
මේ දිනවල විකාශය වන ‘ඉර හැංගිලා’ ටෙලි නාට්‍යයේ දිලීමාට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි කියල තමයි අපිට දැනගන්න ලැබුණෙ. දිලීමාට ජීවය දෙන්නෙ මෙරට ටෙලි තිරයේ අහිංසකාවිය වන දිලිනි ලක්මාලි. මීට වසරකට පමණ පෙර දුරු රටක ජීවත් වුණ ඇය කෙටි කාලයකට ලංකාවට පැමිණ සිටින අතරතුර ඉර හැංගිලා සමග සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිල තියෙනවා. මේ දිලිනි සමග දිලීමා ගැන මීවිත කළ කතාබහක්.
දිලිනි, දිලීමාට ලැබෙන ප්‍රතිචාර ගොඩක් ඉහළයිලු?
ඉර හැංගිලා ටෙලි නාට්‍යයේ කොටස් තිහක් විතර මේ වනවිට විකාශය වෙලා තියෙන නිසා මගතොටදි කෙනෙක් මුණගැසුනත් මට කතාකරන්නෙ දිලීමා කියල. ඒ වගේම මේ නිර්මාණය දැන් ප්‍රේක්‍ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනව.
නවසීලන්තයේ ඉඳන් මුල් කොටස් ටික නරඹද්දි මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?
මෙහි එන සියලුම චරිතවලට හැමෝම ගොඩක් මහන්සි වෙලා උපරිම සාධාරණයක් ඉටු කරල තියෙනව. මුල් කොටස් ටික රූගත කරල ටික දවසක් වෙනවා. මමත් ඒ ටික දකින්නෙ රූපවාහිනී විකාශයත් එක්කමයි. ඒ කොටස් ටික දකිද්දි ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය දකිනකොට ඊටත් වඩා සතුටුයි.
දිලීමා වෙනුවෙන් උපරිම දේ කරන්නද ආපහු ලංකාවට ආවෙ?
ඔව්, මුල් කොටස් ටික විතරක් රූගතකරල තිබුණ නිසා ඉතිරි ටික රූගත කරන්න දිලීමා නැතිව බැහැ. ඉතිං ඒකට අවශ්‍ය සියලුම පහසුකම් ටික ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කණ්ඩායම මට ලබා දුන්නා. මට තිබුණේ ලංකාවට එන්න විතරයි. අපිට ලොකු කාලවේලාවක් තිබුණෙ නැහැ මේ සඳහා සූදානම් වෙන්න. නාට්‍යයේ සාර්ථක අවසානයක් සඳහා ඉතිරි කොටස් ටික මේ දිනවල රූගත වෙනවා.
කවදද ලංකාවට ආවෙ?
මම ලංකාවට ආවේ පසුගිය මාසයේ 18 වැනිදා.
ආපසු යන්නෙ?
මේ මාසය අවසානයේ ආපසු යන්න හිතාගෙන ඉන්නවා.
කාලෙකට පස්සෙ ලබපු දර්ශන තලයේ අත්දැකීම මොන වගේද?
ටෙලි නාට්‍යවලින් ටිකක් ඈත් වෙලා මගේ පවුල් ජීවිතයට මුල් තැන දීමට අවශ්‍ය නිසයි මම ලංකාවෙන් ගියේ. නමුත් ඉක්මනින් ආපසු එන්න ඕන කියල අරමුණක් තිබුණෙ නැහැ. නාට්‍ය විකාශය වෙන නිසා මම ආවෙ නැත්නම් නිෂ්පාදන කණ්ඩායම ලොකු- අපහසුතාවකට පත්වෙනව. ඒ නිසයි මම ආවෙ. අවුරුද්දක විතර කාලයකින්නෙ මම ආපසු රඟපාන්නෙ.ඉතා දිගු කාලයක් නොවෙන නිසා දර්ශන තලයේ ලොකු වෙනසක් දැනුණෙ නැහැ. අධ්‍යක්‍ෂ චාරුක දිල්හාර අරණායකගේ මගපෙන්වීමත් එක්ක දිලීමාගේ චරිතයට මගේ උපරිමයෙන් සාධාරණයක් කරනවා.
දිලීමා ගැන කතා කළොත්?
