
සාරා අබේවර්ධන කියන්නේ නර්තනයෙන් දස්කම්පාන චරිතයක්. ඇයව අපට නිතර මුණගැසෙන්නේ නර්තන වේදිකාවේදී. මේ දිනවලත් ඇයව අපට සිරස ඩාන්සින් ස්ටාර් වේදිකාවේ විනිසුරුවරියක් විදිහටත් මුණගසෙනවා. ඔය අතරේ ඇය හා හාපුරා කියලා එළැඹෙන 14 වැනිදා ඉඳලා සිනමාවටත් පිවිසෙනවා. ඒ අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කරන ලද මදර් ලංකා සිනමා පටය හරහායි. ඉතිං සාරා සමග මේ කතාබහ මදර් ලංකා සහ සිරස ඩාන්සින් ස්ටාර් වේදිකාව ගැනය.
සාරාට සිරස ඩාන්සින් ස්ටාර් විනිසුරුවරියගේ භූමිකාවට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
මම මුලින්ම සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහන කරනවා කියලා දැනගත්තේ මගේ යාළුවෝ සහ ඩාන්සින් ඉගෙනගන්න දරු දැරියන් අයැදුම්කරන්න පටන්ගත්තාට පස්සේ. ඇත්තටම මට වුවමනාවක් තිබ්බේ නැහැ තවත් රියැලිටි එකක වැඩකරන්න. මොකද මම මීට කලින් රියැලිටි එකක වැඩකරලා තියෙනවා. බබා හම්බවුණාට පස්සේ මම ආපහු රියැලිටි එකක් භාරගන්නේ නැහැ කියන තැන තමයි හිටියේ. හැබැයි අන්තිම මොහොතේ තමයි මට සිරස නාළිකාවෙන් ආරාධනාව ලැබුණේ. ඒ ආරාධනාව ආවට පස්සේ ඊළඟ දවසේම සාකච්ඡාවට ගිහිල්ලා අන්තිම මොහොතේ තමයි ඒ ආරාධනාව භාරගත්තේ.
ඒ ආරාධනාව භාරගන්න විශේෂ හේතුවක් තිබුණාද?
මගේ බබාට අවුරුදු එකහමාරක් වෙනවා. ඉතිං මම හිතුවා මගේ වැඩවලට හිරවෙන එකක් නැහැ කියලත්. මාස හතරක වගේ පොඩි කාලයකට යන හින්දා මම ඒක භාරගත්තොත් හොඳයි කියලා හිතුණා.
රියැලිටි වේදිකාවේ අත්දැකීම් එහෙම කොහොමද?
තවම මුල් වටයේ තරග විතරයි අවසන් වුණේ. ඉතිං මේතාක් දුර ආපු ගමනේදී මම නර්තන ශිල්පිනියක් විදිහට මම පටන්ගත්තු තැන ගැන මට මතකයි. ඉතිං දැන් මම ඉන්නේ සෑහෙන ලොකු තැනක. දැන් මම කැමැතියි මේ රියැලිටි වේදිකාවට. මොකද ඩාන්සින් කරන දරුවන්ට අපිට යමක් ලබාදෙන්න පුළුවන්. මම විශේෂයෙන් මේ ඩාන්සිං ස්ටාර් විනිසුරු මඩුල්ලට එකතුවෙන්න හේතුව තමයි හැංගිලා ඉන්න දරුවන්ගේ දක්ෂතා අපිට ලෝකය ඉදිරියට ගෙනියන්න පුළුවන් වීම.
ඩාන්සින් ස්ටාර් කියන්නෙ මීට කාලයකට පෙර ලංකාවේ ජනප්‍රිය රියැලිටි වැඩසටහන. එහි දෙවැනි අදියරේ ඔබට විනිසුරුවරියක් වෙන්න හම්බෙනවා. මොකද හිතෙන්නේ?
මට හීනයක් වගේ. හැබැයි සිරසත් එක්ක මම කරන පළමුවැනි වැඩේ හින්දා හරි ආසාවෙන් කරනවා.
