ප්‍රේක්ෂකයෝ කියනකන් එහෙම දෙයක් හිතේ තිබුණේ නෑ- චමත්කා ලක්මිණී

gossiplanka image 2
 

චමත්කා ලක්මිණී කියන්නේ, හරිම එඩිතර රංගන ශිල්පිනියක්. ඇයව ඒ විධියට හඳුන්වන්නේ ඇය ගොඩක් රංගන ශිල්පිනියන් කරන්න බයෙන් ඉන්න නිර්මාණවලට බය නැතුව දායකත්වය දෙන නිසා. රංගනයෙන් දායක වුණු පළමු නිර්මාණය හරහාම දවසක මේ රටේ අති දක්ෂ චරිතාංග ශිල්පිනියක් වෙන බවට ලකුණු පෙන්නපු ඇයට, ඉතාමත් කෙටි කාලයක්


ඇතුළත නැඟී එන හොඳම ටෙලි නාට්‍ය නිළියටත්, නැඟී එන හොඳම සිනමා නිළියටත් හිමි සම්මාන දෙකම ලබා ගන්න හැකිවීම තුළ ඒ අනුමානය නිවැරැදි බව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වුණා. කොහොම වුණත් මේ දවස්වල ඇය ගැන වැඩියෙන්ම කතා වෙන්නේ ”ද ලේක්” නිසා. ඒත් එක්කම හදගැස්ම අපි ඇගේ අලුත්ම තොරතුරු ටිකක් දැනගන්න ඇයව සම්බන්ධ කරගත්තා. මේ දවස්වල හැමෝම කතා වෙන ද ලේක් ගැන කියලම ඉමු?


”ද ලේක්” එකේ අපි දැන් යන්නේ දෙවැනි සීසන් එක. පළවෙනි සීසන් එක ඉවර වුණා. ඇත්තටම හම්බෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. ”ද ලේක්” කියන්නේ වෙනස්ම ශානරයකට නිර්මාණය වුණු ටෙලි නාට්‍යයක්. ඕඩියන්ස් එකට ටිකක් නුපුරුදු ශානරයක්. නමුත් ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපිට තේරෙනවා ප්‍රේක්ෂකයන් ඒකට ක්‍රමයෙන් පුරුදු වෙමින් ඉන්නවා කියන දේ.


එහි ඔබේ පෙනුම ගැනත් බොහෝ දෙනා කතා වුණා නේද?


ඔව්, ඇත්තටම මට වුවමනාවක් තිබුණා පෙනුම ටිකක් වෙනස් කරන්න ඕන කියලා. මොකද බබා හම්බුණාට පස්සේ ඒ වැඩත් එක්ක මම ටිකක් මහතට හිටියේ. ඒ නිසාම මේ කැරැක්ටර් එකත් එක්කම මට හිතුණා පෙනුම පොඩ්ඩක් වෙනස් කරන්න ඕන කියලා. ”ද ලේක්” එකේ මම රංගනයෙන් දායක වෙන්නේ වෙස් වලාගත්ත සී.අයි.ඩී. නිලධාරිනියකට. එතැනදි මගේ චරිතය ගොඩනැඟුණේ ෆීල්ඩ් එකේ යන රස්තා කැරැක්ටර් එකක් විධියට. ඒ නිසා අපි තීරණය කළා කොණ්ඩේ එහෙම ඒ විධියට ගොතන්න. ඒත් ඒ පෙනුම දෙවැනි සීසන් එකේදී සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.


ඔබෙයි චතූ රාජපක්ෂගෙයි සහෝදර බැඳීමත් ප්‍රේක්ෂකයා වරදවා වටහාගෙන තිබුණා නේද?


