
ජීවිතය කියන්නේම හරි පුදුමාකාර දෙයක්. මෙලොව එළිය දුටු සෑම මනුෂ්‍යයකුටම අවසානයේ කුමන ආකාරයට ජීවත් වෙන්න වෙයි ද? ඒක අපි කාටත් කියන්න බැහැ. ඒක තීරණය කරන්නේ දෛවය. සත්‍යා කියන්නෙත් ජීවිතය වෙනුවෙන් ස්ත්‍රීත්වය වැලඳගත් චරිතයක්. හැබැයි ඇය මේ සමාජයට ආදරය, මාතෘත්වය යන්න කුමක්ද කියා කියලා දෙන්න උත්සාහ කරනවා. කවුද මේ සත්‍යා. මොකක්ද මේ සත්‍යාගේ කතාව.
මේ සත්‍යාව අපට හමුවෙන්නේ ධනංජය සිරිවර්ධනගේ අපූරු රංගනයකිනි. ඒ අනූෂ සංජීව අධ්‍යක්ෂණය කරනු ලබන, පසුගිය 14 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කරන ලද මදර් ලංකා සිනමා නිර්මාණයෙනි. ධනංජය සිරිවර්ධන එහෙමත් නැතිනම් අපි ආදරයට ආමන්ත්‍රණය කරන ‘ධනා’ කියන දක්ෂ අපූරු රංගන ශිල්පියා කාලෙන් කාලෙට විවිධ භූමිකාවන් ඔස්සේ රිදී තිරයෙන් වගේම පුංචි තිරයෙන් ද අපට මුණගැසී තිබෙනවා. මේ වෙලාවේ ධනාව අපිට හම්බවෙන්නේ සත්‍යා ලෙසිනි. සත්‍යාට සිදුකළ සාධාරණය වෙනුවෙන් අපි ධනාට මේ ඉඩකඩ වෙන් කළා.
සත්‍යා කියන්නේ බොහොම කල්යල් බලා තීරණාත්මකව උපද්දවපු චරිතයක්. ඒ චරිතය බිහිවෙන්නේ ක්‍රිෂාන්ති කුලසූරියගේ කුසේ. මම හැම තිස්සේම කියන්නේ ඒ චරිතය පෑනකින් ලියපු එකක් නෙමෙයි. ඒක ක්‍රිෂාන්තිගේ හදවතින්ම ආපු චරිතයක්. මොකද සත්‍යා කියන චරිතය බොහොම ආන්දෝලනාත්මකයි. ඒ චරිතය බිහි කරනවාද නැද්ද කියන ලොකු තීරණයකින් තමයි අවසානයේ ඒ ගොල්ලෝ සත්‍යා කියලා චරිතයක් බිහි කළ යුතුයි කියන තීරණයට එන්නේ. ඒක නිකන් අසාමාන්‍ය දරුවකු පිළිසිඳ ගැනීමට හා සමානයි. නමුත් පිටපත් රචිකාවිය වන ක්‍රිෂාන්ති සහ අධ්‍යක්ෂ අනූෂ දැඩිව විශ්වාස කරපු චරිතයක් තමයි මදර් ලංකා චිත්‍රපටයේ සත්‍යාගේ චරිතය.
ධනාට කොහොමද සත්‍යාව මුණගැසුණේ?
ඒක හරි සොඳුරු කතාවක්. සත්‍යාව මම ඇහැට දකින්න කලින් අහලා තිබුණා. අනූෂ මට අවුරුදු දෙකකට විතර කලින් තමයි මෙවැනි වැඩක් කරන්න යනවා කියන පණිවුඩය අරගෙන එන්නේ. එක්තරා රාත්‍රියක ඔහුයි මායි රැයක් එළිවෙනකම් සත්‍යා පිළිබඳව කතාබහ කළා.
ලිංගික සංක්‍රාන්ති චරිතයක් එක්වරම ඔබේ අතට තියනකොට මොකද හිතුණේ?