පළමු වැඩසටහනේ ජයග්‍රාහකයත් ඔබත් සමග එකට විනිසුරු පුටුවේ වාඩිවෙලා ඉන්නවා?
මම ඊට කලිනුත් එයත් එක්ක වැඩකරලා තියෙනවා. ඩාන්සින් කෙනෙක් විදිහට මම එයාව දන්නවා. සන්තුෂ් මට අලුත් නැහැ. හැබැයි රියැලිටි වේදිකාවේ එයත් එක්ක එකට විනිසුරු පුටුවේ වාඩිවෙලා ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි.
ඒ කාලේ නිර්මාණය වුණු ඩාන්සින් ස්ටාර් චිත්‍රපටය එහෙම නරඹලා තිබුණාද?
ඒ කාලේ මම ඉස්කෝලේ යන කාලේ. මම හරි පුංචියි. ඉතිං ඔය වේදිකාව බලලා මම කවදාවත් හිතුවේ නැහැ මම ඊළඟ එකේ විනශ්චය මණ්ඩලයේ ඉඳීවි කියලා. ඒක හරියට හීනයක් වගේ.
සාරාව අපිට නිතර මුණගැසෙන්නේ බටහිර නර්තන ශිල්පිනියක් විදිහට?
මම බටහිර නර්තනයත් ප්‍රගුණ කරලා තියෙනවා. ඇත්තටම මම උඩරට නර්තන ශිල්පිනියක්. බටහිර නැට්ටුවෙක් වෙන්නෙ ඊට පස්සේ. ලොකුවට වේදිකාවක කියලා මම ඉදිරිපත් කරලා තියෙන නැටුම් ඔක්කොම ජෑස්, ලැටින් වගේ බටහිර පන්නයේ නැටුම්. මම හිතන්නේ මිනිස්සු මාව දැනගත්තෙත් ඒකෙන්. ගොඩක් අය හිතන්නේ මම වෙස්ටර්න් ඩාන්සර් කෙනෙක් කියලා.
හැබැයි දන්න විදිහට සාරා කියන්නේ ජාතික නර්තන කණ්ඩායමේද සාමාජිකාවක්?
ඔව්. මම පුංචි කාලේ ඉඳලාම නර්තන හදාරපු කෙනෙක්. උසස් අධ්‍යාපනය හැදෑරුවෙත් නර්තනයෙන්. ලංකාවේ සහ ජාත්‍යන්තර නර්තන තරග රැසකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතිං ඒ නර්තන ෆීල්ඩ් එකේ ඉන්න අය මාව දන්නවා. දන්න කාලේ ඉඳලා නැටුම් කරලා තියෙනවා. ඇත්තටම උඩරට නැටුම්වල මම පායිම්පත් තියලා තියෙනවා. මම පහතරට නැට්ටුවෙක්. මම විද්‍යාරත්න ෆර්නෑන්ඩු සහ නිශා ලියනගේ කියන ගුරුවරුන්ගෙන් තමයි නර්තනය හැදෑරුවේ. මගේ ගුරුතුමා ජීවතුන් අතර නැහැ. මේ වෙලාවේ එයාව ආදරයෙන් මතක් කරන්න ඕනෑ. කලින් මම රාජ්‍ය නර්තන කණ්ඩායමත් නියෝජනය කරලා තියෙනවා. මම ඇත්තටම වෙස්ටර්න්වලට වැඩිය ඊස්ටර්න් ඩාන්සන් කෙනෙක්. ගොඩක් අය ඒක දන්නවා අඩුයි. සාරා කියන්නේ දේශීය නැට්ටුක්කාරියක්. මගේ පෙනුම වෙස්ටර්න් අයිස් කැරක්ටර් එකක් නිසා මගේ ඇඟ ඇතුළේ ඉන්නේ හරිම දේශීය ගැහැනියක්.