ප්‍රේක්ෂකයෝ එහෙම කියනකම් මගේ හිතේ එහෙම දෙයක් තිබුණේ නැහැ. මොකද මම චරිතයක් කරද්දි, මට කම්ෆටර්බල් කෙනෙක් අනිත් රෝල් එකේ ඉද්දි ඒක මට තවත් හොඳින් රංගනයේ යෙදෙන්න පහසුවක්. මම රංගනයේ යෙදුණේ, බොහොම ආදරණීය, බොහොම සැලකිලිමත් අක්කා කෙනෙක්ගේ චරිතයක්. එතැනදි මම තමන්ගේ නංගිට හීරීමක්වත් වෙන්න නොදී ආරක්ෂා කරන අක්කා කෙනෙක්ගේ චරිතයක් තමයි ගොඩනැඟුවේ. හැබැයි ඒ රංගනය වැඩ කරා කියලා මම හිතනවා. මොකද ”ද ලේක්” කියන්නෙම ටිවිස්ට් වෙවී යන නිර්මාණයක්. මේකේ හැම ඩයලොග් එකකම, සීන් එකකම ටිවිස්ට් එකක් තියනවා. ඒ ටිවිස්ට් එක නිසා තමයි ප්‍රේක්ෂකයා මගෙයි චතූගෙයි සහෝදර සම්බන්ධය ගැන එහෙම තීරණයකට ආවේ.


ඇතැම් ප්‍රේක්ෂකයන්ට අනුව ”ද ලේක්” කියන්නේ අන්තර්ජාතික මට්ටමින් කරපු වැඩක්, ඒ ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම මේ වගේ ශානරයන් ලංකාවේ අඩුවෙන් තමයි නිර්මාණවලට යොදාගන්නේ. මම වුණත් ලංකාවේ ත්‍රිලර් ඒවාට වඩා බලලා තියෙන්නේ විදෙස් රටවල ඒවා. නමුත් ”ද ලේක්” වැඩේ ඇතුළේ අපිට වුවමනාව තිබුණේ, එඩිටිං එකේ ඉඳලා සිංදු, මියුසික්, සවුන්ඩ්, වගේම නළු නිළියන්ගේ රඟපෑම් ඉන්ටර්නැෂනල් මාර්කට් එකට ගැළපෙන විධියට උඩින් තියන්න. එතැනදි සමහර අවස්ථාවලදි අපේ රංගනය වුණත් අන්තර්ජාතික මට්ටමට ගැළපෙන විධියට ඉදිරියෙන් තියන්න අවශ්‍ය වෙනස්කම් කරද්දි, මේක ඇතුළේ නවකයෙක් විධියට, මාත් එක්ක රංගනයෙන් දායක වුණු, සෞම්‍ය අයියා, ජගත් අයියා සහ සේමිණි අක්කා වගේ ප්‍රවීණයන්ගේ අනුදැනුම ඇතිව කතාබහ කරලා තමයි මේ වැඩේ කළේ.


ඔබේ සෑම නිර්මාණයක්ම පාහේ කතාබහට ලක්වුණා, වෙනස් වැඩ විතරද භාර ගන්නේ?


මට එන වැඩ ප්‍රමාණය බොහොම සීමිතයි. ගොඩක් වෙලාවට තෝරාගැනීමකින් තොරව චමත්කා අපි මේ වැඩේ කරමු කියන සෘජු ආරාධනාවත් එක්කම තමයි මට වැඩ එන්නේ. හැබැයි මට ලැබෙන හැම නිර්මාණයකම මට කරන්න දෙයක් තියෙනවා. ඇත්තටම මට කාලය තියෙන නිසා මට ලැබෙන නිර්මාණවල චරිත ඩිවලොප් කරගන්න හැකිවෙලා තියෙනවා. ”ද ලේක්” එකට වුණත් කෙට්ටු වෙන්න මට කාලය තිබුණා. දැන් ආපහු වෙනත් නිර්මාණයක් වෙනුවෙන් ටිකක් මහත් වෙන්න වැඩිපුර කෑම කන ගමන් ඉන්නේ. මට හිතන්න කාලය තියෙනවා, කියවන්න, ෆිල්ම් බලන්න කාලය තියෙනවා. ඒ වගේම තමයි මගේ යාළුවෝ එක්ක මම බෙදා හදා ගන්න දේවල් සමහර වෙලාවට මගේ වැඩවලට ඉෆෙක්ට් වෙන අවස්ථාත් තියෙනවා. මට නිදහස තියන නිසා මට එන වැඩ ලොකු කියවීමක් එක්ක කරන්න කැමැතියි මම. ඇත්තටම සරුංගල්, හුස්ම වගේ චිත්‍රපට කරද්දි මට ඒ තරම් රංගනය පිළිබඳව කියවීමක් තිබුණේ නැහැ. නමුත් දැන් මට කාලය තියන නිසා මම මගේ ක්ෂේත්‍රය ගැන හොඳ අධ්‍යයනයක් ඇතිව නිර්මාණවලට දායක වෙන්න උත්සාහ ගන්නවා.


