
මෙලොව උතුම්ම පදවිය මවු පදවියයි. එයට අභියෝග කළ හැකි හෝ සම කළ හැකි කිසිවක් මෙලොව නැත. ලේ කිරිකර දුන් පමණින්ම මවක් විය නොහැකිවා සේම මවක් වීමේ එකම සුදුසුකම ලේ කිරිකර දීමම නොවන බව හැඟවෙන අපූරු සිනමාපටයක් ‘මදර් ලංකා’ නමින් මේ දිනවල තිරගත වෙයි. ශාලු, එමී, සත්‍යා එහි ප්‍රධාන භූමිකාය. සත්‍යා ඒ අතරින් සුවිශේෂීය. ක්‍රිෂාන්ති කුලසූරියගේ තිරපිටපත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අනූෂ සංජීව එදිරිමුනිය. නිෂ්පාදනය ඉෂාන් පෙරේරාය. යෞවනයේ දොරකඩදීම අහිමි වන යොවුන් ප්‍රේමයේ සිහිවටනය කුස දරාගෙන පණ මෙන් සුරකින යෞවනියකගේ මවු සෙනෙහසේ සෙවණැල්ල වන්නේ සත්‍යාය. උතුම් මාතෘත්වය ලබන්නට හැම ගැහැනියකටම නොහැකි වුවද ඊට සම විය හැකි අවස්ථා පවතින බව සත්‍යා මුළු ලොවටම කියන්නීය. පිරිමියකු ලෙස ඉපිද ස්ත්‍රීත්වය ආරෝපණය කරගන්නා ඇය සමාජයෙන් ඉල්ලා සිටින්නේ සාමාන්‍ය දිවිපෙවෙතක අයිතිය නොවේද? සත්‍යාගේ භූමිකාවට පණ පොවමින් සිය කලා දිවියේ අභියෝගාත්මකම කඩඉමක් පසුකළ ධනංජය සිරිවර්ධන එම අභියෝගයට මුහුණ දුන් අයුරු අප හා පැවසුවේ මෙලෙසිනි.
මදර් ලංකා කියන්නේ ඔබේ රංගන දිවියේ අභියෝගාත්මකම රංගනය කිවුවත් හරි. සත්‍යාව ඔබට දැනුණෙ කොහොමද?
සත්‍යා කියන චරිතය ප්‍රේක්ෂකයාට දැනෙන චරිතයක් බවට පත් කරන්නයි ඇත්තටම මට ඕන කළේ. චිත්‍රපටය බලපු හැමෝගෙන්ම ලැබුණු ප්‍රතිචාරත් එක්ක බලද්දි නිර්මාණකරුවන් හැටියට ගත්තත්, ටීම් එකක් හැටියට ගත්තත් අපිට කරගන්න අවශ්‍ය වුණු දේ අපිට කරගන්න පුළුවන් වුණා නේද කියන කාරණයත් එක්ක අද අපට සතුටු වෙන්න පුළුවන්. අනික් අතට සත්‍යා ගොඩනැඟීම හරහා මෙවැනි චරිතයකට වටිනාකමක් දෙන්න පුළුවන් වීම ගැනත් මම පෞද්ගලිකව සතුටු වෙනවා.
සත්‍යා කියන්නේ බොහෝ දුරට සමාජයෙන් ප්‍රතික්ෂේප වන චරිතයක්. එවැනි චරිතයක් භාර ගනිද්දි බයක් හිතුණේ නැද්ද?
මීට අවුරුදු දෙකකට විතර කලින් අනූෂ අයියා ඔය ප්ලොට් එක ගැන මට කියල තිබුණා. ඊට පස්සේ අපි හමුවෙලා මේක ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතැනදි මට තිබුණු බය, ගැටලු සියල්ල ඔහුට කිවුවම ඔහුගෙන් ලැබුණු පිළිතුරුත් එක්ක ඔහු මේක හරි බැරෑරුම් විදිහට කරන වැඩක් කියන එක මම තේරුම් ගත්තා. මීට කලින් මේ වගේ චරිත බොහෝදුරට පාවිච්චි කරලා තිබුණේ ප්‍රේක්ෂකාගාරය හිනස්සන්න වගේ දේවලට. නමුත් ක්‍රිෂාන්ති අක්කගේ තිරපිටපත කියෙව්වට පස්සේ මට දැනුණා මිනිස්සුන්ව සතුටු කරන්න, හිනස්සන්න විතරක් නෙවෙයි මේක මිනිස්සුන්ව අඬවන්නත් පුළුවන් චරිතයක් කියලා. අධ්‍යක්ෂවරයා සහ තිරරචකයා ගැන තිබුණු දැඩි විශ්වාසය මත මං මේ චරිතය භාරගත්තා. ඇත්තම කිවුවොත් මේක ලොකු අවදානමක් එක්ක භාරගත්ත චරිතයක්. අධ්‍යක්ෂවරයා සහ තිරරචකයා ගැන හොඳ විශ්වාසයක් නැතුව රංගන ශිල්පියකුට මෙහෙම චරිතයක් කරන්න බැහැ. ඒ වගේම මගේ වේශ නිරූපණ ශිල්පියා නයන උජිත් සිහිපත් කළ යුතුමයි. ඒත් එක්කම මතක් කරන්න ඕන රංග එස්. බණ්ඩාර. ඔහු මේකට මහන්සි වුණු හැටි දැක්කම ඇත්තටම මේ චරිතය අපි බලාපොරොත්තු වන මට්ටමට කරගන්න පුළුවන් කියන විශ්වාසය ඇතිවුණා.