දිලීමා කියන්නෙ තමන්ගෙ පවුල තුළ තිබුණ සියලු සැප ආදරය නිසාම අතහැරල ඇවිත් පසු කලෙක තමන්ගෙ සැමියාගේ වියෝවත් සමග එල්ලවන තාඩන පීඩන විඳ දරාගෙන දරුවාත් එක්ක ජීවන අරගලයට මුහුණ දෙන ශක්තිමත් ගැහැනියක්. මේ සමාජයේත් දිලීමලා අදත් ඕනෑ තරම් ඉන්නවා ඇති. විශේෂයෙන්ම නැන්දම්මා, ලේලි කියන්නෙ අපි කවදත් කතා කරන කාලීන මාතෘකාවක්. ‘ඉර හැංගිලා’ කියන්නෙ පවුල ඇතුළෙ තියෙන දේවල් ටිකත් එක්ක කතාවෙන කථාංගයක්. ඒ තුළ තියෙන චරිත කාලීන චරිත බවට පත්වෙලා තියෙන නිසාදෝ මන්ද ලොකු ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් තියෙනව.
දිලීමා ගැන සැමියාගේ මව මොකද කියන්නෙ?
මෙහි චරිත නිරූපණයෙන් මගේ නැන්දම්මා වෙන්නෙ නෙතලි නානායක්කාර. ඇයත් මේ දවස්වල බැනුම් අහනවා කියල මට කියල තියෙනව. මගේ මහත්තයගෙ අම්මත් නාට්‍ය නරඹලා, මමත් මේ වගේ වුණානම් හොඳයි කියල විහිළුවට කියනව. නමුත් මම වාසනාවන්තයි. තවමනම් එහෙම ප්‍රශ්න නැහැ.
කොහොමද විවාහ ජීවිතය?
ඉර හැංගිලා ටෙලි නාට්‍යයේ රූගතකිරීම් ආරම්භ කරනකොට චරිත් මගේ ප්‍රේමවන්තයා. ඒ අපි ආදරය කරන කාලෙ. අද මේ නිර්මාණය විකාශය වෙනකොට අපි දෙන්නා කසාද බැඳලා සැමියා සහ බිරිඳ ලෙස එකට නරඹනවා. ඔහු එදාත් මට ඒ අවශ්‍ය මොහොතට උපරිම නිදහස ලබාදුන්නා. උපරිම සහයෝගය ලබා දුන්නා. චරිත් කියන්නෙ කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක්. බිරිඳක් විදිහට මට ඔහුගෙන් ලැබෙන සහයෝගය වචනවලින් විස්තර කරන්න බැහැ.
රංගන ජීවිතය ගැන කතා කළොත්?
මම මේ ගමන පටන්ගත්තෙ 2008 අවුරුද්දෙ. දැන් මේ ගමන ඇවිත් අවුරුදු දහයකටත් වැඩියි. අදටත් මගේ නිර්මාණ අගයනවා. ගුණදොස් කියනවා. රංගන ශිල්පිනියක් විදිහට ඒක තමයි මට තියෙන ලොකුම සම්මානය.
බොහෝ විට දිලිනිට ලැබුණෙ ගැමි චරිත?
මෙහෙමයි, මගේ පෙනුම වගේ කාරණා එක්ක ගොඩක් වෙලාවට ලැබුණෙ ගැම් ආරෙට හුරු චරිත. ඒ අතරින් දිලීමා කියන්නෙත් මම මෙතෙක් රඟපෑ චරිතවලට හාත්පසින්ම වෙනස් චරිතයක්. මේ වගේ චරිත, මේ වගේ හැඩතලයක් ආශ්‍රිතව සිදුකෙරෙන නිර්මාණවලට දිලිනි කියන නම කවදත් තිබුණා කියල මම විශ්වාස කරනවා. ගොඩක් වෙලාවට ප්‍රේක්‍ෂකයන් මාව දකින්න කැමති මේ වගේ චරිතවලින්.
දිලිනි දිගටම කලාවට සම්බන්ධ වෙනවද?
දැන් මගේ ජීවිතය ගලාගෙන යන විදිහත් එක්ක නිතර නිතර ලංකාවට එන එකේ ප්‍රශ්නයක් තියෙනව. ඒ කාරණයත් එක්ක ඉදිරියේදී ලැබෙන නිර්මාණ කොහොම වෙයිද කියල කියන්න දන්නෙ නැහැ. මේ මොහොතෙදිත් මට අලුත් නිර්මාණයකට ආරාධනා ලැබිල නැහැ. නමුත් හොඳ නිර්මාණයක් ලැබුණොත්, ලංකාවට ඇවිත් සහභාගි වෙලා යනව කියන තැන මම ඉන්නව.
මහේෂ් එදිරිසිංහ
