
“නිරාශා කියන්නේ මං මෙතෙක් රඟපෑ චරිත අතරින් වෙනස්ම චරිතයක්. ඇය අඳින පලඳින විදිහ, කතා කරන විලාසය වගේම ඇගේ අවංකකම, ස්මාර්ට් බව එක්කම බුද්ධිමත් බවට මාත් හරි ආසයි. මේ දේවල් නිසාම ප්‍රේක්ෂකයිනුත් මේ චරිතයට ගොඩක් ආදරේ කරනවා කියන එක ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා. මං මෙතෙක් කරපු චරිත එක්ක ගත්තම නිරාශා නිරූපණය කරන්න මට ගොඩක් පහසු වුණා. සමහර විට ඒ නිරාශා මගේ කතා විලාසයට සමීප නිසා වෙන්න ඇති.“
මහේෂ් රත්සර මද්දුමආරච්චි විසින් රචිත ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නිර්මාණයේ උදානා තමන්ට ප්‍රේක්ෂකයින් අතරට යන්නට උපකාරී වූ බව පැවසූ සවිනි ‘මා’ ටෙලි නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ ඔහුගෙන් බව ද පැවසුවාය.
“නිරාශා කියන්නේ ඔෆිස් එකක වැඩ කරන හරිම ස්මාර්ට් කැරැක්ටර් එකක්. මහේෂ් අයියා මාව හිතේ තියාගෙනම තමයි නිරාශාගේ චරිතය ලියලා තිබුණේ. මං ඒ බව දැනගෙන හිටියෙ නැහැ. ෂූට් එක පටන් ගන්න දවස් දෙක තුනකට කලින් තමයි මට ආරාධනා කළෙත්. නංගි මෙහෙම කැරැක්ටර් එකක් තියෙනවා. මං ඔයාව ඔළුවෙ තියාගෙනමයි ලිව්වේ. ඒක ඔයාට හොඳට ගැළපෙනවා. මේක ඔයා භාරගන්න. මේක ඔයාගෙ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි කියලා කිව්වා. ඒ කිව්ව වචන ටික නිසාම මට ආස හිතිලා මං භාරගත්තා. ඇත්තම කිව්වොත් පෞද්ගලිකව මාත් හරිම ආස කැරැක්ටර් එකක්. මීට කලින් මං මහේෂ් අයියගේ හිත ළඟ හිනැහුණා ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙලා හිටිය නිසා ඔහු මගේ රංගන පරාසය ගැන හොඳින් දැනගෙන හිටියා. මහේෂ් අයියගේ තිරපිටපතක දෙබස්වලට පිටින් අපිට දශමයක්වත් එහා මෙහා යන්න බැහැ. ඔහුත් එක්ක වැඩ කරපු ඕනෙම කෙනෙක් ඒක දන්නවා. ඔහු ලියල තියෙන විදිහටම දෙබස් කියන්න ඕන වගේම හැඟීම් ප්‍රකාශ කෙරෙන්නත් ඕන. ඔහුගේ නිර්මාණ මේ තරම් ජනප්‍රිය වීමේ රහසත් ඒකම වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ. ඒ වගේම අධ්‍යක්ෂ ඉරේෂ් ලොකුබණ්ඩාරගෙන් ලැබුණු සහායත් අගය කළ යුතුයි.“
ඡායාරූප පෙළක් ඔස්සේ පසුගියදා සමාජ මාධ්‍ය කැලඹීමට පත් කළ සවිනි – හේෂාන් ආදර අන්දරය ගැන ඇය කියා සිටියේ මෙවැනි කතාවක්.
“අපි මීට කලින් ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නිර්මාණයේ සිහින – උදානා විදිහටත් වයිරල් වුණා. මේක මේ හේෂාන් මනුලයි මමයි මිනෙත් – නිරාශා විදිහට කළ ෆොටෝ ෂූට් එකක් විතරයි. හැමෝම මේ චරිතයට ආදරේ කරන නිසා ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම අපි අතර එහෙම සම්බන්ධයක් නැහැ. ඒ වගේ සම්බන්ධයක් තියෙනවා කියල හිතාගෙන ගොඩක් අය ප්‍රතිචාර දක්වනවා. ඒ අතරේ සිහින – උදානා ආදරයත් මතක් කරනවා. චමත්කාට කැමැති අය නිරාශාට කැමති නැති නිසා ඒ විදිහටත් ප්‍රතිචාර දක්වනවා.
මෙතැනදි නිරාශා මිනෙත්ට ළං කරන්නේ නිරාශාගේ තාත්තා. මුලින්ම නිරාශා පොඩ්ඩක්වත් කැමැති නැහැ. මිනෙත්, නිරාශාට බලාපොරොත්තු ඇති වෙන විදිහට හැසිරීම නිසාත් දිගින් දිගටම ඔහුත් එක්කම ගැටෙන්න සිදුවීම නිසාත් නිරාශාගේ හිතෙත් මිනෙත් ගැන ආදරයක් ඇති වෙනවා. තමන්ගෙම තාත්තා කරන මගඩි වැඩවලින් ඇය මිනෙත්ව ආරක්ෂා කරන්නේ ඒ නිසා. නමුත් මිනෙත් ඇයට ළං වෙන්නේ තමන්ගෙ වැඩ ටික කරගන්න. මිනෙත් කැමැති චමත්කාට වුණාට වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ නිරාශා තමයි මිනෙත්ට ගැළපෙන්නේ කියලා.“
මේ සියල්ල අතරේ තවත් ටෙලි නිර්මාණයක වැඩ නිම කර විකාශය බලාපොරොත්තුවෙන් සිටින සවිනි අලුත් ටෙලි නිර්මාණයක රූගත කිරීමකට ද සැරසෙන්නීය.
“මං රංගනයෙන් දායක වුණු ශනුක ඒකනායකගේ ‘යන්නම් මා’ ගීතය මේ දිනවල ට්‍රෙන්ඩිං වෙනවා. ඊට අමතරව එම්. ජී. ධනුෂ්කගේ ‘හීන කන්දරාවී’ ගීතයටත් රංගනයෙන් දායක වුණා. ඒ වගේ මියුසික් වීඩියෝ කිහිපයකටම සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ වගේම මං රංගනයෙන් දායක වුණු සිනමාපට දෙකක් තිරගත වීමටත් නියමිතයි.“
සිහින – උදානා සහ මිනෙත් – නිරාශා කොතරම් ආදරණීය වුණත් සුන්දර තරුණියක වන සවිනි තවමත් තනිකඩව සිටින්නීය.
ආදරය නිසා මං ලබපු අත්දැකීම් එක්ක බැලුවහම ආදරය මට කවදාවත් සුන්දර අත්දැකීමක් වුණේ නැහැ. ඒ නිසා මං ඒ පැත්ත වැඩිය හිතන්නෙ නැහැ. මගේ පාඩුවේ වැඩ ටික කරගෙන යනවා. කෙනෙක් මගෙන් කැමැත්ත ඇහුවත් දැන් මං ආදරයට ඇත්තටම බයයි.
