කවුරුත් දන්නා ඇය නන්දා මාලිනීය. ඇත්තෙන්ම ඇය ආචාර්ය නන්දා මාලිනීය. ශ්‍රී ලාංකික ගීත ක්ෂේත්‍රයට වටිනාකමක් එක් කළ ඇය අප රටේ රන් ස්වරයයි.
“මම තවමත් ගී ගයනවා. ගීත පටිගත කිරීම්වලටත් සම්බන්ධ වෙනවා. අලුත් නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට සම්බන්ධ වෙනවා. මම ගායනය වෙනුවෙන්ම උපන් කෙනෙක් කියලයි මට හිතෙන්නේ. ඒ කොහොම වුණත් විවේක සුවයෙන් නිවෙසටම වී ඉන්නවා.”
අසූතුන්වැනි වියේදිත් යෞවනයේදී මෙන්ම ගී ගයන, ඇය පවසන්නේ බොහෝම සන්සුන්වය. ඒ ගී හඬ මනරම්ය. ඒ මනරම් බව වඩ වඩාත් දැනුණේ ඉකුත් වසරේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඇය වෙනුවෙන් 9 වන මැදිරිය ආචාර්ය නන්දා මාලිනීගේ නමින් වෙන් කළදාය.
අගමැතිනිය ඇතුළු සම්භාවනීය අමුත්තෝ, සහෘද රසිකයෝ අල්පෙනෙත්තක් වැටුණත් ඇසෙන සේ හඬක් නොනඟා ශාලාවේ අසුන් ගෙන සිටියහ. ඇය ඒ මොහොතේ ගී ගයාවි යැයි කිසිවෙක් නොසිතූහ. වාද්‍ය වෘන්දය සෙමින් වයන්නට විය. ඒ ගී අනුවාදනය යන අතර ඇය කවුරුත් නොසිතූ මොහොතක හඬ අවදි කළාය.
“චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන්
දූ නළවන්නට ගීත ගයනවා
දුවේ එපා ඒ කතා අසන්නට
ඒ නැළවිලි ගී මමයි ගයන්නේ”
“ජීවිත කාලයෙන් හරි අඩකටත් වඩා ගෙවුණේ ගායනය වෙනුවෙන්. ගුවන් විදුලිය කවදාවත් මාව අමතක කළේ නෑ. මේ ඇගයීමට බොහෝම ස්තූතියි.”
ඇය ගුවන් විදුලියට සිය කෘතඥතාව පළකළේ එලෙසිනි.
අපේ රටේ පමණක් නොව විදේශිකයන් ද හඳුනන ඇගේ කටහඬ වාද්‍ය භාණ්ඩයකට සමානයැයි වරෙක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ද හඳුන්වා ඇත. ‘ජාතියේ යශෝරාවය’ ලෙසින් ද හැඳින්වෙන ඇය පැමිණි ගමන බොහෝ දුෂ්කරය. නව දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැන්නිය වූ නන්දා පාසල් අධ්‍යාපනය ලද්දේ බොහෝ අඩුපාඩුකම් මධ්‍යයේය. ගම අලුත්ගම වුවද නන්දාගේ අම්මා ලියනගේ එමලි පෙරේරා හා සිය පියා වූ වින්සන්ට් පෙරේරා කොළඹ කොටහේන කාසිසෙට්ටි වත්තේ පදිංචියට ආහ. කාසිසෙට්ටි වත්තේ පේළි ගෙදරක මෙම දරු පවුල ජීවත් වූහ. එකල නන්දාගේ තාත්තා හයිඩ්‍රාමනි ආයතනයේ ‘කටර්වරයකු‘ ලෙස සේවය කළ අතර ගෙදර ද ඇඳුම් මසන්නට වූයේය. එහෙත් දරුවන් නවදෙනෙකු ජීවත් කරවීම එතරම්ම පහසු නොවීය. මේ නිසා ඔවුන්ට එකල බොහෝ අඩුපාඩුකම් දරාගන්නට සිදුවිය. ඇය ඒ ජීවිතයේ අතීතය සිහි කළාය.
“මම ඉපදුණේ 1943 අගෝස්තු 23 වැනිදා. ඒ දවස්වල ඒ රෝහල කවුරුත් හැඳින්වූයේ කුණුමෝල රෝහල කියලා. මගේ තාත්තා ටේලර් කෙනෙක්. තාත්තාව කවුරුත් හැඳින්වූයේ ‘කෝට් බාසුන්නැහේ’ කියලා. අපිට හුඟක් අඩුපාඩු තිබුණා. තාත්තා වැඩකරලා ඇවිල්ලා ගෙදර රෑ වෙනකම් ඇඳුම් මහලා මුදලක් උපයා ගත්තා. තාත්තා බොහෝම හොඳ කෙනෙක් කියල හමුවුණු හැම කෙනෙක්ම කියනවා. මගේ ලෝකයේ වීරයාත් තාත්තා. එයා බොහෝම ප්‍රතිපත්ති ගරුක කෙනෙක්. ඒ කාලේ ඉස්කෝලේ ගියේ සපත්තු දාගෙන නෙමෙයි. ‘ලී කට්ටා’ දෙකකින් තමයි සෙරෙප්පු දෙකක් දැම්මේ. මම පාසල් ගියේ කොටහේන ගුණානන්ද විද්‍යාලයට.”
