පසුගිය කාලයට වඩා මම දැන් විශේෂයෙන්ම චරිත තෝරා බේරා ගැනීමක් කරනවා -ශලනි තාරකා

gossiplanka image 1
 

ශලනි තාරකා කාලයකට කලින් පවත්වාගත්ත ජනප්‍රියත්වය අදටත් අඩුවක් නැතුව තියාගෙන ඉන්න රංගන ශිල්පිනියක්. මේ දිනවල නම් ඇය කාගේත් අවධානය දිනාගෙන තියෙන්නේ වීදුරු තිර නාට්‍යයේ චේතිගේ චරිතයෙන්. විවාහයෙන් පස්සේ කැනඩාවේ ජීවත් වෙන අතර තුර මෙරටට පැමිණ කලාවේ රැඳෙන ඇය සුන්දර රංගන ශිල්පිනියක්.


පුංචි තිරේ මේ දිනවල චේතනී ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


චේතනීට නම් හිතා ගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. වීදුරු තිර නාට්‍ය පටන් ගනිද්දී නම් හිතුවේ නැහැ මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා. නමුත් මේ වෙද්දී වැඩිම ප්‍රතිචාර ලැබෙන නාට්‍යය බවටත් වීදුරු තිර නාට්‍යය පත් වෙලා තියෙනවා.


වීදුරු තිර කියන්නේ ඔබේම කතා සංකල්පයකට නිර්මාණය වුණු නාට්‍යයක්


ඔව්. වීදුරු තිර කියන්නේ මගේම කතා සංකල්පයකට නිර්මාණය වුණු නාට්‍යයක්. මම මේ කතා සංකල්පය ලියන්න කතා කළේ ගයානි අසිංසලා පියදිගමට. ඇයත් එක්ක මමත් සම්බන්ධ වෙලා තමයි මේ කතාව ගොඩ නැඟුවේ. ඇය ඉතාම හොඳින් මේ තිර රචනාව ලියලා තියෙනවා. ඒ එක්කම මම මේ නාට්‍යය නිර්මාණය කරන්න තෝරා ගන්නේ ශාන් ජයරත්න කියන දක්ෂ තරුණ අධ්‍යක්ෂවරයා. ඒ වගේම නාට්‍යයේ එන චරිතවලට අදාළ නළු නිළියෝ තේරුවෙත් මමයි.


ශාන් ජයරත්න තරුණ දක්ෂ අධ්‍යක්ෂවරයා තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණ ද?


ශාන් ජයරත්නව මට මුලින්ම හම්බුවෙන්නේ කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ ප්‍රඩක්ෂන් මැනේජර් විදියට. එතැනින් පස්සේ ඔහුගේ කුලුඳුල් නාට්‍යය අධ්‍යක්ෂණය වන අක්ෂි ටෙලි නාට්‍යයේ ආදිගේ චරිතයට මම දායක වෙනවා. එතැනදී තමයි මම ඔහුව අධ්‍යක්ෂවරයෙක් විදියට හඳුනා ගන්නේ. කියා දෙන්න ආදරේ තරම් නාට්‍යය කාලය තුළ ඉඳන් අපි අතරේ හොඳ සහෝදර බැඳීමක් තිබ්බා. ඒකත් එක්ක ශාන් ගැන මට ලොකු විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් ඇති වුණා ඔහු හොඳ නැඟී එන දක්ෂ අධ්‍යක්ෂවරයෙක් කියන එක. මම ඒක ඔහුටම කියලා තියෙනවා. ඔහු වෙනස් විදියට හිතන කෙනෙක්. වෙලාවකට නම් ටිකක් දඩබ්බරයි. ඔහු නිර්මාණ ඇතුළේ අලුත් දේවල් අත්හදා බලන්න පෙලඹෙන කෙනෙක්. මම හිතනවා ඉදිරියේදී තව තවත් එයාගේ දක්ෂතා පෙන්නුම් කරන්න හැකි අවස්ථා ලැබෙයි කියලා.


වීදුරු තිර නිසා මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?


