හැටේ දශකයේ සිනමාවට පිවිසි ප්‍රවීණ රංගවේදිනී සුවිනීතා වීරසිංහ ‘සුදු සඳේ කළු වලා ‘සුදෝ සුදු’, ‘සමාජේ අපි ඔක්කොම සමානයි’ වැනි චිත්‍රපට ඔස්සේ රංගන අත්දැකීම් ලැබුවාය. පසුව ලාංකේය සිනමාවේ නොමැකෙන මතක සටහන් තැබූ ඇය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක ලෙස ‘දෙලොවක් අතර’, ‘වැලි කතර’ වැනි චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන්ට තව තවත් සමීප වූවාය. මේ වන විට ඇය සිනමා අධ්‍යක්ෂවරියක ලෙස ද කටයුතු කරන ඇය අද අපේ කතාබහට එක්වූවාය.
ඔබේ සිනමාවට පැමිණීම ගැන සිහිපත් කරනවා නම්?
හැටේ දශකයේ (1963) ‘සුදු සඳේ කළු වලා’චිත්‍රපටයෙන් තමයි මගේ සිනමා ගමන ආරම්භ කළේ. එහි අධ්‍යක්ෂවරයා වුණේ රොබින් තම්පෝ. එවකට පළපුරුදු නිළියක් වුණු සන්ධ්‍යා කුමාරිත් ඒ පරීක්ෂණයට හිටිය නිසා මට අවස්ථාව ලැබෙයි කියලා හිතුනෙම නැහැ. ඒ දවස්වල මං බොරැල්ල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගනිමින් හිටියත් රඟපෑමට සම්බන්ධ වීමත් එක්ක ඒ කටයුතු නතර වුණා.
පවුලෙන් ලැබුණු සහයෝගය මොනවගේද?
මම රඟපානවට අම්මා කැමති වුණේ නැහැ. තාත්තා නම් කැමති වුණා. මමත් වෘත්තියක් හැටියට රඟපාන්න කැමැත්තක් තිබුණු කෙනෙක් නෙමෙයි. ඔවුන් මං වෙනුවෙන් ලොකු කැප කිරීමක් කළා. මට බාල සහෝදරයින් පස් දෙනෙක් හිටියා. අම්මා මගේ තනියට රූපගත කිරීම්වලට එද්දි තාත්තා නිවාඩු දාලා ඔවුන් බලාගන්නවා. ඒක අදටත් මගෙ හිතේ තියෙනවා.
අධ්‍යක්ෂ රොබින් තම්පෝ ගැන මොකද හිතෙන්නේ?
රඟපාන්න පටන් ගත්ත මුල් කාලේ අධ්‍යක්ෂවරයා කියන දේ කරනවා හැර රඟපෑම කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් තිබුණෙ නැහැ. රොබින් තම්පෝ කියන්නේ දමිළ, ගාම්භීර චරිතයක් වුණත් හරිම මිත්‍රශීලීයි. මට ඔහුගේ චිත්‍රපට තුනකම රඟ පාන්න ලැබුණා. “සමාජේ අපි ඔක්කොම සමානයි’ (1964) හර්බි සෙනෙවිරත්නගේ අධ්‍යක්ෂණයක් රොබින් තම්පෝගේ නිෂ්පාදනයක්. ඔහුගේ “සුදෝ සුදු’ (1965) චිත්‍රපට සාගර පලන්සූරියගේ සුදෝ සුදු කාව්‍ය සංග්‍රහයෙන් නිර්මාණය වූවක්. එහි ගාමිණී ෆොන්සේකා සමඟ රඟපෑවේ මං. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.
ලෙස්ටර් – සුමිත්‍රා යුවළගේ හමු වීම සිදුවුණේ?
“සුදෝ සුදු’ චිත්‍රපටයේ මංගල දර්ශනය බලන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් යුවළ පැමිණියා. එතනදි ඔවුන් මගෙන් ඇහැව්වා අපිත් එක්ක වැඩ කරන්න කැමතිද කියලා. ඔවුන් මගෙන් ඇහුවා රොබින් තම්පෝ එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවද කියලා. මම නැහැ කිව්වම එවෙලෙම “දෙලොවක් අතර’ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව අනුලා කරුණාතිලක රඟපෑ චරිතය මාව යොදාගෙන නැවත රූගත කළා. රඟපාන්න තිබුණේ ටෝනි රණසිංහ එක්ක. ලෙස්ටර් එක්ක වැඩ කරද්දි තමයි මම දැනගත්තේ තාත්ත්වික රංගනය කියන්නේ මොකක්ද කියලා. මට තරුවක් වීමේ වුවමනාවක් නොතිබුණු නිසා මං ඒ මාර්ගය තෝරා ගත්තා. ‘දෙලොවක් අතර’ මගෙ සිනමා ජීවිතයේ කඩඉම සලකුණ හැටියට හඳුන්වන්න පුළුවන්.
