එදා මට ලැබුණු ආදරය අද මම බෙදනවා-සංජය වීරසිංහ

gossiplanka image 2
 


රූපවාහිනි මාධ්‍ය මෙරටට පැමිණෙන්නේ අධ්‍යාපන මාධ්‍යයක් ලෙසයි. එහෙත් එම මාධ්‍යයට ටෙලි නාට්‍ය සම්බන්ධ වූ පළමු මොහොතේදීම “ළා හිරු දහසක්” නමින් රූපවාහිනියේ විකාශය වූ ප්‍රථම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකින්ම ඔහු ඔබ හමුවට පැමිණීමේ වරම් හිමි කර ගත්තේය. ඔහු අන් කවරකුවත් නොව අමිත්ත සංජය වීරසිංහයි. මොහු අද වන විට වයසින් පමණක් නොව සුවිසල් අත්දැකීම් සමූහයකින්ද පරිණත වූ ප්‍රවීණ රංග වේදියෙකි. මේ දිනවල “රොන් සොයා” ටෙලි නාට්‍ය තුළින් අප හමු වන මොහු “හදගැස්ම” කතාබහ සමඟ එක් වූයේ මේ අයුරින්ය.


“රොන් සොයා” ටෙලි නාට්‍යයේ චරිතය පිළිබඳ කතාබහ කරමින්ම මේ කතාබහ ආරම්භ කරමු?


මම පහුගිය කාලය පුරාම රඟපෑමෙන් ඉවත් වෙලා තමයි හිටියේ. ඒකට හේතුව මම මෙගා නාට්‍යවලට කැමැති නැහැ. හැබැයි ඒකෙන් මට අවාසියක් සිද්ධ වුණා. ඒ තමයි වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අලුත් අය මාව හඳුනන්නේ නැහැ. ඒ නිසාමයි මම තීරණය කරන්නෙ ලැබෙන ලැබෙන චරිතය ප්‍රතික්ෂේප කරන එකට වඩා හොඳයි හදිසියේ හෝ මේ වගේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න.


මෙවැනි අලුත් නිර්මාණවලට සහභාගි වුණාම නවකයන්ගේ පිළිගැනීම කොහොමද?


දැන් ඔබ හිතනවා ඇති අමිත්ත වීරසිංහ රූපගත කිරීම් කරන ස්ථානයට ගියාම අලුත් අය හොඳට කතාබහ කරනවා ඇති කියලා. එහෙම නැහැ. ඒ රඟපාන අලුත් දරුවො අපිව හඳුනන්නෙවත් නැහැ. මම “රොන් සොයා” එකේ රඟපාන්න ගිය පළමු වැනි දවසේ ඒකෙ රඟපාන අලුත් දරුවෙක් මගෙන් අහනවා මීට කලින් රඟපාල තියෙනවද කියලා. මම කිව්වා නැහැ කියලා. ඉතින් ඒ ළමයි මම ගැන එහෙම හිතාගෙන ඉන්නවා. එහෙම ඉන්න එක හරිම විනෝදජනකයි.


චරිතය වෙනුවෙන් රසිකයන්ගෙන් ලැබෙන්නෙ මොන වගේ ප්‍රතිචාරද?


ඉතාමත් හොඳයි. රසිකයන්ගෙන් ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒත් මගේ රඟපෑම ගැන මට තෘප්තියක් නැහැ. වර්තමානයේ තිබෙන මේ චරිත ඇතුළත කලාව නැහැ. ඒක මම දන්නවා. ඒ නිසා හිතට එකඟව රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර විඳින්න මට හැකියාවක් නැහැ.


පුංචි තිරයට එන ආධුනික රංගන ශිල්පියකුට වඩාත් ගැළපෙන්නෙ කවරාකාරයේ ටෙලි නාට්‍යයද?