මේක අනූෂගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වගේම තිරපිටපත ඔහුගේ බිරියගේ. මේ කාරණා ඔබට බලපෑවේ කොහොමද?
ඒ දෙන්නා සැමියා සහ බිරිය වුණාට අධ්‍යක්ෂ සහ තිරපිටපත් රචකයා කියන භූමිකා දෙක ඇතුළෙ නිර්මාණකරුවන් හැටියට ඔවුන් හරිම ලස්සනට ඒ වැඩේ කළා. තිරපිටපත සංශෝධනය වුණු අවස්ථා තිබුණා. සමහර සීන් අයින් වුණා. ආයෙ එකතු වුණා. ඒ වගේ අවස්ථාවල වුණත් මං දැක්කේ ගෙදර කතාබහ කරන, රණ්ඩු කරන විදිහ නෙවෙයි. ඔවුන්ගේ භූමිකා තුළ ගොඩක් ලොකු ආන්දෝලනාත්මක විදිහේ කතාබහ ඇතිවුණා. ඒ ඔවුන් වෘත්තීය මට්ටමේ ඉඳන් ඒ දේ කරපු නිසා. මේක අනූෂගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වුණත් ඔහු සිනමාව ඇතුළේ ලොකු නමක් හදාගත්ත කෙනෙක්. ඔහු සිනමා ප්‍රවර්ධකයෙක්. අවුරුදු 25ක් විතර ඒ ලබපු අත්දැකීම් එක්ක ඔහු මේ පිටපතට දෙන්න ඕන උපරිම සත්කාරය දුන්නා. තිරපිටපත ගත්තත් එහෙමයි. ඒ දෙදෙනාගේ සුසංයෝගය බොහෝම ලස්සනට වැඩ කළා. ඒකෙන් චිත්‍රපටයට හොඳක් මිසක් නරකක් වෙලා නැහැ කියලයි මට හිතෙන්නේ. ඔවුන් හොඳ වෘත්තීය මට්ටමේ නිර්මාණකරුවන් දෙදෙනෙක් කියන එක මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
තිරපිටපත ලියැවෙන්නේ බොහෝවිට චරිතවලට අදාළ ශිල්පියා හෝ ශිල්පිනිය හිතේ තියාගෙන. ඇය සත්‍යා ගැන ලියල තිබුණෙ ඔබ ගැන හිතේ තියාගෙනම ද?
ඔව්. ඇගේ අත්අකුරින් ලියපු තිරපිටපතේ මගේ කැරැක්ටර් එක ඉදිරියෙන් අවස්ථා කිහිපයකදීම ධනංජය සිරිවර්ධන කියලා ලියල තිබුණා. ඇගේ පළමුවැනි ඔප්ෂන් එක වුණෙත් මම. අවසාන ඔප්ෂන් එක වුණෙත් මම. මේකෙ අවසාන දර්ශනය කළාට පස්සේ ඇය මගේ ළඟට ඇවිත් සුබ පතන ගමන් කිවුවේ “මේ සම්බන්ධයෙන් මට තිබුණු පළමුවැනි ඔප්ෂන් එකත් ඔයා. අන්තිම ඔප්ෂන් එකත් ඔයා. මේක ෂූට් කළාට පස්සෙ තමයි මට තේරුණේ මේකට මට වෙන ඔප්ෂන් එකක් හිතාගන්නවත් බෑ” කියලා.
සත්‍යාගේ චරිතයට එකම ඔප්ෂන් එක ඔබ වෙන්න හේතුව මොකක්ද?
