
මායාවී ටෙලි නාට්‍යයේ පවන පණ නොදන්නා කෙනකු නම් නැති තරම්. ඉතින් ඒ චරිතයට පණ පොවන ඔහු මේ වනවිට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන කඩවසම් රංගන ශිල්පියෙක්. ඉදිරියේදී ඔහුව රිදී තිරයෙන් දකින්න ලැබෙන සුබ ආරංචියත් සමඟින් මෙවර මේ සොඳුරු කතාබහ ඔහු හදගැස්මට එක් කළා. ඔහු නමින් රංගන ශිල්පී හෂාන් රත්නායක.
ඔබේ අලුත් වැඩ කටයුතු කොහොමද?
මේ දවස්වල මායාවී ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සුපුරුදු විධියට කරගෙන යනවා. ඒ වගේම නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඉතින් ඒවාට සූදානම් වෙනවා. ඒ වගේම මට අලුතෙන් සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඉතින් ඒවායෙන් බුද්ධික ගුණදාස අධ්‍යක්ෂණය කරන “සංකිත්‍ය” චිත්‍රපටයෙත්, යසිත වික්‍රමවර්ධන අධ්‍යක්ෂණය කරන “සාරාවී” චිත්‍රපටයෙත් වැඩ කටයුතු පටන් ගත්තා.
පුංචි තිරයේ පවන් හා මංගේෂ්වරී ඉදිරියේදී රිදී තිරයට සාරා හා වගීෂ ලෙස පැමිණීම ගැන කතා කරමු?
ඇත්තටම ඒ සිනමා නිර්මාණයේ නම සාරාවී. ඉතින් ඒකෙ වගීෂ හා සාරා විධියට මමයි සමාධියි රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඒක අලුත් අත්දැකීමක් වෙයි. මායාවී ටෙලි නාට්‍යයේ අපි දෙන්නගෙ රංගනයත් එක්ක පවන් හා මංගේෂ්වරී කියන චරිත ප්‍රේක්ෂකයන් ආදරය කරන චරිත දෙකක් බවට පත් වුණා. මම හිතන්නේ ඒත් එක්ක තමයි මේ සිනමා නිර්මාණය අපි දෙන්නට ලැබුණේ. මායාවී ටෙලි නාට්‍යය වැලඳගත්තා වගේම මේ සිනමා නිර්මාණයත් ප්‍රේක්ෂකයන් වැලඳ ගනීවි කියලා මම හිතනවා. මොකද ඒක මෑත කාලයේ අපි නොදැකපු ටිකක් වෙනස් විධියේ හදවතට දැනෙන ප්‍රේමණීය සිනමා නිර්මාණයක් කිව්වොත් නිවැරැදියි. ඒ වගේම එහි පිටපත කියවපු වෙලාවේ ඉඳලා මම හරිම සංවේදී වුණා. ඒ නිර්මාණයට මගේ උපරිමය දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම සමාධි මේ නිර්මාණයේ මාත් එක්ක එකට රංගනයෙන් දායකවීම මට ලොකු පහසුවක්. මොකද අපි දෙන්නගෙ සංයෝගයත් එක්ක චරිත දෙකට සහ සිනමා නිර්මාණයට හොඳ සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියල හිතනවා.
පවන්ගේ චරිතය වෙනුවෙන් සම්මානයක් හිමි විය යුතුය යන්න ප්‍රේක්ෂකයන් පළ කළ අදහස් ගැන මොකද හිතෙන්නේ?
මම හිතන්නේ එහෙම සම්මානයක් දෙන්න ඕනෑ කියලා රසික රසිකාවියන්ට හිතෙන එක තුළම අපි සම්මානය ලබලා ඉවරයි. ඒ වගේම සුමති සම්මාන උළෙලේ දිනෙන් දින ලිස්ට් එකේ අවසාන දහදෙනා දක්වාම මම ඉහළට යනවා දැක්කා. ඒක මගේ ජීවිතයේ ලොකු සතුටක්. ඒ වගේම අපි මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට ප්‍රේක්ෂකයන්ගේ ආශීර්වාදය ලබන්න ඕනෑ. සම්මානයක් නොලැබුණත් සම්මාන උළෙලකට නිර්දේශ වෙන්න මගේ ලොකු හීනයක් තිබුණා. ඉදිරියටත් ඒ ප්‍රේක්ෂක ආදරයත් එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
අද වන විට ක්ෂේත්‍රයට පැමිණීමට බොහෝ මාර්ග විවරව තිබුණත් නවක පරපුර ක්ෂේත්‍රයේ රැඳෙනවා අඩුයි නේද?
