
පුංචි තිරයෙන් රිදී තිරයෙන් ප්‍රේක්ෂකයන්ට නොමැකෙන මතක සටහන් රැන්දූ ඇය දක්ෂ, සුරූපී රංගන ශිල්පිනියක්. නිරන්තරයෙන් සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින ඇය මෙවර සුමති සම්මාන උළෙලේදී දෙවැනි වරට ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනා ගත්තා. ඇය නමින් දිනක්ෂි ප්‍රියසාද්. මේ සොඳුරු කතාබහ ඇයගෙන්.
මෙවර සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියතම නිළිය සම්මානයෙන් පිදුම් ලබද්දී දැනුණු හැඟීම කොහොමද?
ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුවම ලැබෙන එක ගැන හිතේ ලොකු සතුටක් තිබෙනවා. ඇත්තටම හරිම සතුටුයි.
මෙවර ඔබත් ඔබේ සැමියා සාරංගත් එකවර ජනප්‍රිය නළු-නිළි සම්මාන ද්විත්වය හිමිකර ගැනීම විශේෂයි නේද?
ඔව්. ඒක අපිට සුවිශේෂී අවස්ථාවක් වුණා. මොකද මීට පෙර අපිට ජනප්‍රිය සම්මාන වෙන වෙනම තමයි හම්බවෙලා තිබෙන්නේ. නමුත් පළමුවැනි වතාවට තමයි අපි දෙන්නටම ජනප්‍රිය නළු-නිළි සම්මාන එකට ලැබුණේ. ඉතින් අපි දෙන්නටම එකට සම්මානය ලැබීම ගැන හරිම සතුටුයි.
එක පිට එක සම්මාන හිමිකර ගැනීමේදී යම් පිරිසක් සමාජ මාධ්‍ය තුළ ඔබව විවේචනයට ලක් කරනවා?
සමහර මිනිසුන්ගේ රුචි-අරුචිකම් වෙනස්. කෙනකු මට කැමැති වෙද්දි තව කෙනකු කැමැති වෙන්නේ වෙනත් රංගන ශිල්පිනියකට. ඉතින් ඒ දේවල් මට ප්‍රේක්ෂකයන්ගෙන් එන ඍණාත්මක අදහසක් කියලා මම හිතන්නේ නෑ. වෙන කෙනකුට ලැදිව තිබෙන කැමැත්තක් නිසා තව කෙනකුට අකැමැති වන ස්වභාවයක් තමයි පෙනෙන්නේ. ඒක මිනිස්සු විධියට හරිම සාමාන්‍ය දෙයක්. මම ජනප්‍රිය සම්මාන ගොඩක් අරගන්නවා වගේ කතා බොහෝ අය කියනවා මම දැක්කා. නමුත් ඇත්තටම මට ජනප්‍රිය නිළියට හිමි සුමති සම්මානය මේ ලැබුණේ දෙවැනි වතාවට. මීට අවුරුදු දොළහකට කලින් තමයි ඒ සම්මානය මට පළමුවරට හම්බවුණේ. රයිගම් ජනප්‍රියම නිළි සම්මානය මේ අවුරුද්දේ මට ලැබුණේ පළමුවැනි වතාවට. දැන් මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 16ක් 17ක් වෙනවා. එහෙම කියන තරම් මට සම්මාන ලැබිලා නෑ. මිනිසුන්ගේ නොදැනුවත්කම නිසා හෝ එහෙම කියනවා ඇති. නමුත් මේ අවුරුදු 16ටම මට නැඟී එන නිළියත් එක්ක සුමති සම්මාන තුනයි ලැබිලා තිබෙන්නේ. මේ අවුරුදු 16ටම රයිගම් සම්මාන එකම එකයි මට හම්බවෙලා තිබෙන්නේ. ඉතින් සරසවි සම්මාන ගත්තම චිත්‍රපට රඟපෑම්වලට එක්ක ඔක්කොම සම්මාන තුනයි හම්බවෙලා තිබෙන්නේ. ඉතින් ඔක්කොම සම්මාන මට දෙනවා කියලා සමහර ප්‍රේක්ෂකයන් පිරිසක් කීවත් කාලයත් එක්ක සහ අනෙක් රංගන ශිල්පීන්, ශිල්පිනියන්ට සාපේක්ෂව බැලුවම හරිම අඩු ප්‍රමාණයක් තමයි මට ලැබිලා තිබෙන්නේ. ඒ ලැබුණු සම්මානය ගැන මම සතුටු වෙනවා. මොකද මම මහන්සි වුණ තරම මමනේ දන්නේ. සමහර වෙලාවට ප්‍රේක්ෂකයන් මාව සිනමාවේ, රූපවාහිනියේ හෝ සමාජ මාධ්‍ය තුළින් පහසුවෙන් දැක්කත් අපි චරිතයක් වෙනුවෙන් කොතරම් දේවල් කැප කරනවද, මහන්සි වෙනවද, අපේ සෞඛ්‍ය ගැන බලන එක කොතරම් අතපසු වෙනවද කියන දේවල් අපි තමයි දන්නේ. ඉතින් මම කරන නිර්මාණවලට තමයි මේ ඇගයීම් ලැබෙන්නේ කියලා මම හිතනවා. ඉතින් මට ආදරය කරන ප්‍රේක්ෂකයන් මම වෙනුවෙන් සතුටු වෙනවා.
සමාජ මාධ්‍ය තුළ දැඩිව එල්ලවන විවේචන හමුවේ ඔබ මෙතරම් සාර්ථකව ඉදිරියට යන්නේ කෙසේද?
