නිර්භීත වීම අවශ්‍යයි ඒත් ලැජ්ජා නැති වැඩ නොකළ යුතුයි -හඳගමගේ

gossiplanka image 2
 


සිනමාව හුදෙක් විනෝදාස්වාදයක් ලෙස පමණක් නොව, සැඟවුණු අසාධාරණකම්, සාමූහික කම්පන සහ පෞද්ගලික සංකූලතාවන්ට මුහුණදෙන විවේචනාත්මක කාචයක් ලෙසද යොදාගත හැකිය. මෙම අදහස තවදුරටත් ගවේෂණයේදී කැරැලිකාර සිනමාකරුවකු වන අසෝක හඳගම තීරණාත්මක චරිතයකි. දකුණු ආසියානු සිනමාවේ නිර්භීත හඬක් වන හඳගමගේ කෘති කතන්දර කීමේ, සදාචාරයේ සහ සමාජ හෘද සාක්ෂියේ සීමාවන්ට නිරන්තරයෙන් අභියෝග කරයි. ඔහුගේ ප්‍රශංසනීය චිත්‍රපට බොහොමයක් සමාජ කතිකාවක් ඇති කළා පමණක් නොව, ප්‍රධාන ධාරාවේ නිහඬව තිබූ බොහෝ මාතෘකා පිළිබඳ සංවාදද ආරම්භ කළේය. මේ ඒ සමාජ සංවාදය ගැන හඳගමගේ අදහසයි.


සිනමාව යනු සමාජයේ නොපෙනෙන මානයන් සහ පුද්ගල මනසේ යටිතලය ප්‍රශ්න කළ හැකි මාධ්‍යක් කියලා හිතන්න ගත්තේ කොතැනින්ද?


සිනමාව පමණක් නොවේ. මම කලාකරුවෙක් ලෙස විවිධ මාධ්‍යයන් ඇසුරු කරනවා. විවිධ කලා මාධ්‍යයන්ගේ නිරත වනවා. කවි ලියනවා, චිත්‍ර අඳිනවා, නාට්‍ය කරනවා, ටෙලි නාට්‍ය කරනවා. ඒ අතර තමයි සිනමාවත් එන්නේ. කලාකරුවෙක් කියන්නේ සමාජය ගැන පුළුල් දැනුමක් තිබෙන කෙනෙක් කියලා අපි හිතනවානේ. එහෙම හිතන අයුරින් ගත්තහම, සමහරුන්ට සිනමාව පිළිබඳ හොඳ දැනුමක් තිබෙනවා. ඒ නිසාම දැනුම පාදක කරගෙන සිනමා තාක්ෂණයේ, සිනමා ව්‍යාකරණයේ තිබෙන දේවල් ඔස්සේ ගිහින් සිනමා නිර්මාණ කරනවා. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවේ විද්‍යාව අංශයෙන්. රැකියාව කළේ මහ බැංකුවේ. රස්සාව සඳහා මට ආර්ථික විද්‍යාව විෂයක් ලෙස ඉගෙන ගැනීමට සිදු වනවා.


මෙම ධාරාවන් සියල්ල මගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වනවා. මේ ධාරාවන් හරහා මට ලෝකය, සමාජය පිළිබඳ වෙන අවබෝධයක් වෙන කවුළුවක් විවෘත වනවා. ඒ ඔස්සේ මම සමාජය දකිනවා. සමාජය කියවනවා. ඒ ඔස්සේ සමාජය පිළිබඳ ප්‍රකාශයක් මගේ හිතේ ඇති වෙනවා. ඒ ප්‍රකාශය කරන්න තමයි මම ඕනෑම කලා මාධ්‍යයක් භාවිත කරන්නේ. ඒ සමාජ කියවීම මට හමුවෙන්නේ ජීවිතයෙන් සහ එම විෂයන් ගැන තිබෙන අධ්‍යයනයේ ප්‍රතිඑලයක් ලෙසයි. සිනමාව නැරඹීමෙන්, සිනමා කෘති කිරීමෙන් ලබා ගත් අත්දැකීම් ඔස්සේ සිනමාව සම්බන්ධයෙන් දැනුමක් එනවා. මේ සියල්ලේ සංකලනයක් ලෙස මගේ සිනමා නිර්මාණ ගොඩනැඟෙනවා.


ඔබගේ සිනමාව ඔබ හඳුන්වන්නේ නිර්භීත සහ එඩිතර සිනමාවක් කියලද? සිනමාකරුවකු වීමට එඩිතර බව, නිර්භීත බව අවශ්‍යද?


