
ඇය නමින් දිල්කි දිසානායක. මේ දිනවල තිරගත වන ‘හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ්’ සිනමා නිර්මාණයේ කේතකීගේ චරිතය නිරූපණය කරන දිල්කි, තවත් සිනමා නිර්මාණයකට සම්බන්ධවෙලා ඉන්නව කියලයි අපිට කිව්වෙ. මේ ගැන වැඩි විස්තර අපි දිල්කිගෙන්ම අහමු.
මුලින්ම දිල්කිගෙ විස්තර ටිකක් කියමු?
මගේ උපන් ගම බදුල්ල. පාසල් ගියෙත් බදුල්ලෙමයි. ඉන් පස්සෙ මම කොළඹට එනව. මගේ වැඩකටයුතුවලට පහසුවක් නිසා පදිංචියත් කොළඹට මාරු වුණා.
‘හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ්’ සිනමා නිර්මාණයේ ඔබේ චරිතය ගැන රසිකයො මොකද කියන්නෙ?
මේ වනවිට නම් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මොකද මම සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතයක් කරන පළමු වතාව තමයි මේක.
චරිතය ගැන කතා කළොත්?
මේක ගොඩක් වෙනස් වගේම අභියෝගාත්මක චරිතයක්. මගේ ජීවිතයට ටිකක්වත් සම්බන්ධ නැති දේවල් තමයි මේ තුළ තියෙන්නෙ. මේ චරිතය තුළ හෙදියක්, ටිකක් නපුරු කාන්තාවක් වගේම පුංචි කාලෙ ඉඳන් ආපු ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන තරුණියක් යන තුන් දෙනෙක් ඉන්නව.
දිල්කිට කේතකීගේ චරිතය ලැබෙන්නෙ කොහොමද?
කේතකීගේ චරිතය මට ලැබෙනකොට චිත්‍රපටයේ ෂූටිං වැඩකටයුතු සියල්ල සූදානම් කරල තිබුණෙ. නමුත් මෙ චරිතය සඳහා තෝරාගෙන තිබුණ රංගන ශිල්පිනියගේ යම් කිසි ගැටලුවක් නිසා මට මේ චරිතයට ආරාධනා ලැබෙනව. මේ සඳහා සූදානම් වෙන්න ලොකු කාලයක් තිබුණෙ නැහැ. නමුත් මේක මට අලුත් සහ වෙනස් චරිතයක් නිසා මම භාරගත්තා.
දිල්කි රංගනය තෝරා ගන්නෙ ඇයි?
ඇත්තටම මම හරි ආසයි මිනිස්සුන්ගෙ ආදරයට. ඒ ආදරය උපරිමව ලබන්න පුළුවන් ක්‍ෂේත්‍ර දෙක ගායනය සහ රංගනය කියලයි මම හිතන්නෙ. ගීත ගායනා කිරීමේ හැකියාවක් මට නැති නිසා ගායිකාවක් වෙන්න බැහැ. ඒ නිසා මම රංගන ක්‍ෂේත්‍රය තෝරා ගන්නව. ඒ වගේම මගේ අම්මගෙත් ලොකු ආසාවක් තිබුණා රංගන ශිල්පිණියක් හැටියට මාව දකින්න.
අම්මා අද මොකද කියන්නෙ?
අද මම ඉන්න තැන ගැන අම්මා ගොඩක් සතුටු වෙනව. ඒ වගේම මම හිතනව මම අම්මටයි අප්පච්චිටයි ගෞරවයක්, ආඩම්බරයක් වෙන චරිතයක් වුණා කියල.
කලාව සමග දිල්කිට සම්බන්ධතාවක් තිබුණද?
පාසල් කාලයේ නර්තනය හැදෑරුවා හැරෙන්න කලාව සමග මට ලොකු සම්බන්ධතාවක් තිබුණෙ නැහැ. මම කැමති වුණේ ව්‍යාපාරයක් කරන්න. උසස් පෙළ සඳහා මම කොමස් කළේ. අධ්‍යාපන කටයුතුවලින් පස්සෙ මම ව්‍යාපාරයක් පටන්ගෙන ඒකත් එක්ක ඉන්නකොට මට හිතුනා මේ වගේ දේකටත් ඇප්ලයි කරල බලන්න ඕන කියල. ඒ අනුව මම මුලින්ම කළේ අවුරුදු කුමාරි තරගයකට අයැදුම්පතක් යොමුකළා. ඒ තරගෙන් පස්සෙ මට රංගනයට ආරාධනා ලැබෙන්න පටන්ගත්තා. නමුත් මගේ අදහස තිබුණෙ නිවේදිකාවක් වෙන්න ඕන කියල.
නිවේදිකාවගේ හීනයත් අද සැබෑ වෙලා?
ඔව්, මම දැන් සිරස මාධ්‍ය ආයතනයේ නිවේදිකාවක් හැටියට කටයුතු කරනව.