ලංකාවේ රූපවාහිනි නාළිකා හරහා මෑතක සිට ආන්දෝලාත්මක මාතෘකා ගැන බය නැතුව නිර්මාණ එළියට දාන ආකාරය පෙනෙනවා, ඒ ගැන කතා කළොත්?


ඒක ඇත්තටම අපේ ඉන්ඩස්ට්‍රි එකේ දියුණුව වෙනුවෙන් ගත්ත ඉතාමත් සාර්ථක පිම්මක් විධියට තමයි මම දකින්නේ. මම දන්න විධියට ඒ වගේ නිර්මාණවල රැල්ලක් ඇති කළේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු හියුමන් එරර්ස්. ඒකෙන් පස්සේ දැන් ඒ වගේ නිර්මාණ හැදෙනවා. ඒකත් එක්ක අපේ නළු නිළියන්ට බය නැතුව වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද රංගනය කියන්නේ සීමා මායිම් දාගෙන කොටු වෙලා වැඩ කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් නෙවෙයි. මේක ඇතුළේ අපිට විවිධ අත්හදාබැලීම් කරන්න වෙනවා. මම හරි කියවීමක හිටියා නම් ඔය හැදෙන වෙනස් නිර්මාණ ගොඩක්ම මම දැක්කේ හියුමන් එරර්ස්වලින් පස්සේ. ඊට පස්සේ අපේ නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් එතෙක් කාලයක් කරන්න නොහැකි වුණු නිර්මාණ ගොඩක් බය නැතුව කරන්න පෙලඹුණා. නළු නිළියන්ට වුණත් ඒ හරහා හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා.


නිර්මාණ කාර්යයකදී අධ්‍යක්ෂවරයා වගේම එහි නිශ්චල ඡායාරූප ශිල්පියාත් වැදගත් නේද?


මම වැඩක් කරද්දි අධ්‍යක්ෂවරයා සමානවම බලන දෙයක් තමයි ඉන්න ෆොටෝග්‍රැෆර් කවුද කියන එක. නළුවෙක්ගේ වේවා, නිළියක්ගේ වේවා ජීවිතයේ ඉතුරු කාලයේ පැවැත්ම තීරණය කරන්න පුළුවන් එම නිර්මාණයේ නිශ්චල ඡායාරූප ශිල්පියාට. එයා අපිව පෙන්නන විධියට තමයි අපිට ඊළඟට වැඩ එන්නේ. මම අදටත් සතුටු වෙනවා, ස්තුතිවන්ත වෙනවා මට මේ වෙනකම් හමුවුණු හැම නිර්මාණයකම වැඩ කරපු නිශ්චල ඡායාරූප ශිල්පීන්ට. මම නියුඩ් ෂූට් කරද්දි වුණත් ඔවුන් කිසිම දවසක අනියම් විධියට මගේ නිරුවත පෙන්නලා නැහැ. සීන් එකට, බියුටි එකට අදාළව විතරයි ඔවුන් මාව කැප්චර් කරලා තියෙන්නේ. ඒක ප්‍රධාන හේතුවක් මම අදටත් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න.


අවසන් වශයෙන් ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු?


මේ අවුරුද්දේ ”ද ලේක්” සීසන් තුන ඉවර කරන්න තියෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ මම කළේ පොඩි පොඩි වැඩ ටිකක් විතරයි. සැප්තැම්බර් වගේ වෙද්දි ”ද ලේක්” ඉවර කරලා ආපහු දෙසැම්බර් වගේ අලුත් වැඩකට දායකත්වය දෙන්න තියෙනවා.

gossiplanka image 1
Previous Post Next Post