මම මුලින්ම පිටපත දැකලා තිබුණේ නැහැ නේ. සත්‍යා කොයිවගේ ද කියලා මගේ අදහසක් තිබ්බේම නැහැ. නමුත් වැඩේ පටන් ගන්න ගිහිල්ලා ක්‍රිෂාන්ති කුලසූරිය පිටපත අතට දුන්නාට පස්සේ තමයි මම ඒකේ තියෙන බරපතළකම තේරුම් ගත්තේ. සත්‍යාව උපද්දන්නේ කොහොමද කියන ගැටලුව මට තිබුණා. නමුත් සත්‍යාගේ අම්මයි තාත්තයි කියලා මම සලකන්නේ ක්‍රිෂාන්ති කුලසූරිය සහ අනූෂ සංජීවයි. මොකද ඔවුන් දෙදෙනා දැඩිව විශ්වාස කළා මේ චරිතය පිළිබඳව. ඒ වගේම ඔවුන් දෙදෙනා මාවත් දැඩිව විශ්වාස කළා.
සත්‍යා වගේ චරිත එහෙමත් නැතිනම් ලිංගික සංක්‍රාන්තික චරිත හමුවී ඔබ ඒ පිළිබඳව විමසීමක් සිදුකළාද?
සත්‍යා කියන්නේ අභියෝගාත්මක චරිතයක්. එවැනි චරිතයකට මුහුණදෙන්න ප්‍රවේශවෙන විදිහ වෙනස්. මේ වෙනුවෙන් මම කරපු කැපවීම පිළිබඳව විතරයි කියන්න සූදානම්. සිනමා පටය තිරගත වෙලා අවසන් කාලයේදී මම බලාපොරොත්තු වෙනවා ඒ සඳහා මම දැරූ කැපවීමයි, සමීක්ෂණයයි හෙළිකරන්න.
මොකද මම ඒක දැන්ම හෙළි කරන්නේ නැහැ. සිනමාව කියන්නේ මායාවක්. මැජික් එකක්. ඒ මැජික් එක ප්‍රේක්ෂකයාගේ රසවින්දනයට බාධා වෙන නිසා දැන්ම ඒක කියන්න සූදානම් නැහැ. නමුත් මේ සිනමා පටය තිරගත වෙලා අවසන් වෙන කාලයේදී ඒ ගැන කියන්න සූදානම්. ඒක ලොකු කතාවක්.
ධනාට සත්‍යාව පුළුල් තිරයෙන් එහෙමත් නැතිනම් රිදී තිරයෙන් දකිද්දී මොකද හිතුණේ?
මම මේ වෙලාවේ මෙතෙක් නොකරපු පොඩි වැඩක් කරනවා. ඇත්තටම දිනේෂ්ට කොහොමද සත්‍යාව දැනුනේ කියලා මම ප්‍රශ්නයක් අහනවා.
තවමත් සත්‍යාව අපේ හිත්වල රැව්දෙනවා. සත්‍යා වගේ චරිතවලට මේ සමාජය ඇතුළේ පැහැදිලිවම ජීවත්වීමේ සාධාරණත්වය ඉෂ්ට විය යුතුයි. අනික සත්‍යා කියන්නේ නෙතට කඳුළක් එකතු කරපු චරිතයක්. ඒ වගේම සත්‍යාගේ මාතෘත්වයේ සිතුම් පැතුම් පුදුමාකාර සංවේදීයි.
දැන් කියමුකෝ බලන්න ධනාගේ හැඟීම්?