නිර්භීත වීම අවශ්‍යයි. නමුත් ලැජ්ජ නැති වැඩ නොකළ යුතුයි. නිර්භීතකම කියන්නේ සමාජය කියවීමයි. සමාජය කියවනකොට චෝදනාවන්, විවේචන සම්බන්ධ‍‍යෙන් මම සැලකිලිමත් නැහැ. එහෙම සැලකිලිමත් නොවී මම මගේ ප්‍රකාශය කරන්න කැමැතියි. මම ‘ඉනි අවන්’ චිත්‍රපටය කරද්දි යුද්ධය අවසන් වුණා විතරයි. යුද්ධයෙන් පසු බිහිවන සමාජය ගැන මම යාපනයට ගොස් එහි පරිසරය තේරුම් ගනිමින් සහ මිනිසුන් හමුවී ඔවුන් සමඟ කතාබහ කරමින් අධ්‍යයනය කළා. එවිට එම සමාජය ගමන් කිරීමට නියමිත දිශාව ගැන මට අවබෝධයක් ආවා. එම අවබෝධ  කරගත් දිශාව ඔස්සේ තමයි ‘ඉනි අවන්’ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. එම චිත්‍රපටයට විවිධ විවේචන ආවා. යාපනය සමාජය ‘ඉනි අවන්’ චිත්‍රපටය තුළ නිරූපිත  ආකාරය බොහෝ විවේචනයට ලක්වුණා. මට අනුව ඒ සියල්ල පුහු විවේචන. වසර කිහිපයකට පසු විද්‍යා දැරිය දූෂණය කොට ඝාතනය වූයේ ‘ඉනි අවන්’ චිත්‍රපටයේ


කාන්තා චරිතය දූෂණය කොට දමා යන දර්ශන තලයේමය. එයින් ගම්‍ය වන්නේ යාපනය සමාජය තුළ ඉතිරි විය හැකි ම්ලේච්ඡත්වය සම්බන්ධයෙන් මම සිතූ දිශාව නිවැරැදි බවයි. මෙය මට එල්ල වූ  එක විවේචනයක් පමණයි. අක්ෂරය චිත්‍රපටය ගත්තත් ඒ දවස්වල අක්ෂරය චිත්‍රපටයට එල්ල වූ විවේචන අද එල්ල වෙන්නේ නෑ. එවැනි දැක්මක් අවශ්‍ය බව මම විශ්වාස කරනවා.


රාණි චිත්‍රපටය මෙතරම් විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් නැරඹීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?


රාණි චිත්‍රපටයටත් විවිධ විවේචන ආවා.  ඒ චිත්‍රපටයේ මනෝරාණිගේ රිචඩ්ගේ ළඟින් ආශ්‍රය කරන පුද්ගලයන් සහ සිනමා විචාරකයන්ගේ විවිධ විවේචන ආවා. ඔවුන් චෝදනා එල්ල කළා මේක ඇත්ත කතාව නෙවෙයි කියලා. මම කළේ අපි කවුරුත් දන්න ඇත්ත සිදුවීම් පාදක කරගෙන ප්‍රබන්ධ‍යක් නිර්මාණය කිරීමයි. ඒ  ප්‍රබන්ධ‍ය කිසියම් විධියකට අපි හැමෝටම පේන සත්‍යයට වඩා සත්‍යයක්. ඒ සත්‍ය දකින්න ඉඩප්‍රස්තාව දීම තමයි මම කරන්නේ.


ප්‍රේක්ෂකයා ඔබ කියන මේ කාරණය නිවැරැදිව අවබෝධ කර ගත්තා කියලා සිතනවාද?


ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටයත් සමඟ යළිත් මේ සිදුවීම ගැන කම්පා වුණා කියලා මම හිතනවා. ප්‍රේක්ෂකයන්ගේ සිතට යම් බලපෑමක් වුණා නම්, මේ යුගයේ අත්දැකීම් නොලැබූ පරම්පරා පවා මෙම චිත්‍රපටය හරහා මෙම සිදුවීම ගැන කම්පා වුණා නම්. මම ඒක යහපත් දෙයක් ලෙස දකිනවා. මම තරුණයෙක් ලෙස මෙම සිදුවීම් අත්දැක්කා. ඒ අත්දැකපු දේ ඒ ආකාරයටම නෙවෙයි අද තේරුම් ගන්න වෙන්නේ. ඒක තේරුම් ගන්න වෙන්නේ වෙන ආකාරයකින් වෙන සංදර්භයක් තුළ. ඒ කියවාගැනීමට අවශ්‍ය විවෘත වීම්  කෘතිය තුළ  තිබිය යුතුයි යන්න මම විශ්වාස කරනවා. මෙම සිදුවීම සිදුවන කාලවකවානුව තුළ මම චිත්‍රපටකරුවෙක් බවට පත් වනවා. 1993දී මම ‘චන්නකින්නරී’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. ඒ අත්දැකීම ආසන්නයේම තරුණ‍‍යෙක් ලෙස මම මේ චිත්‍රපටය නිර්මාණය කළා නම් අද මා අතින් නිර්මාණය වන්නේ අද නිර්මාණය කරපු රාණි චිත්‍රපටය නොවන්න තිබුණා. ඒ වෙනුවට අද මා තුළ ඉන්නේ වෙනස් වෙච්ච සමාජයක් එක්ක ඉස්සරහට ආපු, වයසට ගිය, වැඩුණු මනුස්සයෙක්. ඒ වයසක මනුස්සයාගේ දැක්ම තමයි රාණි චිත්‍රපටය තුළ තිබෙන්නේ. සමහරු එදා දැකපු කෝණයෙන්මයි අදත් බලන්නේ. මම දකින්නේ ඊට වඩා වෙනස් ආකාරයකට. ඒ නිසයි මෙතරම් විවේචන එල්ල වෙන්නෙත්.