හැබැයි සාරාව නිතර අපට හමුවෙන්නේ බටහිර පන්නයේ කාන්තාවක් හැටියට?
ඒක පිට මිනිස්සු දකින විදිහ වෙන්න ඇති. බටහිර පන්නයට කියලා එහෙම දේවල් කරන්නේ නැහැ. මම හරි සාමාන්‍ය ජීවිතයක් ගතකරන කෙනෙක්. මගේ චරිතය අනුව ඒ ගොල්ලෝ එහෙම හිතනවා ඇති. සාරා කියන්නේ හරි සිම්පල් කෙනෙක්.
සාරාට රඟපාන්න ආරාධනා එන්නේ නැතිද?
ඇත්තටම රඟපාන්න ආරාධනා ගොඩක් එනවා. මම නර්තනයට එන්න කලින් ඉඳලා රඟපෑමට ආරාධනා ලැබුණා. හැබැයි මම හිතනවා මගේ දක්ෂතාවය එතැන නෙමෙයි තියෙන්නේ කියලා. මගේ ගෙදරින් ඒ විෂයට එච්චර කැමැත්තක් නැහැ. අනික මමත් පෞද්ගලිකව ඒ වැඩේට එච්චර කැමැත්තක් නැහැ.
ආසාවට හරි එකක දෙකක රඟපාන්නේ නැතිද?
හිටියා. අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ණය කරනු ලබන මදර් ලංකා චිත්‍රපටයේ රඟපෑවා. එළැඹෙන 14 වැනිදා ඉඳලා ඒ චිත්‍රපටය තිරගත වෙනවා. ඔය අතරේ මම ගොඩක් චිත්‍රපටවල නර්තන වින්‍යාසය කරලා තියෙනවා. ඉතිං මම ආශා කරන්නේ තිරයෙන් පිටිපස්සේ තියෙන දේවල් හදන්න මිස තිරයට ඉස්සරහට ගිහිල්ලා රඟපාන්න නෙමෙයි. නමුත් මම මදර් ලංකා චිත්‍රපටයේ රඟපෑ චරිතය හරි ආශාවෙන් රඟපෑවා.
14 වැනිදා ඉඳලා සාරා සිනමාවට?
මම පොඩි චරිතයක් තමයි රඟපාන්නේ. මම හිතනවා මදර් ලංකා බලන්න ගියොත් කට්ටියට මගේ රඟපෑම ගැන බලාගන්න පුළුවන් වේවි කියලා. ඒක ටිකක් වෙනස්ම කතාවක්. ඇත්තටම මදර් ලංකා කියන්නේ පවුලේ චිත්‍රපටයක්.
මෙය ඔබේ පළමු සිනමා අත්දැකීමද?
ඔව්. මදර් ලංකා මගේ පළමු රංගනය. හැබැයි මම මීට කලින් රොඩ්නි වර්ණකුල වගේ කට්ටියත් එක්ක වේදිකා නාට්‍යවල වැඩකරලා තියෙනවා. නාට්‍යවලත් රඟපාලා තියෙනවා. හැබැයි මම හිතුවේ නැහැ මම තිරය ඉදිරියට ගිහිල්ලා රංගනයෙන් දායකවෙලා ඒක වෘත්තිය කරගන්න ඕනෑ කියලා.
කොහොමද රංගන අත්දැකීම්?
රඟපානවා කියන එක ලේසි නැහැ. ඒක හරිම අමාරු දෙයක්. අපි හැමෝම හිතනවා රඟපානකොට ඒක හරි ලේසි දෙයක් කියලා. අපි සමහර වෙලාවට නළු නිළියන් හෑල්ලුවට ලක්කරනවා. නමුත් ඒ තරම් අමාරු ජොබ් එකක් මම දැකලා නැහැ. මට ලැබුණ පොඩි චරිතය කරන්න ගිහිල්ලා මම මහන්සිවුණ විදිහ මම දන්නවානේ.
දිනේෂ් විතාන