වැලිකතරෙහි ගීතා රන්දෙනිය වෙන්නෙ ඔබ. ඒ අත්දැකීම කොහොමද?
අවුරුදු පහක පමණ නිහැඬියාවකින් පස්සේ තමයි මම “වැලිකතර“ (1970) චිත්‍රපටය සම්බන්ධ වෙන්නේ. “ වැලිකතර’ කතාව දෙබස් තිර රචනය කළේ තිස්ස අබේසේකර.
මට ඒ චරිතය හොඳට කරන්න ලැබුණා. මම තිර පිටපත හොඳින් අධ්‍යයනය කළා. එතෙක් විකට නළුවෙක් විදිහට රංගනයේ යෙදුණු ජෝ අබේවික්‍රමටත් ගෝරිං මුදලාලිගේ චරිතය අභියෝගයක් වුණා කියලා මට හිතෙනවා. මම වික්‍රම රන්දෙනියගේ (ගාමිණි ෆොන්සේකා) බිරිඳ ගීතා රන්දෙනිය විදිහට වගේම ගෝරිං මුදලාලි එක්කත් මගේ රංගන කාර්යය හොඳට කළා කියන හැඟීම මට තියෙනවා. හොඳ පිටපතක් ලැබීමත් වගේම හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ කටයුතු කරන්න ලැබීමත් සතුටක්.
“වැලිකතර’ තුළ වූ මතකයන් අවදි කළොත්?
“වැලිකතර’ රූපගත කළේ සුන්දර ස්ථානවල. යාපනයේ අලිමංගඩ, වෙල්වෙටිතුරේ, කන්කසන්තුරේ, ගාල්ල බුන්දල වගේ තැන්වල. හස්තගත කැමරාව (Hand Held) භාවිත කිරීම වගේම නිහාල්සිංහ දක්ෂ විදිහට අපිව හැසිරවීමත් නිසා අපටත් හොඳ පන්නරයක් ලැබුණා. මට හොඳටම මතකයි අත්කොට බැනියමක් ඇඳලා, දිග කලිසම නවලා කොටකරගෙන නිහාල්සිංහ රූපගත කිරීම් කරපු ආකාරය. මේ චිත්‍රපටයට සම්බන්ධ වුණු ප්‍රධාන රංගන ශිල්පීන්ගෙන් මේ වන විට ජීවතුන් අතර ඉන්නේ මං විතරයි. සහාය කැමරා ශිල්පියා වුණු කේ.ඩී. දයානන්ද සහ ශබ්ද සංකලනයෙන් සහාය වුණු ජෝර්ජ් මනතුංග හැර අනෙක් කාර්මික ශිල්පීනුත් ජීවතුන් අතර නැහැ.
‘වැලිකතර’ ඔබට සුවිශේෂී වෙන්නේ ඇයි?
පළමුවැනි පුළුල් තිර සිනමාපටය විදිහට ඒක අපට ගොඩක් වැදගත්. අපේ සියුම් රඟපෑම් පවා තිරයේ පැහැදිලිවම පෙනෙනවා. වැලිකතර කියන්නෙ ඕනෙම කෙනෙකුට අධ්‍යයනය කරන්න වටින චිත්‍රපටයක්. අලුතෙන් එන රංගන ශිල්පීන්ටත් වටිනවා. ප්‍රේක්ෂක මතකයේ සදාකල් රැඳෙන චරිතයක් වැලිකතරෙදි මට ලැබුණා. ඒ නිසා ‘වැලිකතර’ මගෙ සිනමා ජීවිතය තුළ අමතක කරන්න බැහැ.
වෛද්‍යවරියක් වීමේ අවස්ථාව ගිලිහිලා ගියත් රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂක මනස සුවපත් කරන්න ලැබීම සුවිශේෂයි. මනස සුවපත් වෙනවා කියන්නෙම කායිකව සුවපත් වෙනවා කියන එක.
තිස්ස, වැලිකතර සහ ඔබ ගැන කතා කරනවා නම්?
මගෙ සිනමා දැනුම වැඩි කර ගන්න ‘වැලිකතර’ චිත්‍රපටය ඉවහල් වුණා වගේම තිස්ස අබේසේකර මට ගුරුවරයෙක් වගේ හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් ලබා දෙන්න කටයුතු කළා. ඉංග්‍රීසි දැනුම ඔපමට්ටම් කරන්න කටයුතු කළා. ඔහුගෙන් ලැබුණු දේවල් තමයි අදටත් මං අරගෙන යන්නේ. මම අදටත් ඔහුට ගෞරව කරනවා. නමුත් කලාව තුළ මිනිස්කම තිබිය යුතුයි. කලාව කියන්නේ මිනිස්කමේ ප්‍රතිබිම්භයක්.