යම් සංදර්භයක් පිටතින් නොසිට සංදර්භය තුළට ගමන් කරමින් යළි එය දිගහරිමින් සමාජයට ගෙන යෑමද? චිත්‍රපටයකින් සිදුවන්නේ?                


ඕනෑම කලා නිර්මාණයක් එහෙමයි. සිනමා කෘතියක් කරන්න කලින් එම සමාජය ඇතුළට ගොස් දැකීම වැදගත් වනවා වගේම එම සිදුවීමට පරිබාහිරව සිට එම සිදුවීම දැකීමත් වැදගත්. පෙරහර ඇතුළෙ සිට නැට්ටුවෙක් දකින දර්ශනයට වඩා වෙනස් දර්ශනයක් පෙරහර නරඹන කෙනා දකිනවා. මේ දෙකේම සංකලනයක් තමයි කලා නිර්මාණයකට වැදගත් වන්නේ. සමාජයට නිර්මාණයක් ඉදිරිපත් කරන විට එය පුළුල් දැක්මක් සහිත නිර්මාණයක් විය යුතුයි.


සිනමාවෙන් හෝ කලාවෙන් මිනිසා තුළ ම්ලේච්ඡත්වයව ඇති නැඹුරුව ප්‍රශ්න කිරීම වැදගත්ද?


මගේ ඇල්බොරාදා චිත්‍රපටයට පාදක වූ චරිතය ලෝක ප්‍රසිද්ධ කවියෙක්. ඔහුගේ නිර්මාණ ලෝක සමාජයක් රසවිඳලා තිබෙනවා. පැබ්ලෝ නෙරුදා ඔහු චිලියානු විප්ලවයට යම් කිසි ආකාරයකින් දායක වූ පුද්ගලයෙක්. ඇල්බොරාදා චිත්‍රපටය ලංකාවේ ජීවත් වූ කාලවකවානුව තුළ ඔහුගේ මානසික සහ චිත්තවේගීය අත්දැකීම්, විශේෂයෙන් “සක්කිලි” කුලයට අයත්, ස්පර්ශ කළ නොහැකි යැයි සැලකෙන දෙමළ කාන්තාවක් කෙරෙහි ඔහු තුළ ඇති වන ලිංගික ආකර්ෂණය ඇයව දූෂණය කිරීම දක්වා වර්ධනය වන ආකාරය ගවේෂණය කරනවා. නමුත් ඒ කතා සංදර්භයට අදාළ සිදුවීම ඒ කාලවකවානුව තුළ අපරාධයක් ලෙස නොදැක්කා විය හැකියි. නමුත් මෙම චිත්‍රපටය පදනම් වී ඇත්තේ නෙරූ ගේම මතක සටහන් මතයි.


ඒ තුළ තිබෙන්නේ තමන්ගේ හෘද සාක්ෂිය ගැලවෙන්න බැරි කමයි. මෙම චිත්‍රපටයට අදාළ සිදුවීම සිදුවන්නේ 1929දී. ඔහු මේ පිළිබඳ සටහන් තබන්නේ 1971දී පමණි. මේ කාල පරාසය තුළ ඔහු වැඩුණු පුද්ගලයකු ලෙස මෙම සිදුවීම පිළිබඳ එදා නොදැක්ක අපරාධයක් පිළිබඳ හැඟීමක් ඔහුට තිබෙන්නට ඇති. පශ්චාත්තාපයක් ඒ තුළින් ගොඩනැඟෙන්න ඇති. අද සක්කිලි කියා ජන කොටසක් නැහැ. අද සියලු සේවා වෘත්තීන් බවට පත් වී තිබෙනවා. මිනිසුන් සමාජයක් ලෙස දියුණු වෙලා තිබෙනවා. සමාජ පරිවර්තනයක් සිදුවී තිබෙනවා. ඒ දියුණුව තුළ සිට නැවත හැරී බලන කොට මේක අපරාධයක් ලෙස දකිනවා. එදා මෙය අපරාධයක් ලෙස නොදකින්නේ සමාජය ශිෂ්ට සමාජයට ගමන් කොට නොතිබූ නිසයි. වර්තමානයේ සිට ආපසු හැරී බැලීම තුළයි මෙය අපරාධයක් ලෙස පෙනෙන්නේ. අද මේ කතාව කීමේ වැදගත්කම එයයි.

gossiplanka image 1
Previous Post Next Post