අලුතින් කලාවට එන දරුවන්ට මෙගා නාට්‍ය ගැළපෙන්නෙ නැහැ. එයාලට නමක් හදාගන්න තමන්ගෙ චරිතය හදාගන්න ගැළපෙන්නෙ සීමිත කොටස් සහිත ටෙලි නාට්‍ය. එහෙම නාට්‍යවල රඟපෑමෙන් විතරයි චරිත කරන්න පුළුවන්. මේ කාලෙදි විතරක් නොවෙයි මගේ කාලෙදිත් මේ දෙය මේ අයුරින් සිද්ධ වුණා. උදාහරණ ලෙස කෝපි කඩේ ගැන කතා කළොත් කෝපි කඩේ රඟ පෑ ශිල්පීන් එතැනින් එහාට ගියේ සීමිත පිරිසක් විතරයි. අනෙක් අය කෝපි කඩේම නැවැතුණා. ඒ නිසා අලුත් අයට මම කියන්නෙ දුෂ්කර පාරක් තෝරා ගන්න කියලයි. වේදිකාව, සිනමාව නම් වඩාත් හොඳයි. ඒ තුළින් තමයි තමන්ට තමන්ව ගොඩනඟා ගන්න හැකි වෙන්නෙ. මෙගා නාට්‍යවලට සම්බන්ධ වීමෙන් කලා ශිල්පීන් බිහි වෙන්නෙ නැහැ. රූපණය කරන කණ්ඩායමක් පමණයි බිහි වෙන්නෙ. ඉතින් එයින් පසුව වෙන්නෙ වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වීම පමණයි.


වර්තමානයේදී බොහෝ ප්‍රවීණයන්ගේ මුවගින් සිනහව ගිලිහී යනවා. එහෙත් ඔබ එදා මෙන්ම අදත් සිනාමුසු මුහුණෙන්. එහි රහස?


රඟපෑමේදී විතරක් නෙවෙයි ජීවත් වෙද්දිත් වැදගත් දේ තමන්ගේ සිනහව පරිස්සම් කර ගැනීමයි. එක්තරා යුගයක මේ ප්‍රවීණයන්ගෙ නාමයන් සියල්ලක්ම දිදුලන තත්ත්වයට පත්වෙලා තිබුණා. මගේ පරම්පරාව නියෝජනය කළ බොහෝ රංගන ශිල්පීන් දිදුලන තරු බවට පත්වුණා. එහෙත් අද ඔවුන් බොහෝදෙනා තනිකමෙන්, පාළුවෙන් හුදෙකලා වෙලා ජීවත් වෙනවා. අනාගතයේ දවසක මෙහෙම වෙයි කියන එක බොහෝ අයට එදා තේරුම් ගියේ නැහැ. එවිට වෙන්නෙ ඔවුන්ගෙ මුහුණෙ සිනහව අතුරුදන් වීමයි. මම ඒ ගමන්මඟ වෙනස් කරගත් කෙනෙක්.


මට එහෙම වෙනස් වෙන්න හේතු වුණේ  මට කලින් පරම්පරාවල අයගෙ නොසැලකිලිමත් බව නිසා අවසාන කාලයේ ඔවුන් දුකට පත්වන අවස්ථා මම දැක්කා. එහිදී මම කළේ මගේ දිදුලන සමයේ උපයාගත් සෑම වත්කමක්ම ආයෝජනය කිරීම. එහෙම ආයෝජනය කළ නිසා මම වයසට යද්දි රඟපෑම නැති වුණාට කරන්න ඕනෑ තරම් දේවල් තියෙනවා.


පොත් ලියන්න විතරයිද කැමැති. හොඳ තිර පිටපතක් ලියන්න ආසාවක් නැද්ද?