මම මගේ ජීවිතයේ ලැබූ අත්දැකීම් එක්ක දකින විධියට එක්තරා මිනිසුන් කොටසක් තමන්ගේ ජීවිතය ගැන තෘප්තිමත් බවක් නැතිව ඉන්නවා. තමන්ගේ හීනවලට යන්න බැරි වුණ අය ඉන්නවා. සමහර වෙලාවට කලා ක්ෂේත්‍රයට එන්න ආශාවෙන් ඉඳලා එන්න බැරි වුණ අය ඉන්නවා. සමහර වෙලාවට අට පහ රැකියාවකට හිරවෙලා මුළු ජීවිතයම විඳින්න බැරි වුණ අය ඉන්නවා. ඉතින් තමන්ගෙ හීන හැබෑ කරගන්න බැරිව පීඩාවට පත්වුණු ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඉතින් සමහර අය සමාජ මාධ්‍ය තුළ සදාචාරාත්මක නැති අදහස් පළ කරනවා. ඔවුන්ගේ ජීවිතවල අඳුරු පැත්තක් තිබෙනවා. ඒ දේවල් ඔවුන් රිලීස් කරන්නේ සමාජ මාධ්‍ය හරහා කාට හරි බැනලා. එහෙම බැලුවම මම ඒ වගේ අයට ලොකු උදව්වක් කරන්නේ කියලා හිතනවා. මොකද ඔවුන්ගේ හිතේ තිබෙන පීඩනයට අපිට හරි බැනලා සහනයක් ගන්නවා නම් ඒක ලොකු උදවුවක් නේ. සමාජ මාධ්‍යයේ ඉන්නේ අපේ රටේ ඉන්න මිනිසුන්ගෙන් පොඩි ප්‍රතිශතයක්නේ. ඒ කුඩා ප්‍රතිශතය සමාජ මාධ්‍ය තුළ කියන අදහස සමාජයේ ඉන්න බහුතරයේ මතයට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මට ආදරය කරන ප්‍රේක්ෂකයන් බොහොමයකුත් සමාජ මාධ්‍ය තුළ ඉන්නවා. ඒ අතරේම විශේෂයෙන් කොළඹින් පිට ගියාම මට දැනෙන ආදරේ කියලා නිමකරන්න බෑ. ඒ ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍යය ඇතුළෙත් නෑ.
මවක්, ගෘහණියක්, දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස කාල කළමනාකරණය කරගන්නේ කොහොමද?
මට ඉස්සර ඉදන්ම කළමනාකරණය කියන දේ හොඳට පුළුවන්. මට වැඩ දහයක් විතර එකට කරන්න පුළුවන් මොකද්දෝ හැකියාවක් තිබෙනවා. නමුත් අම්මා කෙනෙක් වුණාට පස්සේ ඒ වගකීම් දෙගුණ තෙගුණ වෙලා තිබෙනවා. වෙලාවකට හරි අමාරුයි. මනසට ලොකු පීඩනයක් දැනෙන වෙලාවල් තිබෙනවා. ඒත් ඒ හැමදේම කළමනාකරණය කරගන්න මට සාරංගගෙන් ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා. ඔහු අසීමාන්තිකව නිදහසක් දෙන කෙනෙක්. ඊට අමතරව මගේ පවුලම මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේ සහයෝගයක් හැමෝගෙන්ම ලැබෙන්න තරම් මම හරිම වාසනාවන්තයි.
ක්ලැරන්ස් චිත්‍රපටයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. අද අපි අතරේ නැති වුණත් තේජා ඉද්දමල්ගොඩ මතක් කරන්න ඕනෑ. ඔහු තමයි මාව මේ චරිතය කරන්න උනන්දු කළේ. ස්ක්‍රීන් ටයිම් එක පොඩි වෙලාවක් වුණාට චරිතය ඇතුළෙ මට කරන්න තිබුණ දේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් දැනිලා තිබෙනවා කියන දේ අද වෙද්දී මට දැනෙනවා. ප්‍රේක්ෂකයන්ව ඒ විධියට ආකර්ෂණය කර ගන්න ලැබීම ගැන සහ ඔවුන්ට දැනෙන විධියේ රංගනයක් කරන්න ලැබුණ එක ගැන මට හරි සතුටුයි. චිත්‍රපටය නරඹන්නට සිනමා ශාලාවලට එනවාට ප්‍රේක්ෂකයන්ට බොහොම ස්තූතියි. ඒ චිත්‍රපටය තුළදී බොහෝ අයව පළමුවැනි වතාවට හමු වුණත් අපි පවුලක් වගේ එකට වැඩ කළා. දමිත් මල්ලී, නිහාරි, සාරංග ඒ හැමෝම ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ඒ යාළුකම් අදටත් එහෙමම තිබෙනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල පිරිමි ළමයි, පාරාදීසේ, ඔබ එන්න ඇවිත් යන්න නිර්මාණවල රූපගත කිරීම් සිදුකරනවා. ඊට අමතරව ‘මිස්ට මිසිස්’ චිත්‍රපටය රිලීස් වෙන්න තිබෙනවා. ‘ධර්ම යුද්ධය’ දෙක චිත්‍රපටය තිරගත වීමට තිබෙනවා. ‘හිරු කිඩ්ස්ටාර්’ නිවේදන කටයුතු කරගෙන යනවා. ඒවාත් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.
රුවිනි අමරකෝන්
