
පාට කුරුල්ලෝ වෙනුවෙන් බුද්ධික සේමසිංහ නිර්මාණය කළ ලොකු බ්‍රදර් වයස් භේදයකින් තොරව දැන් කාගේත් ලොකු බ්‍රදර් බවට පත්වී ඇත. මේ දිනවල සමාජ මාධ්‍යයේ මිලියන ගණනින් ප්‍රතිචාර ලබන පාට කුරුල්ලෝ හි ජනප්‍රියම සන්නාමය ඔහුය. කැඩිච්ච ඉංග්‍රීසි වචන භාවිත කරමින් අමුතුම රටාවකට භාෂාව හසුරුවන ලොකු බ්‍රදර් ප්‍රේක්ෂකයාට සිනහව කැන්දන භූමිකාවක් බව කිය යුතුමයි. දේවින්ද වික්‍රමසිංහ යැයි කියූ විට නොදන්නා ඔහු ලොකු බ්‍රදර් ලෙසින් ඕනෑම අයකු හඳුනයි. ලොකු බ්‍රදර් නමින් ඔහු අමතා ඔහුගේ නම ඔහුගෙන්ම විමසන අපූරු ප්‍රේක්ෂකාගාරයක් ඔහු වටා සැකසී තිබීමම සතුටට කරුණකි. අද අප හා එක්වන්නේ ලොකු බ්‍රදර් ලෙසින් ප්‍රේක්ෂක ඔබ හමුවට එන දේවින්ද වික්‍රමසිංහය.
මේ දවස්වල දේවින්දට කියන්න තියෙන්නෙ හිතාගන්නම බැරි කතාවක් නේද?
ඇත්තටම ඒක හිතාගන්නම බැරි කතාවක් තමයි. අධ්‍යක්ෂණය වගේම තිරපිටපතත් දක්ෂ තිරපිටපත් රචක බුද්ධික සේමසිංහගේ. නිෂ්පාදනය බුද්ධික වික්‍රමසිංහගේ. අගෝස්තු 29 වැනිදා ඉඳන් දෙරණ නාළිකාවේ විකාශය වෙනවා.
මේකෙ විශේෂත්වය තියෙන්නේ මේකත් ලොකු බ්‍රදර් විදිහට මාව බ්‍රෑන්ඩ් එකක් බවට පත්කළ බුද්ධිකගෙම නිර්මාණයක්. නමින් මාව දන්නෙ නැති ඕනෙම කෙනෙක් ලොකු බ්‍රදර්ව දන්නවා වගේ මේකත් හිතාගන්නම බැරි කතාවක් වේවි කියලා හිතනවා.
ලොකු බ්‍රදර් හැමදාම මට නිහතමානී සතුටක් වගේම ආඩම්බරයක්.
හිතාගන්නම බැරි කතාවෙ ඔබේ කතාව මොකක්ද?
එක එක හේතු කාරණා මත ජීවිතය නැති කරගන්න ගිය තරුණයින් හතරදෙනෙක් මරණයෙන් ගලවා ගත්තට පස්සේ ඔවුන් ජීවිතයට මුහුණ දෙන ආකාරය ගැන කියවෙන කතාවක් මේක. මම චිත්ත කමල් හස්ත උපුල් දිසානායක. එම්බාම්කරුවෙක් විදිහට සේවය කරලා මුදල් රැවටීමකට ලක්වෙලා මැරෙන්න උත්සාහ කරන කෙනෙක්. හිතාගන්නම බැරි වැඩේ කියන්නේ එන කෝච්චියට බෙල්ල තියන් හිටියට කෝච්චිය යන්නෙ අනෙක් පීල්ලෙ. ඒ වගේ ඊළඟට වෙන දේ අපි කොහොම හිතාගෙන හිටියත් කවදාවත් ඒක එහෙම වෙන්නෙ නැහැ. වෙන දේ කලින් කියන්නත් බැහැ. ඒකම තමයි හිතාගන්නම බැරි කතාවක් වෙන්නේ. මේක පුංචි තිරයට අලුත්ම අත්දැකීමක් වේවි කියලා හිතෙනවා.
චිත්ත කමල් හස්ත උපුල් දිසානායක ඔබට අනිවාර්ය අභියෝගයක් නේද?