මේ දවස්වල වීදුරු තිර නාට්‍ය ගැන වගේම එහි තිර පිටපත ගැන සහ එවැනි අභියෝගයක් ගත්ත එක ගැන සතුටක් දැනෙනවා. ඒ වගේම මේ කතා සංකල්පයට කැමති අය වගේම කැමති නැති අයත් ඉන්නවා. සමහරු හිතනවා මෙතැනදී අපි සමලිංගික කියන දේ ප්‍රමෝට් කරනවා කියලා. හැබැයි එහෙම දෙයක් නෙවෙයි අපි මතු කරන්නේ එහෙම අයටත් මේ සමාජයේ ජිවත් වීමේ අයිතිය තියෙන සාමාන්‍ය මිනිස්සු කියන එක. ඒ දේ සමාජය තුළ සාමාන්‍ය තත්වයක් විදියට නොදකින නිසා තමයි චේතිලා වගේ චරිත දුක් විඳින්නේ. එය පිරිමි පාර්ශ්වයටත් පොදුයි. එහෙම නොවෙන්න තමයි අපි මේ පියවර අර ගත්තේ. ඒකට හොඳම උදාහරණ තමයි අපිට ගලාගෙන එන පණිවිඩ. චේතිලා වගේ අසරණ වුණු බොහෝ දෙනෙක් අපිට මැසේජ් කරලා තියෙනවා. අනේ මේ කරලා තියෙන්නේ මගේ කතාවනේ කියලා. එයාලගේ සත්‍ය කතාවන් චේතිට වඩා දුක්බරයි. ඒ නිසා මෙවැනි දේවල් සමාජයේ තියෙන නිසා මෙවැනි කතිකාවතක් ඇති විය යුතුයි කියන එක. එහෙම කතාවක් තමයි අපි විදුරු තිර හරහා අරන් ඇවිත් තියෙන්නේ.


ශලාගේ මෑත කාලයේ චරිත තෝරා ගැනීම එකිනෙකට හරි වෙනස්, ඒ ගැන කිව්වොත්?


පහුගිය කාලයට වඩා මෑත කාලයේ මම විශේෂයෙන්ම චරිත තෝරා බේරා ගැනීමක් කරනවා. ඒ මම ලංකාවේ ජීවත් වෙන්නේ නැති නිසා. මම ඇවිත් වැඩ කරද්දී මම තෝරා ගන්නේ මට අවශ්‍යම හා ඒ හරහා මට ලොකු දෙයක් කරන්න පුළුවන් විදියේ චරිත පමණයි.


ඉදිරියට එන්න තියෙන පුංචි තිරේ නිර්මාණ මොනවාද?


රූගත කරන්න නියමිත වෙනස් ආකාරයේ චරිත නිරුපනයන් සහිත නිර්මාණ කිහිපයක් තියෙනවා. අපි ඒ ඒ නිර්මාණ විකාශය වෙන කාලයේ දී ඒ ගැන කතා කරමු.


මේ කාලයේ සිනමා නිර්මාණවලට වැඩි ඉඩක් දෙන්න අවස්ථාව ලැබුණා නේද?


පහුගිය කාලයේ සිනමාව වෙනුවෙන් කාලය වැය කරන්න මට බැරි වුණා. කොරෝනා කාලයෙන් පස්සේ මම රොහාන් පෙරේරාගේ සීගිරි කියන චිත්‍රපටය කළා. තාමත් ඒ චිත්‍රපටය ඇවිත් නැහැ. ඊට පස්සේ මේ අවුරුද්දේ මම චිත්‍රපට දෙකකට දායක වුණා. එකක් ක්‍රිස් ඇන්තනිගේ ‘අන්ලොක්‘ චිත්‍රපටයට සහ ශාන් ජයරත්නගේ ‘සරා සුසුම්‘ කියන චිත්‍රපටයට. එකිනෙකට වෙනස් මාතෘකා දෙකක් ඔස්සේ යන ලස්සන සිනමා නිර්මාණ දෙකක්. ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට මේ නිර්මාණ දකින්න ලැබෙයි.


ඉදිරියට පුංචිතිරේට වඩා සිනමාවට වැඩි ඉඩක් වෙන් වෙයිද ?


දැන් මම ගත කරන ජීවිතය එක්ක සහ දැන් මට තියෙන කාලය එක්ක පුංචිතිරේට වඩා සිනමාවට වැඩි ඉඩක් දෙන්න පුළුවන්. හේතුව සිනමා නිර්මාණයක රූගත කිරීම් එක දිගට කරලා අවසන් වන නිසා. දීර්ඝ ටෙලි නාට්‍යයවලට නම් කොහොමත් සම්බන්ධ වෙන්න ලැබෙන්නේ නැහැ. කෙටි ටෙලි නාට්‍යයවලට නම් ඉදිරියේදීත් සහභාගි වෙන්න ඉඩ තියෙන නිසා වැඩි ඉඩක් සිනමාවටම දෙනවා කියන එකට වඩා මට යමක් කළ හැකි චරිතයක් නම් ඒ ඔස්සේ මම ප්‍රේක්ෂකයින් අතරට එන්න තියෙන ඉඩ කඩ තමයි වැඩි.


ආයෙමත් අලුතින් ගීත ලිවුවෙ නැද්ද?


නැහැ. ඇත්තෙන්ම ආයෙම මට අලුතින් ගීතයක් ලියන්න නම් බැරි වුණා.


කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයකුත් කළා නේද, ඒ පැත්තෙන් ඉදිරියට මොනවාද තව කරන්න ඉන්නෙ?


කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ඇත්තටම ආසාවට සහ ඒ අත්දැකීමත් ගන්න. ඊට පස්සේ මට තව නිර්මාණ කරන්න කාලය ලැබුණේ නැහැ. සමහරවිට ඉදිරියේදී නැවත නිර්මාණයක් කරන්නත් ඉඩ තියෙනවා.


ආදරණීය සැමියා ඔබ රඟපාන නිර්මාණ බලනවද?


සමහර නිර්මාණ නම් බලනවා. එයාගේ තියෙන කාර්යබහුල ජිවන රටාව එක්ක නාට්‍යය බලන්න වෙලාවකුත් නැහැ. මම ඉතින් කොහොමත් මගේ නිර්මාණ බලන්න කියලා එයාව පොළඹවන්නේත් නැහැ එයාම කැමැත්තෙන් බැලුවොත් මිසක.


කලාව එක්කම කාර්යබහුල වෙලා හිටි ශලා දැන් කැනඩාවේ ගත කරන ජීවිතය කොහොමද?


කැනඩාවේ දී මම සාමාන්‍ය ගෘහිනියක් විදියට ජීවත් වෙනවා. ඉඩක් ලැබුණු වෙලාවට එළියට ගිහින් ඒ රටේ තියෙන දේවල් බලන්න යනවා. ගෙදරට වෙලා කාලය ගත කරද්දී මම මගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන හොයලා බලනවා. ඒ හැර විශේෂ දෙයක් නැහැ.


සමාජ මාධ්‍ය තුළ නම් ඔබ මවු පදවියට සූදානම් වෙන කතාවකුත් තිබ්බා?


ඔව්… එහෙම කතාවකුත් සමාජ මාධ්‍ය තුළ පැතිර යනවා මමත් දැක්කා. සමහර අය AI තාක්ෂණයෙන් බඩකුත් හදලා දාලා තිබ්බා. නමුත් තවම එහෙම සුදානමක් නැහැ. මම විශ්වාස කරන්නේ ඒ දේවල් හරි වෙලාවට සිද්ධ වෙයි කියලා.


ලංකාවේ ඉන්න ද කැනඩාවේ ඉන්න ද ශලා කැමති?


එහෙම කියන්න බැහැ. ලංකාව කියන්නේ මගේ උපන් රට. කොහේ ගියත් මට මගේ රට මතක් වෙනවා. කැනඩාවේ දැනට මම ජීවත් වෙනවා. පුළුවන් හැම වෙලාවකම මම ලංකාවට ඇවිත් යන්න එනවා.


ජීවිතයට අභියෝග එද්දි ඒ අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙන්න ශලා පුරුදු වුණේ කොහොමද?


ඒක මට මෙහෙමයි කියලා පැහැදිලි කරන්න අමාරුයි. කතාවකුත් තියෙනවානේ තැළෙන්න තැලෙන්න යකඩයක් වුණත් මුවහත් වෙනවා කියලා. ඒ වගේ තමයි ඕනෙම කෙනෙක්ගේ ජීවිතේට ප්‍රශ්න අභියෝග එන්න පුළුවන්. ඒ තැන්වලදී ඒ හැම දෙයක් ගැනම සුබවාදී විදියට හිතලා ඒ ලැබෙන්නේ ජිවිතේට තවත් එක පාඩමක් කියලා හිතලා තමයි මම එන හැම තැනකදීම මුහුණ දුන්නේ.


සිරස කුමරිය ලෙස කිරුළු දරලා ආව ගමන දිහා ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නෙ


ආපසු හැරිලා බලද්දී ඇත්තටම ගොඩක් සතුටුයි. මම මේ කාලය තුළ ළඟා කර ගත්තු දේවල් සහ මම අද ඉන්න තැන ගැන අවංකවම සතුටු වෙනවා.


අනාගත බලාපොරොත්තු මොනවාද?


ලොකු ලොකු බලාපොරොත්තු නම් නැහැ. කලාව පැත්තෙන් නම් හොඳ නිර්මාණ ටිකක් කරන්න බලාපොරොත්තු තියෙනවා. ඒ වගේම හැංඟිණු දක්ෂතා තියෙන අපි අතර ඉන්න කලාකරුවන්ව ඔප මට්ටම් කරන්න පුළුවන් දෙයක් නිර්මාණ තුළින් කරන්න පුළුවන් නම් ඒ දේ කරන එක තමයි මගේ ඊළඟ පියවර විදියට තියෙන්නේ. ඒ දේ මේ දවස්වල විකාශය වන වීදුරු තිර නාට්‍යය තුළින් පේනවා ඇති. සමහර චරිතවල‍ට කොටු වෙලා හිටිය දක්ෂයින් ටිකක් එළියට ගන්න අපිට හැකි වුණා. ඉදිරියේදීත් එවැනි වෙනස්ම ආකාරයේ නිර්මාණ කිහිපයක් කරන්න අදහසක් තියෙනවා.


Previous Post Next Post