මම පළමු වතාවට මාව සාකච්ඡාවට බඳුන් කරන මාධ්‍යවේදියාගෙන් ඒක අහන්න හිතුවේ. අපි විශ්වාස කරනු ලබන සත්‍යාව සමාජයට දැනුනා ද කියලා දැනගන්නයි මට වුවමනා වුණේ. ඉතින් ඔබ වගේම මේ සිනමා පටය නරඹපු ගැහැනු පිරිමි භේදයක් නැතිව හැමෝම වගේ එළියට ආවේ කඳුළක් අතැතිව. රංගනය පිළිබඳව ඔවුන්ගේ තිබුණ සතුට මම දුටුවා. එතකොට මම තේරුම් ගත්තා අපි බොහොම අමාරුවෙන් ගොඩනඟපු සත්‍යාව එළියට දාන්න පුළුවන් මට්ටමක දැන් ඉන්නවා කියලා. ඒක තමයි මගෙත් ලොකුම සතුට. මේක බොහොම කාල නිර්ණය කරලා වදපු දරුවෙක් තමයි සත්‍යා. ඔහු චරිතයක් හැටියට සිනමාවේ ඉපදීම, මම සත්‍යා වෙනුවෙන් අඬන මට්ටමකට සංවේදී වෙලා තිබෙනවා. ඉතින් මම නෙමෙයි ඒ ඉන්නේ. ඒ කාලසීමාව ඇතුළේ මම ජීවත් වුණේ සත්‍යා හැටියටම තමයි. ඒ නිසා මම මාව එළියට අරගෙන රසවිඳින්න පුළුවන් චරිතයක් තමයි සත්‍යා.
මම හිතන්නේ සත්‍යාව දකිනකොට අපිට නම් ධනංජයව අමතක වුණා. මොකද හිතෙන්නේ?
මම හිතනවා රංගන ශිල්පියකුට ඒක ලොකු අගය කිරීමක් කියලා. මට පුළුවන් නම් මාව ගලවන්න මම හිතනවා මම හරිම සාර්ථකයි කියලා. ඒක නළුවකුට ලැබෙන්න පුළුවන් හොඳ අවස්ථාවක්. මම හිතනවා මම අවස්ථාව හරියට ප්‍රයෝජනයට ගත්තා කියලා.
ඔබ පසුගිය කාලයේ බුද්ධ මාතා චිත්‍රපටයේ ආනන්ද හාමුදුරුවන් වෙනුවෙන් කරපු කැප කිරීම වගේ කැප කිරීමක් ද මදර් ලංකා සත්‍යා වෙනුවෙන් රූගත කිරීමේදී සිදුකළ කැප කිරීම?
බුද්ධ මාතා කැප කිරීමත් ඉතා විශාලයිනේ. තට්ටේ ගාලා තාවකාලික පැවිදි දිවියට මම ඇතුල්වෙලා ඒ චරිතෙට පේවෙලා රඟපාන්නේ. ඒ චිත්‍රපටයේ මේකප්වලට මගේ රංගන ජීවිතයේ වැය කළ අඩුම කාලය තමයි වැය කළේ. මොකද එහි මට තට්ටයක් දමන්න සිද්ධ වුණේ නැහැ. මම තට්ටය ගාලයි හිටියේ.
මේක තමයි මගේ රංගන ජීවිතයේ මේකප් එකට වැඩිම කාලයක් වැය කළේ. මේකප් එක අවසන් කරන්න පැය හතරහමාරක් පහක් යනවා. එක දවසක් නෙමෙයි මේ මුළු සිනමාපටය පුරාවටම ඒක තිබුණා. නමුත් ඒ කිසිම වෙලාවක ඔවුන් මාව හදිසි කළේ නැහැ. කලබල කළේ නැහැ. බබෙක් වගේ මාව බලාගත්තා කියලයි මම කියන්නේ. ඔවුන් මට නිදහස ලබාදුන්න හින්දමයි මට සත්‍යාව බය නැතිව මේ තත්ත්වයට ගෙන එන්න පුළුවන් වුණේ. ඔවුන්ගේ සහයෝගය නොමැති වුණා නම් මට මේක කරන්න වෙන්නේ නැහැ.
කොටුව දුම්රියපළ වගේම පැල්පත් ආශ්‍රිත රූගත කිරීම්වලදී හරි වෙනස්ම අත්දැකීම් රැසක් ඇති. විශේෂයෙන්ම ඔබ ලිංගික සංක්‍රාන්තිකයකු ලෙස වෙස්ගන්වලයි මේ තැන්වලට යන්නේ?