එකල නන්දා පාසල් වේදිකාවට නැතිවම බැරි අයකු විය. වේදිකාවේ සිට ශාලාවේ කෙළවරටම ඇසෙන්නට සාහිත්‍ය සමිතියේදි කවි ගායනා කරන්නට ඇය හුරුව සිටියාය. පාසලේ ඇය ප්‍රකටව සිටියේ ‘කවි කියන නන්දා’ ලෙසය. පාසලේදී කවි කියන නන්දා ගැන ඇස ගසාගෙන සිටි කෙනෙකි මාග්‍රට් පෙරේරා ගුරුතුමිය.
“දවසක් මාග්‍රට් ගුරුතුමිය මට කතා කළා. එතකොට මට වයස අවුරුදු නවයක් විතර ඇති. ඇය මට කිව්වා ‘ඔයාට ගායන හැකියාවක් තියෙනවා. මම ඔයාව රේඩියෝ සිලෝන් එකේ ළමා පිටියට සම්බන්ධ කරන්නම්’ කියලා. දවසක් ඇය අපේ ගෙදර ඇවිල්ලා අම්මගෙන් අවසර ගත්තා මාව රේඩියෝ සිලෝන් එකට එක්කගෙන යන්න. ඒ ගිය ගමනත් එක්ක තමයි මට අද දක්වා හොඳ ගමනක් එන්න ලැබුණේ.”
ගුවන් විදුලියේ ළමාපිටිය වැඩසටහන් නිෂ්පාදක වූයේ කරුණාරත්න අබේසේකරයන්ය. මාග්‍රට් ගුරුතුමිය කරුණාරත්න අබේසේකරයන්ට හා සරත් විමලවීරයන්ට නන්දාගේ හැකියාව ගැන කීවාය. මුලින්ම නන්දාට සිදුවූයේ ළමා වැඩසටහන්වල අත්වැල් ගායනයන්ට සම්බන්ධ වන්නටය. ඇගේ මුල්ම ගායනය වූයේ ‘පාවෙන මේ කුළු ගුවනේ’ ගීතයයි. මේ ගීතය රචනා කළේ ආචාර්ය අජන්තා රණසිංහ විසිනි. අශෝක කොළඹගේ විසින් රචනා කරන ලද ගීතයක් ඇගේ මුල්ම තැටිගත කළ ගීතය විය. ඩී.ඩී. ඩැනී විසින් සංගීත නිර්මාණය කරන ලද
“බුදු සාදු බුදු සාදු
සමන් වැලක් වෙන්නම්
ඔබගේ පාමුල සමන් වැලක් වී
සුවඳ මලින් සරසන්නම්”
ගීය ඇගේ ගමන තවත් ඔපකරන්නට විය. නිතර දෙවේලේ ගුවන් විදුලියට යන ඇයට 1959 වසරේ ගුවන් විදුලියේ වෙළෙඳ සේවය කළ ‘එයාර් ෂිප් ගායනා තරගයට’ සහභාගි වීමට අවස්ථාව ලැබිණ. එහිදී නන්දා තරගයේ පළමුතැන දිනූ අතර දෙවැනි තැන හිමි වූයේ කඩුගන්නාවෙන් පැමිණි වික්ටර් රත්නායකයන්ටය. තුන්වැනි තැන හිමි වූයේ පසු කලෙක නළුවකු ලෙස කරළියට ආ රෙක්ස් කොඩිප්පිලිටය.
එදා එයාර්ෂිප් තරගයෙන් පළමු තැන දිනූ නිසා තමන්ට ලැබුණ තෑග්ග පිළිබඳ නන්දා වරෙක මෙසේ කියා තිබිණි.
“ඒ තරගයෙන් පළවෙනියට තේරුණ මට බොම්බායට යන්න ගුවන් ටිකට්පත් දෙකක් ලැබුණා. ඒ ගමන නොයනවා නම් රුපියල් 1200ක් ලබා ගැනීමට පුළුවන්කම තිබුණා. මම තාත්තට කිව්වා අපි සල්ලි ගමු කියලා. තාත්තයි මමයි ගිහිල්ල ඒ ආයතනයෙන් මුදල් ලබා ගත්තා. ඒ කාලේ අපේ ගෙදරට විදුලිය තිබුණේ නැහැ. ඒ මුදලින් ගෙදරට ලයිට් අරගෙන විදුලි ඉස්තිරික්කයකුත් ගත්තා. මාලයකුත් ගත්තා.”
ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී ගායිකාවක ලෙසින් සිටි නන්දාගේ ගායනා දිවිය අලුත් වන්නේ ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ ගීත ගැයීමට අවස්ථාව ලැබීමත් සමඟය.
දිනෙක අමරදේව එනම් 1961 වසරේ අග භාගයේ දිනෙක නන්දාගේ ගෙදර යන්නේය. අමරදේවයන් එහි ගොස් නිවැසියන්නේ අවසර ලබා ගන්නේ නන්දාට කියා රන්මුතු දූව චිත්‍රපටයේ ගීතයක් ගයවා ගැනීමටය. නාරද දිසාසේකරයන් සමඟ ගී ගැයීමට ඇයට අවස්ථාව ලැබේ. ඒ කාලය වන විට ඇගේ වයස අවුරුදු දාසයක් තරම් විය. නන්දා ඒ යුගය වන වි මයික්‍රෆෝනයට තරම්වත් උස නැති තරුණියක විය.
“ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ” ගීය ඇගේ ජීවිතය වෙනස්ම මාවතකට ගෙන එන්නට සමත් විය.
‘‘ඒ 1964 වසරේ පළමු සරසවි සම්මාන උලෙළ පැවැතිදා. 1962 අවුරුද්දේ හොඳම ගායකයාට නාරද දිසාසේකරටත්, හොඳම ගායිකාව ලෙස මටත් සම්මාන හිමිව තිබුණා. සම්මාන උත්සවයදා හැමෝටම ලේක්හවුස් ආයතනයට එන්න කියා තිබුණා. එතැන් සිට විවෘත රථ පෙරහරකින් තමයි ග්‍රෑන්ඩ්පාස්හි පිහිටි අශෝකා සිනමා ශාලාවට අප කැඳවාගෙන ගියේ. පාර දෙපැත්තේ ජනතාව අප යන දෙස පෙළගැසී බලා සිටියා. ඒත් කවුරුවත් මාව නම් හඳුනාගත්තේ නැහැ. ඒ අත්දැකීම හරියට කෙනෙක් ජීවිතේ පළමුවරට මඟුල් ගෙදරකට ගියා වගෙයි. එතකොට මගේ වයස අවුරුදු 19ක් විතර ඇති. වේදිකාවේ සිටි නිවේදකයා මගෙ නම කියද්දි මම කොහොම වේදිකාවට ගොඩවුණාද කියලා මතක නෑ. අඩි උස සපත්තු දෙකයි, දිග කරාබු දෙකයි, සාරියයි එක්ක මම සාමාන්‍ය තත්වයට එන්න ගොඩක් උත්සාහ කළා. අද නම් සම්මාන උලෙළකදි කලින් පුංචි හරි ඉඟියක් ලැබෙනවනේ. නමුත් එදා එහෙම නෑ. එතැනට ගිහිල්ල නම කියනකම්ම මම දැනගෙන හිටියේ නැහැ මට සම්මානයක් හිමි බව.”
එදා මෙදාතුර ඇය බොහෝ සම්මානයෙන් පිදුම් ලබා ඇත. ඇය සරසවි සම්මාන 12කින් ද ජනාධිපති සම්මාන 10කින් ද පිදුම් ලබා ඇත.
“ජීවිතේ ආපහු හැරිලා බලද්දි මට සතුටක් දැනෙනවා. මගේ අම්මා, තාත්තා, පවුලේ අය මං වෙනුවෙන් වෙහෙසුණා. මගෙ දුවලා දෙන්නා ඔවුන්ගේ දරුවෝ අද මගේ තනියට ඉන්නවා. ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත් මං හැමදාමත් හිනාවෙලා ඉන්න උත්සාහ කළ කෙනෙක්. මම හැමදාමත් ගායනයට ආදරය කළ කෙනෙක්. ගායනය තමයි මාව ජීවත් කරන්නේ. ඒ නිසා මම මට පුළුවන් කල් ගායනා කරනවා.”
ඇගේ ගායන දිවිය, ඇය පැමිණි ගමන කාටත් ආදර්ශයකි. පහසුකම් නැති යුගයක ඉපිද ඇය පැමිණි ගමන ආශ්චර්යකි. එදා මෙදාතුර ඇය ගැයූ ගීත සංඛ්‍යාව බොහෝය. ඒ සෑම ගීතයක්ම ආදරය, ප්‍රේමය, දරුවන් වෙනුවෙන් පමණක් නොව යුක්තිය, සාධාරණය වෙනුවෙන් පෙළ ගැසුණ ගී ද ඒ අතර ඇත. ආදරණීය නන්දා මාලිනී ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.