ඔබේ වෘත්තිය?
මගේ ප්‍රධාන වෘත්තිය වෙන්නෙ ව්‍යාපාරය. රංගනය සහ නිවේදනය මම අමතරව කරන දෙයක්.
කැපිලි කෙටිලි තිබුණද?
ඔව්, එහෙම දේවල් නොතිබුණා නෙමෙයි. සාමාන්‍යයෙන් ඩ්‍රාමා එකකට අපිව තෝරා ගන්නෙ ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලනෙ. මුලින්ම ලැබුණෙ හරි පුංචි චරිත කිහිපයක්. සමහර දවස්වලට ෂූටිං ගියත් මගේ චරිතය ෂූට් කළේ නැහැ. ඒ වගේ දේවල් ගොඩක් සිද්ධවෙලා තියෙනව මේ කාලය ඇතුළත.
කැපිලි කෙටිලි හමුවේ ආපසු හැරෙන්න හිතුන අවස්ථා තිබුණද?
ඔව්, මම දෙවතාවක් විතර ගමේ ගියා මට රඟපාන්න බැහැ, ඒක අමාරුයි කියල. මම මිනිස්සුන්ගෙ ආදරයට ආසා නිසා කවුරු හරි මට විරුද්ධව දෙයක් කරද්දි දරාගන්න බැහැ. පෝස්ට් එකකට වැටෙන කමෙන්ට් එකකින් වුණත් හිත රිදෙනව.
දැන් ලැබෙන ජනප්‍රියත්වය ගැන අදහස මොන වගේද?
ජනප්‍රියත්වයට මම ගොඩක් ආදරෙයි. එළියට බැස්සාම මිනිස්සු මාව හඳුනාගන්නව, මං එක්ක කතා කරනව. කොළඹ වගේම කොළඹින් පිටතදිත් ඒක එහෙමයි.
‘හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ්’ සමග ඔබට ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මුණගැසුනා?
ඇත්තටම සමහර අවස්ථාවලදි මම ඔවුන් සමග රඟපාන්න ගොඩක් බය වුණා. නමුත් ඔවුන් මගේ අඩුපාඩු කියල දීලා චරිතය ගොඩනගාගන්න ගොඩක් උදවු කළා.
ෂූටිං අවසානයේ අධ්‍යක්‍ෂවරියගේ ප්‍රතිචාරය මොන වගේද?
මෙහි අධ්‍යක්‍ෂවරිය වන විනෝෂා අක්කට මම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද ඇය තමයි මේ චරිතය මේ විදිහට නිර්මාණය කළේ. අවසානයේ ඇය ගොඩක් සතුටු වුණා ඇයගේ හිතේ මැවුණ චරිතය මේ විදිහට ගොඩනගාගන්න පුළුවන් වුණ එක ගැන. අදටත් ඇය මගේ හොඳ හිතවතියක්.
චරිත තෝරාබේරා ගන්නවද?
මම විශේෂයෙන් චරිත තෝරාබේරා ගැනීමක් කරන්නෙ නැහැ. නමුත් මම කැමතියි මේ නිර්මාණයේ චරිතය ඊළඟ නිර්මාණයෙනුත් ඒ විදිහටම දකින්නෙ නැතිව වෙනස් විදිහේ දෙයක් කරන්න.
කේතකී වැනි චරිත දිල්කිට මුණගැහිල තියෙනවද?
ඔව්, කේතකී වගේ චරිත මේ සමාජයේ මට මුණගැහිල තියෙනව.
දිල්කි කියන්නෙ කවුද?
දිල්කි කියන්නෙ ආදරේ ගොඩක් බලාපොරොත්තු වෙන තරුණියක්. ඒ වගේම එයාගෙ හීනයක් වෙනුවෙන් ඕනි තරම් කැපකිරීම් කරන්න පුළුවන්, අහිංසක, සතුන්ට ආදරේ කරන කෙනෙක්.
අලුත් නිර්මාණ?
ටෙලි නාට්‍යවලටනම් සම්බන්ධ වුණේ නැහැ. ඩිලාන් අයියගෙ ‘කාදර්’ කියන අලුත්ම සිනමා නිර්මාණයේ ෂුටිංවලට මේ දිනවල සහභාගි වෙනව.
ඔබ ආදරවන්තියක්. පෙම්වතාගෙන් ඔබේ වැඩකටයුතුවලට ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?
මට ඔහුව මුණගැසෙන්නෙ ක්‍ෂේත්‍රයට ඇවිත් ගොඩක් කාලෙකට පස්සෙ. හොඳ නිර්මාණ තෝරාගන්න, මගේ වැඩකටයුතුවලට මගෙත් එක්ක යන්න එන්න වැනි ගොඩක් අවස්ථාවලදි ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනව.