ඒක ඇවිත් බොහොම රසවත් අත්දැකීමක්. විශේෂයෙන් පිටකොටුවේ ඒ රාත්‍රියේදී කරපු රූගත කිරීම හරිම තීරණාත්මක රූගත කිරීමක්. ඇත්තටම පිටකොටුවේදී මාව කිසිවකු හඳුනාගත්තේ නැහැ. ඒ වෙලාවේ කිහිපදෙනෙක්ම පිටපත් රචිකාවිය වන ක්‍රිෂාන්ති අක්කාගෙන් මේ කවුද කියලත් අහලා තිබුණා. එතකොට ක්‍රිෂාන්ති අක්කා කියලා තිබුණා මෙයා ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ මෙයාගේ නම සත්‍යා කියලා. අන්තිමේ ඔවුන් ඒක පිළිඅරගෙන තිබුණා. ඇත්තටම ගැහැනියෙක් ද පිරිමියෙක් ද කියලත් අහලා තිබුණා.
ඔය අතරේ එක්තරා ගැහැනියක් පිටකොටුවේදී යම්කිසි කලබලයක් කළා. මම ඒ වෙලාවේ වෑන් එකට ගිහිල්ලා සැඟවී සිටියා. ඊට පස්සේ වෑන් එක ළඟට ඇවිල්ලත් වීදුරුව පහත් කරන්න කියලත් මට ඉතාම අමානුෂික ලෙස පරුෂ වචනයෙන් බැණ වැදුණා. මොකද ඇය මාව හඳුනාගෙන නෙමෙයි එහෙම කළේ. මම හිතන්නේ ඒ වෙලාවේ අපේ වාහනවල රියැදුරු මහතුන් පස්දෙනෙක් විතර හිටියා. ඔවුන් තමයි ඇයව එතැනින් මුදාගෙන අරගෙන ගියේ. ඉතින් හරි සජීවීව අත්දැකීම්වලට මුහුණදුන්නා. මොකද ඒ කාලය පුරාවටම මම මාව අමතක කරලා මුහුණ දුන්නා. ඒ වගේ දේවල්වලට මුහුණදෙන්න බලාගෙන තමයි මම මේ චරිතය තෝරාගත්තෙත්. ඒවා දැන් මතක් කරනකොට හරි සුන්දර අත්දැකීම්.
ෂූටින්වලදී මෙහෙම නම් රිලීස් වුණාට පස්සේ මොනවගේ අත්දැකීම්වලට මුහුණදෙන්න වෙයි ද කියලත් හිතුණ වාර ඇති නේද?
ඔව් ඒක මාරයි. චරිතය තුළ ජීවත් වෙනවා කියන්නේ ඒ ආශ්චර්ය විඳින්න පුළුවන් වුණේ එතකොට. මාව හඳුනා නොගැනීම සම්බන්ධයෙන් මම ඇත්තටම සතුටු වෙනවා. පිටකොටුවේ විතරක් නෙමෙයි මුළු සෙට් එක පුරාවටම එහෙමයි. දිල්හානි අක්කාගේ ඉඳලා අනෙක් චරිතත් මාව මුණ ගැසෙන පළමු තත්පර කිහිපය තුළදී ඔවුන් මාත් එක්ක පොඩි සුහද සිනහවක් පාලා ගියා. ධනා මේ ඔයා නේද කියලා දෙවැනි පාර තමයි අහන්නේ. මාව හොයාගන්න බැරිවීමත් මාරයි. නළුවෙක් හැටියට මම බලාපොරොත්තු වෙන්නේ ධනංජයව නොපෙන්වා වෙන චරිතයක් පෙන්වනවා නම් ඒකේ උපරිමයට ආපු අවස්ථාවක් තමයි සත්‍යා.
පවුල ගැන, ආදරය ගැන, අම්මා ගැන නේ මේ නිර්මාණයෙන් කතාබහ වෙන්නේ. ඔබ ඔබේ ජීවිතය දකින්නේ කොහොමද?