ඇත්තටම බොහෝදෙනකු මඟදී ක්ෂේත්‍රය අතහරිනවා. මුලින්ම අපි කලාක්ෂේත්‍රයට ආදරය කරන්න ඕනෑ. ඒ වගේම හොඳ නිර්මාණ හරහා අපි ප්‍රේක්ෂකයන්ට ළඟා වෙන්න ඕනෑ. නිහතමානීව ප්‍රේක්ෂක ආදරය ආරක්ෂා කර ගැනීමත් ගොඩක් වටිනවා. මොකද අපි කොතරම් නිර්මාණවලට දායක වුණත් ප්‍රේක්ෂකයා අපට පෙරළා ලබාදෙන ආදරයට අපි ගරුත්වයක් ලබා දෙන්න ඕනෑ. අපි කොතරම් නිර්මාණ කළත් ප්‍රේක්ෂකයන් ආදරය කරන චරිතයක් වෙන්න ටිකක් අමාරුයි. මම හිතන්නේ ඒ ආදරයත් එක්ක තමයි මේ කලා ක්ෂේත්‍රයේ රැඳීම තිබෙන්නේ. ක්ෂේත්‍රයට හදවතින්ම ආදරය කරන්න පුළුවන් නම් එතැනම රඳා පැවැත්මක් තිබෙනවා. ඒ වගේම අපි ගුණාත්මක නිර්මාණ කරන්න ඕනෑ. ඒ චරිත වෙනුවෙන් කැප වෙන්න ඕනෑ. ඉතින් අපි යා යුතු මඟ හරියට තෝරාගෙන කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා නම් එතැනම රඳා පැවැත්මක් තිබෙනවා. නමුත් ඒක දවසෙන් දෙකෙන් කරන්න බෑ. මමත් හරි හෙමින් ගමනක් ආපු කෙනෙක්.
ඔබට ලැබෙන ප්‍රේක්ෂක ආදරය දැනෙන්නේ කොහොමද?
ඇත්තටම මායාවී ටෙලි නාට්‍යයේ පවන්සිරිගේ චරිතය හරහා තමයි මට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්න පටන් ගත්තේ. ඒ හරහා ගොඩාක් අවස්ථා ලැබෙන්න පටන් ගන්නවා. ඇත්තටම ප්‍රේක්ෂකයන්ට හෂාන් කියන නම දැන් අමතක වෙලා තිබෙන්නේ. මොකද පවන්සිරි, පවන පණ කියන නම්වලින් තමයි මාව හඳුන්වන්නේ. විශේෂයෙන් මායාවී ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා, පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චිට ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඉතින් පවන්සිරි කියන චරිතයට මම හරි ලෝබයි. මාව පවන පණ කියලා හඳුන්වනවාට මම හරි ආසයි. මොකද ඒ වචනය මට ආශීර්වාදයක්.
නවක පරපුරේ යම් රංගන ශිල්පීන් ශිල්පිනියන් වගකීම් විරහිතව වැඩ කිරීම නිර්මාණයට කොතරම් බලපානවද?
ඇත්තටම එයින් ලොකු බලපෑමක් තිබෙනවා. නිර්මාණයක් පහළට වැටෙන්න ලොකු බලපෑමක් තිබෙනවා. නිර්මාණයකට කෙනකු තෝරා ගැනීමේදීම ඒ කෙනා ගැන ලොකු විශ්වාසයක් තියලනේ තෝරා ගන්නේ. ඉතින් ඒක එක එක අයගේ පෞද්ගලික හේතු මත සිදුවනවා. ඒ හේතු සාධාරණ වෙන්න පුළුවන්, අසාධාරණ වෙන්න පුළුවන්. පෞද්ගලික හේතු මත නිර්මාණයකින් ඉවත්වීම හෝ අතරමඟ නිර්මාණයෙන් ඉවත්ව යෑමක් වෙන්න පුළුවන්. මිනිසුන් විධියට ඒ වගේ දේවල් අපි හැමෝටම වෙන්න පුළුවන්. නමුත් මොන ප්‍රශ්නය ආවත් අපි කරන වෘත්තියට හානියක් නොවන විධියට ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනෑ.
ඔබේ පෙනුම ගැන ප්‍රේක්ෂකයන් විශේෂයෙන් අදහස් පළ කරනවා?
ඒ ගැන ගොඩක් සතුටුයි. බොහෝදෙනකු මම මෙහෙ නෙවේ ඉන්න ඕනෑ ඉන්දියාවේ කියලා කියනවා. එක එක ප්‍රේක්ෂකයන් විවිධාකාර විධියට මාව දකිනවා. මම ඉන්දියන් සංස්කෘතියට ගොඩක් ළැදි කෙනෙක්.
ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම?
අපි තෝරගන්න ඕනෑ අපේ ජීවිතය බෙදා ගන්න පුළුවන්, අපට එකට ජීවත් වෙන්න පුළුවන්, එකිනෙකාට ගරු කරන අයයි. විශේෂයෙන් මම මෙහිදී වෘත්තීන්වල ඝට්ටනයක් දකිනවා. ඉතින් අපි හැමවෙලේම එහෙම නොකර එකිනෙකාගේ ජීවිතවල අරමුණුවලට ආදරය කරන්න ඕනෑ. තමන්ගේ සහකරු හෝ සහකාරිය ඉන්න තැනට වඩා ඔසවා තබන්න පුළුවන් නම් එතැන හොඳ ආදරයක් එක්ක හොඳ තෝරාගැනීමක් තිබෙනවා කියලා මම හිතනවා. ඒත් එක්කම අපට විවාහයකට යන්න පුළුවන්. අද හඳුනාගෙන හෙට විවාහ නොවී ටික කාලයක් ආශ්‍රය කරලා දෙදනා හඳුනාගන්න ඕනෑ.
