් පැවසුවේ මෙවැන්නකි.
“ඩොක්ටර් රන්දුලගෙ කැරැක්ටර් එක ගැන බුද්ධික මට ලියන්න කලින්ම කියල තිබුණා. මෙහෙම කැරැක්ටර් එකක් තියෙනවා අයියේ මං ඔයාව ඔළුවෙ තියාගෙනමයි ලියන්නෙ කියලා. හැබැයි කතා කළේ නම් ෂූටින්වලට කලින් දවසේ. රන්දුල වගේම චරිතයක් මට සැබෑ ජීවිතේදිත් හමුවෙලා තියෙනවා. මං රන්දුලගෙන් දකින්නෙ එයාව. රන්දුල කියන්නෙ වැඩිය කලබල නැති, සන්සුන් මානුෂීය කෙනෙක්. මාත් හරිම ආස චරිතයක්. බුද්ධික මං ගැන හොඳින්ම දන්නවා. මගේ කැපෑසිටි එක දන්නවා. රන්දුල මගේ සැබෑ ජීවිතේටත් ගොඩක්ම සමීපයි. ඒ නිසා රන්දුල වෙන්න මට අමාරු වුණේ නැහැ. සෙට් එකට ගියහම මං රන්දුල වුණත් සමහර වෙලාවට මේ ඉන්නෙ රන්දුල ද අශෝක් ද කියලා මට වෙන්කර ගන්න බැරි වෙනවා. රන්දුලගේ බිස්නස් කෑල්ල අයින් කළොත් චරිත දෙකම එකම තලයක යන්නේ. රන්දුල කියන්නේ මට ආභරණයක් මිසක් අභියෝගයක් නෙවෙයි.“
ඩොක්ටර් රන්දුල තම රංගන දිවියේ සුවිශේෂීම රංගන අත්දැකීම බව අශෝක අප හා පැවසුවේ පසුගියදා නුවරදී ලැබූ අසීමිත ප්‍රේක්ෂක ආදරය සිහිපත් කරමිනි.
“රන්දුලට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. කොළඹටත් වඩා පිට පළාත්වලින්. පහුගිය දවසක අපි නුවර ගිය වෙලාවේ පුදුමාකාර විදිහට මිනිස්සුන්ගෙ ආදරය ලැබුණා. රන්දුල කෙවින්ගෙ ප්‍රශ්නෙදි ක්‍රියා කළ විදිහ ගොඩක් අයගෙ හිතට දැනිල තිබුණා. කෙවින් රන්දුලව ඒ තරම්ම අන්දලා තියෙද්දිත් ජයනාතලා ඉදිරියේ කෙවින් අපහසුතාවට පත් නොකර එතැන බැලන්ස් කරපු විදිහට ගොඩක් අය කැමැතියි. ඇත්තටම රන්දුල මට ආභරණයක්. මගෙන් නාට්‍යටත් නාට්‍යයෙන් මටත් හොඳක් වෙනවා කියල හිතනවා.“
බොහෝදෙනකු අශෝක් ප්‍රියදර්ශන නම් රංගන ශිල්පියා හොඳින්ම හඳුනාගෙන ගත්තේ රන්දුලගේ චරිතයෙන් වුව ද ඔහු මේ වනවිට නිර්මාණ තිහකට පමණ රංගන දායකත්වය සපයා ඇත.
“පාට කුරුල්ලෝ කියන්නෙ මං සම්බන්ධ වුණු දෙවැනි මෙගා නාට්‍යය. මීට කලින් මං ‘නීල පබළු‘ ටෙලි නිර්මාණයටත් රංගනයෙන් දායක වුණා. ඒත් ඩොක්ටර් කෙනෙක්ගේ චරිතයක්. මුලින්ම දීර්ඝ මාලා නාට්‍යකට සම්බන්ධ වුණේ ආනන්ද අබේනායකගේ ‘අප්පච්චි‘ මාලා නාටකයට. එහි සඳුන් රණසිංහගේ චරිතය. ඊට පස්සෙ ‘ස්වයංජාත‘ ඇතුළුව තවත් නිර්මාණ ගණනාවකටම දායක වුණා. ඒ දවස්වල ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙනවා කියන එක ලේසි නෑ. අමාරුවෙන් හොයාගෙන ගිහින් සම්බන්ධ වුණාට පස්සේ සමහරු අපිව ගණන් ගන්නෙත් නෑ. මට හොඳට මතකයි එක නාට්‍යයක මං මාළු කපන දර්ශනයකට පෙනී ඉඳලා අත පිළීගඳ නිසා සෝදගන්න කණ්ඩායමේ කෙනෙක්ගෙන් සබන් කෑල්ලක් ඉල්ලුවා. ඔහු මට හරිම නරක විදිහට බැන්නා. ඒ අතින් බැලුවම අද තත්ත්වය හාත්පසින්ම වෙනස්. හරිම සුබදායී. පාට කුරුල්ලෝ කණ්ඩායමත් හරිම මිත්‍රශීලීයි. හරිම විනෝදයි. ඇත්තටම මම ෂූටින් යන්නෙ හරි ආසාවෙන්.“
පාසල් වේදිකාවේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ අශෝක් ප්‍රසිද්ධ වේදිකාවේ මෙන්ම පුංචි තිරය සහ රිදී තිරයේද අත්දැකීම් ලැබූවෙකි.
“වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ වගේම නුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලෙදිත් පාසල් වේදිකාවේ මං ජනප්‍රිය චරිතයක්. මගේ රංගන ගුරුවරු වුණේ කපිල කුමාර කාලිංග සහ රංජිත් රාජපක්ෂ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී වැඩිපුරම මාව යොදාගත්තේ බ්ලැක් බොක්ස් තියටර්, පූල් තියටර් වගේ පර්යේෂණ නාට්‍යවලට. 2010 වසරේ මධ්‍යම පළාත් හොඳම නළුවා වුණා. 2009/2011 වසරවලත් කුසලතා සම්මාන ලැබුණා. ‘වේදිකාවට දැන් පැමිණි දුම්රිය’ කෙටි නාට්‍ය වෙනුවෙන් මං හොඳම නළුවා වුණා. හිත නිවන කතා, සංසාරේ පියසටහන් තිරපිටපත් සෑහෙන ප්‍රමාණයක් රචනා කරල තියෙනවා.“
අශෝක් ප්‍රියදර්ශන බොහෝවිට අපට හමුවී ඇත්තේ හික්ෂු චරිතයෙනි. එසේ නැතහොත් වෛද්‍යවරයකු ලෙසිනි. භික්ෂු චරිතය නැවත භාර නොගන්නා බව ඔහු අප හා පැවසුවේ ද ඒකාකාරීත්වයෙන් මිදීමේ අදහසිනි.
“ගොඩක් නිර්මාණවල මට ලැබුණේ භික්ෂු චරිතය. නැත්නම් ඩොක්ටර්ගේ චරිතය. මගේ පෙනුම නිසා එහෙම ලැබෙනවද කියලත් හිතෙනවා. මේ වෙද්දි මං භික්ෂු චරිත 14ක් විතර කරල තියෙනවා. යශෝධරා හෙවත් බිම්බාදේවී චිත්‍රපටයේ ආනන්ද හාමුදුරුවෝ, සාම කතාව වගේම පත්තිනිත් එවන් චරිත. ඩොක්ටර් චරිතයත් එහෙමයි. වෙලාවකට මට හිතෙනවා මාව එකම රාමුවක කොටු වෙලාද කියලත්. ඒත් ඩොක්ටර් රන්දුලට නම් මං හරිම කැමැතියි. රන්දුල එතැන සපෝටිව් කැරැක්ටර් එකක් වුණත් ඒක හයිලයිට් වෙනවා කියන්නෙම ලොකු දෙයක්. මං දැන් පාට කුරුල්ලෝ එක්ක සම්බන්ධ වෙලා අවුරුද්දකට වැඩියි. වැඩේ කියන්නෙ ඩොක්ටර් වුණාට තාම හොස්පිටල් එකක එකම දර්ශනයක්වත් තිබිල නැහැ. ඉදිරියට නම් තියෙනවා.“
සැබෑ දිවියේ රංගන ශිල්පියකුට එහා ගිය ප්‍රබල භූමිකාවකට පණ පොවන අශෝක් ප්‍රියදර්ශන වෘත්තියෙන් විශේෂඥ මනෝ විද්‍යාඥවරයෙකු බව ද ප්‍රකටය.
“මං වෘත්තියෙන් විශේෂඥ මනෝ විද්‍යාඥයෙක්. රිසර්ච් පැත්තට තමයි වැඩිපුරම බර. මිනිසුන්ගේ මානසික සෞඛ්‍යය ගැනත් බලනවා. විශේෂයෙන්ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ළමයින්ගේ මානසික සෞඛ්‍ය ගැන බලනවා. ඊට අමතරව විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් විදිහටත් කටයුතු කරනවා. මනෝ විද්‍යාව වගේම මනෝ විද්‍යාවේ නූතන ප්‍රවණතා සම්බන්ධයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සම්මේලනවලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙනවා. ඒක මගේ ජීවිතේ මට ලැබුණු ලොකු අවස්ථාවක්.
