මං සිනමාව නිසා මාෂල් ආට්ස්වලට ගොඩක් ප්‍රිය කරපු කෙනෙක් -දිව්‍යශාරිකා බ්‍රෙන්ඩන්

gossiplanka image 1
 

දිව්‍යශාරිකා බ්‍රෙන්ඩන් කියන්නේ වේදිකාව පුංචි තිරය වගේම සිනමාවේත් අපිට හමුවෙන දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය දක්ෂ නිවේදිකාවක් සහ ක්‍රීඩිකාවක්. මෙවර පැවති 52 වන රාජ්‍ය නාට්‍ය උලෙළේ දී ඇය වේදිකාවේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා. අද අපේ කතාබහට එක්වන්නේ ඇයයි.


රාජ්‍ය නාට්‍ය උලෙළේ දී ලද අගැයීමෙන්ම කතාව පටන් ගනිමු?


මෙවර පැවති 52 වන රාජ්‍ය නාට්‍ය උලෙළේ දී හොඳම නිළිය බවට පත්වෙන්න අවස්ථාව ලැබුණා. එතැනදී මගේ පිටුපස ලොකු හයියක් වුණු බොහෝ පිරිසක් හිටියා. මට මේ සම්මානය ලැබුණේ ‘දුක්ගිනි සින්ඳන’ නාට්‍යයේ එන ‘ධාරා‘ගේ චරිතයට.


නාට්‍ය රචනා කළේ නව පරපුරේ නාට්‍ය රචකයෙක් වන රවිඳු සම්පත් වික්‍රමසේකර. අධ්‍යක්ෂණය ඉසුරු සඳරුවන් ගුණවර්ධන. ඔහුත් එක්කයි මට රඟපාන්න ලැබුණේ. මේ වටා හිටිය කණ්ඩායමේ කැපවීම සහ මහන්සියේ ප්‍රතිඵල නිසා මට හොඳම නිළිය සම්මානයත් නාට්‍යයට හොඳම නාට්‍යය සම්මානයත්, හොඳම රචනයත්, හොඳම අධ්‍යක්ෂණයටත් සම්මාන හිමිවුණා. ‘දුක්ගිනි සින්දන‘ නාට්‍යයට වචනයකින් හරි උදවු කරපු හැමෝවම මං මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.


වේදිකාව පුංචි තිරය සහ සිනමාව යන අංශ තුනෙන් වැඩිම කැමැත්ත මොකකටද?


මට එහෙම එකක් තෝරන්න අමාරුයි. මම එන්නේ වේදිකාවෙන්. නමුත් මාව හදපු, මාව ජීවත් කරවන තැන් තුනක් මේ. ඒ නිසා මම මේ අංශ තුනටම එක වගේ කැමතියි.


ඒත් එක්කම අමතක කරන්න බෑ ඔබේ කරාතේ දස්කම්. ඒ වගේ පැත්තකට යොමුවෙන්නෙ කොහොමද ?


පොඩි කාලේ ඉඳන්ම සිනමාව නිසා මාෂල් ආට්ස්වලට ගොඩක් ප්‍රිය කරපු කෙනෙක් මං. පාසල් යන කාලේ ඉගෙනීමට විතරමයි මුල් තැන දුන්නේ. මට ඕනේ වුණේ රෑන්ක් එකක් අරගෙන විශ්වවිද්‍යාලයට යන්න. ඒ නිසා බාහිර වැඩ කළේම නැහැ. පස්සේ මම මුලින්ම යොමු වුණේ ‘වුෂූ තයිචි‘ සඳහා.


ඒත් මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ඒක දිගටම කරගෙන යන්න බැරි වුණා. ඊට පස්සේ මං බොක්සිං පැත්තට යොමු වුණා. ඊටත් පස්සෙයි කරාතේ පැත්තට යොමු වුණේ. මේ හැමදේම ලැබුණේ සිනමාව නිසා.


රංගනයට, ක්‍රීඩාවට පමණක් නෙවෙයි නිවේදනයටත් ඔබ දක්ෂයි. ඇත්තටම ඔබේ දැක්ම මොකක් ද ?


මං ඕනම දේකට යොමු වෙද්දී මේ මට ලැබුණු හොඳම අවස්ථාව කියල හිතනවා. ඒක වේදිකා නාට්‍යයක්, ටෙලි නිර්මාණයක් හෝ සිනමාව වෙන්න පුළුවන්. ඒ වගේම නිවේදනය කරද්දී මට දැනෙන්නේ මේ මගේ ජීවිතේ කියන එක. ඒ නිසා මම කරන දේ හරියට කරන්න ඕනේ. මම කරන දේ තුළ අග, මුල දැනගෙන, එහි දිග පළල දැනගෙන වැඩ කරන්න ආසයි. මගේ අරමුණ වෙන්නේ මම කරන දේ තුළින් වටිනාකමක් සහ අලුත් දෙයක් මගේ ජීවිතේට එකතු කර ගන්න එක.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?


තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කරන රාවණ සිනමා නිර්මාණය එන්න තියෙනවා. එහි තව රූපගත කිරීම් කොටසකුත් තියෙනවා. සුපුන් රත්නායකගේ විලම්භීත නාට්‍යය, රංගන ප්‍රේමරත්නගේ ජැෆ්නාදරය. චන්දන ඉරුගල් බණ්ඩාරගේ පිරිනිවන් කන්ද පාමුල නාට්‍ය මේ දිනවල රූගත කෙරෙනවා. මේ නිර්මාණ ඉදිරියේදී බලන්න ලැබෙයි.


චරිතයක් භාර ගන්න කලින් මොනවාද බලන්නෙ?


චරිතයක් තුළ ජීවත් වෙන්න. ඇත්තටම මම ආසයි තව ඉගෙන ගන්න. ඒ නිසා මට ඒ පිටපත දැනෙන්න ඕන. එහෙම දැනුණේ නැත්නම් අපි ෆේල් වෙන්න පුළුවන්. ඒනිසා මම කැමැත්තෙන්ම භාර ගන්නේ මට දැනෙන පිටපත්.


ඔබේ සාර්ථකත්වය පිටුපස ඉන්නෙ කවුද කියලත් කියමු?


මගේ සාර්ථකත්වය පිටුපස ඉන්නේ මගේ ආදරණීය පවුල. එයාලා තමයි මගේ එකම හයිය. මගේ අම්මායි, නංගිලා දෙන්නයි, ආච්චියි. ඒ එක්කම මගේ සැමියා තරිඳු කැප්පෙටියාවත් මතක් කරන්න ඕනේ. ඔහුත් ඔහුගේ පවුලේ අයත් මට ලොකු ශක්තියක් වෙනවා මේ ගමන එන්න.


අනාගත බලාපොරොත්තු මොනවද ?


මම කැමතිම දේ මානසික නිදහස සහ මානසික සතුට. ඒ නිසා මොන බලාපොරොත්තු තිබ්බත් මානසික සහ නිදහස සතුට නැත්නම් වෙන මොනදේ ලැබුණත් වැඩක් නැහැ.

gossiplanka image 2
Previous Post Next Post