මම ඒකට මෙහෙම කියන්නම්. අන්සතු ගැහැනියකුගේ උකුළ මත මා ගෙවා දැමූ ජීවිත කාලය තරම් සොඳුරු සැනසිලිදායී ජීවිතයක් මට කවදාකවත් හම්බවෙලා නැහැ. ඒ අන්සතු ගැහැනිය තමයි මගේ අම්මා. මොකද මගේ අම්මාව අයිතිවෙලා තිබුණේ මගේ තාත්තාට. අම්මා කෙනෙක් සහ දරුවෙක් අතර පවතින ප්‍රේමය අපට වචනවලට පෙරළන්න බැහැ. ඒ තරම් සියුම් ආකර්ෂණීය ප්‍රේමයක්. ඒ ප්‍රේමය අපිට ජීවිත කාලය පුරාවටම වචන කරන්න බැරි ප්‍රේමයක්.
මගේ අම්මා මේ සිනමා පටය නරඹපු වෙලාවේ ඇස්වල කඳුළු තිබෙනවා මම දැක්කා.
අම්මාවරුන්ගේ දිනයේ විශේෂ දර්ශනයක් පවත්වපු දවසේ ධනංජයගේ අම්මා මොනවද ධනාට කිව්වේ?
අම්මා ලස්සනට ලියන සාහිත්‍යකාරියක්නේ. ඇයට මේ චිත්‍රපටය නරඹලා අවසන් වුණාට පසුව වචන නැතිවුණා. දවස් කිහිපයකට පසුව තමයි ඇයගේ හරි ප්‍රකාශනය මට අහන්න පුළුවන් වුණේ. ඉපදෙන්න කලින් මම බලාපොරොත්තු වුණා ඔයාව දුවෙක් හැටියට. එතකොට තාත්තා මට ගෞරී පූර්ණිමා කියලා නමකුත් දාලා තිබ්බා. නමුත් හම්බවුණේ පුතෙක්නේ. අපේ පවුලේ දූවරු නැහැ. අයියලා දෙන්නෙක් සහ මම තමයි හිටියේ. එතකොට ඒ ගොල්ලෝ දුවෙක් නැති අඩුවෙන් හිටියේ. ඉතින් අම්මා කිව්වා පැය දෙකකට හරි මගේ දුව බලන්න පුළුවන් වුණා. පුතෙකුට අම්මා කෙනෙකු ස්තූති කරපු පළමු වතාව ද මන්දා අම්මා කිව්වේ මට මගේ නැතිවුණ දුව ඔයා මට ලොකු තිරයක් මත පෙන්නුවා කියලා. මම හරිම ආඩම්බරයි මගේ පුතා ගැන කියලත් කිව්වා. ඉතින් ඒක මට හරිම ලොකු අගය කිරීමක්.
දැන් මෙච්චර වැඩ කරපු ධනාට ඔබේම වැඩක් කරන්න කාලයත් හරි නේද?
හොඳ අවස්ථාවක් ඔබ ඇහැව්වේ. ටෙලිවිෂන් එක හරහා නම්බර් නයින් සහ සිදාදියේ සමනලියෝ කියන නිර්මාණ දෙක මගේ නිර්මාණ හැටියට ප්‍රේක්ෂකයෝ දැකලා තියෙනවා. දැන් මට ලොකු වුවමනාවක් තියෙනවා සිනමාව තුළ නිර්මාණයක් කරන්නට. දැන් මේ වෙනකොට පිටපත් දෙකක් ලියලා අවසන්. මම ප්‍රාර්ථනා කරනවා ඒ සිහිනයත් මට ඉක්මනින්ම සැබෑ කරගන්න පුළුවන් වේවි කියලා. මම අර කිව්වා වගේ මේ කාලය කැපවෙන්නේ කලාව වෙනුවෙන්මයි. ඒ නිසා බලාපොරොත්තුවක් තිබෙනවා මගේ ටෙලි නාට්‍යයක් වගේම සිනමාවෙත් යමක් නිර්මාණය කරන්න.
දිනේෂ් විතාන