ෆ්‍රී ප්‍රඩක්ෂන් එකේදි සෑහෙන කාලයක් වැය කරලා අනූෂ අයියයි, ක්‍රිෂාන්ති අක්කයි, රංග එස්.බණ්ඩාරයි මගේ ඡායාරූප සීයක් විතර එකතු කරලා එක එක පැත්තෙන් මගේ පෙනුම බලලා තිබුණා. මගේ රංගන පරාසය ගැන ඔවුන්ට ලොකු විශ්වාසයක් තිබුණා. අපි අවුරුදු දෙකක් තිස්සේම වැඩිපුරම කළේ ඔය ගැන කතා කරන එක තමයි. ෂූට් එකේදි අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙත් නැති තරම්. අපි හරිම අවබෝධයෙන් සෙට් එකට ගියේ. සෙට් එකේදි අපිට හදන්න දෙයක් තිබුණෙත් නැති නිසා අනූෂයි මායි කතා කරලා තිබුණෙ බොහොම අඩුවෙන්. ක්‍රිෂාන්ති අක්කත් හැමවෙලේම සෙට් එකේ ඉඳගෙන හැම දෙබසක් ගැනම ලොකු අවධානයකින් හිටියා. ඔවුන් හරිම බරපතළ විදිහට ඒ වැඩේ කළා. මේ චරිතය මේ විදිහට ගොඩනඟන්න පුළුවන් වුණේ ඒ දෙන්නගෙ මූලිකත්වයෙන්. ඒ ගැන මට හරිම සතුටුයි.
සත්‍යාව ගොඩනැඟීමේ අත්දැකීම ගැන කතා කළොත්?
අපේ රංගනය ගත්තොත් ඒකෙන් හතරෙන් එකක් තමයි මේක්අප් සහ කොස්ටියුම් කියන්නේ. ආහාර්ය, අභිනය කියන්නේ ඒ වගේ අපි අපේ රංගනයට පිටින් යොදාගන්නා දේවල්වලට. අනෙක් හතරෙන් තුන කොතරම් හොඳට තිබුණත් වැඩක් නැහැ මේ කොටස ෆේල් වුණොත්. මේක්අප් ටෙස්ට් එක අපි සෑහෙන කාලයක් කළා. ඒ වෙද්දි මං ගෞතම බුද්ධ මාතා චිත්‍රපටය වෙනුවෙන් තට්ටය ගාල හිටිය නිසා ෆුල් විග් එකක් දාමු කියලා අපි කතා වුණා. මේක්අප් ටෙස්ට් ගොඩක් කරලා ඡායාරූප අරගෙන, ඒවා රෙෆරන්ස් කරලා, එඩිට් කර කර බලමින් මේකප් සහ කොස්ටියුම් සම්බන්ධයෙන් සෑහෙන කාලයක් වැය කළා. කැමරා ශිල්පියා සහ ප්‍රඩක්ෂන් ඩිසයිනර් විදිහට රංග එස්.බී. සෑහෙන මහන්සියක් ගත්තා අවශ්‍ය කරන භූතය නිර්මාණය කරන්න. ඒ වගේම දහඩිය පොඩ්ඩක් දැම්මත්, කොණ්ඩ රැල්ලක් ආවත් හැම තත්පරයක් තත්පරයක් පාසාම ටච් කරමින් නයන උජිත් බොහොම අවධානයෙන් ඒ ගැන සැලකිලිමත් වුණා. හරියට බබෙක් බලාගන්නවා වගේ හැමෝම මාව බලා ගත්තා. මට හිතන්න තිබුණේ අනෙක් හතරෙන් තුන ගැන විතරක් වුණත් ඒක මට ලොකු බරක් වුණා. ඇහි පිල්ලමේ ඉඳන් සෑහෙන්න බරක් දරාගෙන තමයි මං මේ රංගනය කළේ. ඇඟට හිරවුණු ඇඳුම්, කෘත්‍රිමව දාපු දේවල් රංගනයට බාධාවක් නොවන පරිදි තියාගෙන රංගනයට අවශ්‍ය රිලැක්සේෂන් එකට යන්න ලොකු කැපකිරීමක් කරන්න වුණා. මාසයක් විතරම මම හුදෙකලාව ගෙදරින් එළියට බහින්නෙවත් නැතුව ඒ චරිතය වෙනුවෙන් කැප කළා. ඒ හැමදේකම අවසාන ප්‍රතිඵලය ප්‍රේක්ෂකයාට දැනෙනවා නම් ඒක තමයි මගේ සතුට.
මේක ඔබට නුහුරු අමුතුවෙන්ම පුරුදු පුහුණු වුණු චරිතයක් නිසා ඇතැම් විට සුපුරුදු ලක්ෂණ මතුවෙන්නත් ඇති?