අනිවාර්යයෙන්ම ඒක මට ලොකු අභියෝගයක් වෙන්නේ රඟපාන්න බැරිකමකට නෙවෙයි. ඇත්තම කතාව කිව්වොත් මේ දවස්වල ප්‍රේක්ෂකයින් අතර මං අතිශයින්ම ජනප්‍රිය ලොකු බ්‍රදර් නිසා. ටෙලි නාට්‍ය ඉතිහාසය වෙනස් කරමින් මෙතෙක් පැවැති හැම සම්මාන උලෙළකදීම සම්මානිත වුණු නිර්මාණයක ජනප්‍රියම චරිතයක් ඒක. හිතාගන්නම බැරි කතාවෙ චිත්ත කමල්ට ලොකු බ්‍රදර්ට වඩා පහළින් ඉන්න බෑ. එහෙම වුණොත් මං ෆේල්. ඒ නිසා මට මේක ඇත්තටම අභියෝගයක්. එතනදි මං බුද්ධිකට කිව්වේ ඔයා තමයි ලොකු බ්‍රදර් හැදුවේ. ඒ වගේම ලොකු බ්‍රදර්ව කඩන්නත් පුළුවන් ඔයාටම විතරයි.
මට පුළුවන් චරිතයට සාධාරණයක් කරන්න විතරයි කියලා. බොහෝ දෙනෙක් හලෝ ලොකු බ්‍රදර් කියලා අතට අත දීලා හෙමින් අහන්නේ ඇත්තටම ඔයාගෙ නම මොකක්ද කියලා. ඒ තරමට ලොකු බ්‍රදර් අතිශයින් ජනප්‍රියයි.
සමහරු ලොකු බ්‍රදර් වෙන්නත් උත්සාහ කරනවා නේද?
ඔව්. මටත් ලොකු බ්‍රදර් වගේ වෙන චරිත ගණනාවකටම ආරාධනා ලැබුණා. සමහර අධ්‍යක්ෂවරු, සමහර වෙළෙඳ දැන්වීම්වලට ඒ චරිතයම කරන්න පුළුවන් ද ඇහුවා. මං එතනදි කිව්වේ, මේ චරිතය තියෙන්නේ ඒ නාට්‍යයේ විතරයි. මං මේ චරිතය විකුණන්නේවත් අවභාවිත කරන්නේවත් නැහැ කියලා. ලොකු බ්‍රදර්ම කරන්න කියල ලොකු ගණන්වලට කතා කළා. ඒත් මං කවදාවත් ලොකු බ්‍රදර්ගේ අනන්‍යතාව විකුණන්නේ නැහැ. මට ලොකු බ්‍රදර් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නිෂ්පාදක චාමර වික්‍රමසිංහ නිසා. ඔහු හරහා තමයි මම බුද්ධිකව හඳුනා ගන්නේ. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ලොකු බ්‍රදර් කියන දේවල් කටට එන්නෙ කොහොමද කියන එක. ඒකට එකම උත්තරේ බුද්ධික තමයි ඒ හැම වචනයක්ම ලියන්නේ. අනිත් අතින් අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්. ඒ තුන්දෙනාගේ එකතුවෙන් තමයි ලොකු බ්‍රදර් බිහිවෙන්නේ.
චිත්ත කමල් හස්ත උපුල් දිසානායකටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා ඇති නේද?
තාම වැඩි කාලයක් ගියේ නැති නිසා ප්‍රේක්ෂකයින් තාමත් චරිත ස්වභාවය හඳුනා ගනිමින් ඉන්නේ. දැනටමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රංගන ජීවිතේ ලොකුම අභියෝගයට මුහුණ දෙමින් තමයි මේ දවස් ගෙවෙන්නේ. ඉදිරියේදී නැවත වේදිකාවට සම්බන්ධ වීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා.
ඔබේ ක්ෂේත්‍රයට පිවිසි අතීතය ගැන කතා කළොත්?
මං රංගනයට අත්පොත් තබන්නේ ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලයෙන්. මගේ මුල්ම රංගන ගුරුවරයා ප්‍රවීණ නාට්‍යවේදී චාමික හත්ලහවත්ත. ඊට පස්සේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උපාධිය ලබාගන්නවා. මේ වෙද්දි පශ්චාත් උපාධියට සූදානම් වෙනවා. ඒ වගේම බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට කැලණිය විශ්වවිද්‍යාලයේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ ටවර් හෝල් රඟහල පදනමේ කටයුතු කරනවා. වෘත්තිය විදිහට මම රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනවා.