මට එහෙම හිතෙන එකක් නැහැ. ආරාධනාවක් ලැබුණත් මම පිටපතක් ලියන එකක් නැහැ. එයට හේතුව මේ සමාජය තුළ කලාත්මක නිර්මාණවල රසවින්දනය අඩු වීම. මේ සමාජයේ ජීවත් වන මිනිස්සු බොහෝ දෙනා තමන්ට ලැබෙන කෑම – බීම, ඇඳුම් – පැලඳුම් පිළිබඳව කිසිම තෘප්තිමත් බවක් නැහැ. එහෙම තෘප්තිමත් බවක් නැති මිනිසුන්ගේ හිත්වලට තෘප්තිමත් බව බලහත්කාරයෙන් හැදුවට වැඩක් නැහැ. එතකොට ඒවා එයාලගෙ ඔළුවට යන්නෙ නැහැ. එවැනි මිනිසුන්ගේ සතුට තිබෙන්නේ පොඩි පොඩි තැන්වල. එහෙම අයට ගුණාත්මක චිත්‍රපට, ටෙලි නාට්‍ය පිටපත්වලින් සතුටක් ලැබෙන්නෙ නැහැ. එහෙම සතුටක් නොලැබෙන නිසා රසිකයන්ගෙන් ආදරය ලබන්නත් බැහැ.


රංගවේදියෙක් ලෙස පැමිණි ගමන්මඟ ගැන ඔබ තෘප්තිමත්ද?


අපේ පරම්පරාව නියෝජනය කරන බොහෝදෙනා නඟන මැසිවිල්ලක් තමයි වර්තමානයේ ඉන්න අය එක්ක රඟපෑමෙන් කිසිම තෘප්තියක් ලැබෙන්නෙ නැහැ, වැඩිහිටියන්ට සලකන්න දන්නෙ නැහැ කියන දෙය. ඒ දරුවන් අපට එහෙම සලකන්නෙ ඒ දරුවන්ට අවශ්‍ය ආදරය අපෙන් නොලැබෙන නිසා වෙන්න පුළුවන්. මට එහෙම නැහැ. මම මේ ක්ෂේත්‍රයට පැමිණෙද්දී මෙහි හිටපු ප්‍රවීණයන් මාව පිළිගත්තෙ, කතා කළේ හරිම ආදරයෙන්. එදා මට ඒ ලැබුණු ආදරය අද මම අනෙක් අයට බෙදනවා. එහෙම වුණාම පරම්පරා දෙක අතර ගැටුම් නැහැ. නිතර සතුටෙන් කතාබහ කරලා ඉන්නවා. එහෙම වුණාම තරුණ පරම්පරාව නිවැරැදි කරන්න අපට පහසුයි. සුහදව ගනුදෙනු කරන විට අපි කියන දේ අලුත් අය අහනවා. මම අද දවස වෙනතෙක්ම ආව ගමන ගැන ගොඩක්ම තෘප්තිමත් වෙන්නෙ මේ කාරණාව නිසා.


ප්‍රවීණයෙක් ලෙස තරුණ පරපුරට දෙන හොඳම අවවාදය?


තමන් තුළින් තමන් ගොඩනැඟෙන්න ඕනෑ. මෙහි කොටස් දෙකක් තියෙනවා. එහිදී හඬ, ශරීරයේ ස්වභාවය, ව්‍යායාම, ශරීරය නඩත්තු කිරීම හොඳින් කළ යුතුයි. අනෙක තමයි ආධ්‍යාත්මිකව වර්ධනය වීම. එහිදී ආකල්ප වර්ධනය කර ගැනීම වැදගත් වෙනවා. තමන්ට ලැබෙන අවස්ථාවට සාධාරණයක් එක් කරන්න.


අනාගතයේදී ඔබව හමුවෙන නිර්මාණ පිළිබඳ කතා කරමින් මේ කතාබහ අවසන් කරමු?


මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට සහ ටෙලි නාට්‍ය දෙකක් පමණ ඉදිරියේදී ඔබ හමුවට පැමිණීමට තියෙනවා.


අරුණි ජයසේකර

gossiplanka image 1
Previous Post Next Post