ඒක මෙහෙමයි. චරිතයේ අවශ්‍යතාව මත සත්‍යා ඇතුළෙ පිරිමි ලක්ෂණ මතුවෙන අවස්ථා තුනක් පමණ සිනමා පටය තුළ පෙන්වනවා. ඒ හැරුණු කොට වෙන කිසිම අවස්ථාවක පිරිමි ලක්ෂණ පෙන්වන්නෙ නැහැ. ඒක හරිම සියුම් අවස්ථාවක්. මේකෙ හැම සීන් එකක්ම කරද්දි හැමෝම ඇවිත් මං දිහා බලාගෙන හිටියා. මේ චරිතය ගැන හැමෝම අවධානයෙන් හිටියා. ඒක මට ලොකු ශක්තියක් වුණා වගේම උපරිමයෙන්ම කරගන්නත් පුළුවන් වුණා. කිසිම තැනක වැරැද්දක් වෙන්න ඉඩ තිබුණෙ නැහැ. පිරිමි ලක්ෂණ මතුවුණා ද කියන එක නම් මට හරියට මතක නැහැ. නමුත් චිත්‍රපටය කරලා ඉවරවෙලත් ටික කාලයක් යනකල් ගැහැනු ලක්ෂණ නම් මගේ ළඟ තිබුණා. ඒ වෙනුවෙන් මං කරපු සමහර දේවල් දැම්මම නොකියා පසු කාලෙක කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශෂික රුවන්වත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඩබ් කරද්දි අවස්ථා තුනකදීම ඔහුට ඕන හඬ ආවෙ නෑ කියලා රෙකෝඩින් නැවැත්තුවා. මගේ චරිතය ගැන ඔහුට පුදුම ඉවසීමක් තිබුණා. මේ නිර්මාණයට සම්බන්ධ වුණු හැම කෙනෙක්ම ඔවුන්ගේ කාර්‍යයට අමතරව මගේ කැරැක්ටර් එක ගොඩනඟාගන්න ගොඩක් උදවු කළා.
සත්‍යා තුළ පිරිමි ලක්ෂණ මතු නොවෙන්න වගබලා ගත්තෙ කොහොමද ?
ඒ මාසය ගත්තොත්, මට මාව අමතක වෙන තරමටම මම මාව පුහුණු කරලයි තිබුණේ. සෙට් එකට ආව මොහොතෙ ඉඳන් හැමදේම සිදුවුණේ සත්‍යාගේ විදිහට. අන්තිම සීන් එක වෙලාවෙදි අනූෂ ඇවිල්ලා මාව පැත්තකට කතා කරගෙන ගිහින් මගෙන් ඇහුවා ඇත්තටම උඹ මේ චේන්ජ් එකකටද එන්නේ කියලා. මට බයයි මචං එහෙම නෑ නේද කියලත් ඇහුවා. ඇත්තටම ඒ වෙලාවෙ මම හිනා වෙලා තියෙන්නෙත් සත්‍යා වගේ. ෂූටින් ඉවර වෙලත් ටික කාලයක් ගියාට පස්සෙ තමයි සාමාන්‍ය තත්ත්වෙට ආවේ. ඒක එක්තරා විදිහක සංකීර්ණතාවක්. හරිම සියුම් විදිහට කළ යුතු නළුවෙකුට අහම්බෙන් ලැබෙන හරිම ලස්සන අවස්ථාවක්. වැඩේ කියන්නෙ සෙට් එකට ආව කිසිම රංගන ශිල්පියෙක් මුලින්ම මාව හඳුනගත්තෙ නෑ. දිල්හානි අක්කා මුලින්ම මගේ දිහා බලලා හිනාවෙලා ගිහින් ටික වෙලාවකින් ඇවිත් තමයි ඇහුවේ අනේ ධනා මේ ඔයා ද කියලා. මං හිටිය විදිහෙන් කවුරුත්ම විශ්වාස කළේ නැහැ මේ මම කියලා.
සිනමාපටය එළියට එනකල්ම ඔබ ගැන කවුරුත්ම දැනගෙන හිටියෙ නෑ නේද?
මං මේක කාටවත්ම නොපෙන්වන්න වගබලා ගත්තා. මං මිනිස්සු අතරට ගියේ කැප් දාගෙන, මාස්ක් දාගෙන. මට ඕන කළේ සිනමාපටය හරහාම ප්‍රේක්ෂකයා මාව දකිනවට. මාතෘත්වයට අලුත් අර්ථකථනයක් දෙන මේ සිනමාපටය මවුපිය දූදරු බැඳීම් ගිලිහෙමින් යන මේ කාලෙට ගොඩක්ම ගැළපෙනවා කියලා මට හිතෙනවා.
