අද අපේ කතාබහට එක්වන ඇයද අප රට අන්තර්ජාතික තලයට ගෙන යෑමට වෙහෙසෙන තවත් දිරිය කාන්තාවකි. ඇය රැෆෙල්ලා ප්‍රනාන්දුය. ලොවෙහි සුන්දරත්වය තෙවැනි ඇසින් දකිමින් ජාත්‍යන්තරය ජයගත් ඡායාරූප ශිල්පිනියකි. වසර 14ක් අඛණ්ඩව RFCC Celebrity Calendar ත් සමඟින් හමුවන ඇය ගැන කතාකරන්නට සුදුසුම දිනය අද යැයි සිතුණු නිසාම අපි ඇය අපේ කතාබහට එක්කර ගත්තෙමු.
මෙවර ඔබ අතින් නිමවුණු RFCC Celebrity Calendar ගැන කියනවා නම්?
හැමදාම වගේ මෙවරත් මට ඕන වුණේ RFCC Celebrity Calendar හරහා හොඳ මික්ස් එකක් ගේන්න. RFCC Celebrity Calendar එක කියන්නේ කොහොමත් කන්සෙප්ට් ක්ලැන්ඩරයක්. මේ හරහා මට ඕනෑ වුණේ ඒ ඒ කලාකරුවන්ගේ චරිතවල අපි නොදැකපු පැත්තක් මතුකර ගන්න. ඒ නිසා තමයි දුලීකා මාරපන, කුසුම් රේණු , කෞෂල්‍යා ප්‍රනාන්දු වුණත් වෙනස්ම විදිහට අරගෙන එන්න මට ඕන වුණේ. සාමාන්‍යයෙන් අපි හැම තිස්සේම ආර්ටිස්ට්ගේ දකින පැත්තක් තියෙනවා. ඊට වඩා වෙනස්ම දෙයක් තමයි මට ගේන්න ඕන වුණේ. මෙතනදී ඔවුන්ටත් අලුත් අත්දැකීමක් එකතු කරන්න පුළුවන් වුණා.
මෙච්චර කාලයක් සෙලිබ්‍රිටි ක්ලැන්ඩර් කරනව කියන්නේ ලොකු අභියෝගයක්?
වසර 14 තිස්සේ සෙලිබ්‍රිටි ක්ලැන්ඩර් එකක් කරන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒත් වසරින් වසර එකතු වුණු ආර්ටිස්ලා ප්‍රමාණය වැඩි වුණා. මෙවර ආර්ටිස්ට්ලා 27ක් ඉන්නවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. ඔවුන් 27ක් එක්ක මාස එකහමාරක් වගේ කාලයක් ඇතුළත ෂූට් කරලා තමයි ක්ලැන්ඩරය එළිදැක්වූයේ. ආර්ටිස්ලා 27ක් එකතු කරගෙන මේ වගේ කන්සෙප්ට් ප්‍රමාණයක් කරනවා කියන්නේ ලේසි නැහැ. ඔවුන් ගොඩක් කාර්යබහුලයි. ඔවුන් එක්ක වැඩ කරලා මාස එකහමාරක් ඇතුළත අවසන් කරගන්නව කියන එක තමයි ලොකුම අභියෝගය. මෙවර අපේ ඉවෙන්ට් එක වෙනස් වුණා. ක්ලැන්ඩර් එකේ කොලිටි එක පවා වෙනස් වුණා. මේ වෙද්දී ක්ලැන්ඩර් එක ජනගත වෙලා ඉවරයි. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. තෝර ගත්ත ආර්ටිස්ට්ලා වගේම භාවිත කළ ඇඳුම්, මේකප් ගැනත් හොඳ ප්‍රතිචාර තිබුණා.
ලාංෙක්ය කලා තරුවලට පමණක් සීමා නොවී මෙවර විදේශීය කලා තරුවලටත් අවස්ථාව ලබාදීම මොන වගේ අත්දැකීමක් වුණාද?
මගේ අරමුණ වුණේ ලංකාවෙන් ජාත්‍යන්තරයට ගෙන යනවා වගේම ජාත්‍යන්තරය ජයගත් ආර්ටිස්ට්ලා ලංකාවේ වැඩවලට සම්බන්ධ කරගැනීම. මේක මගේ හිතේ තිබුණු අහිංසක ආසාවක්. මේ සැරේ ආටිස්ට්ලා 5 දෙනෙක් එකතු වුණා. Malaika Arora, Dino Morea, Urvashi Rautela, Wandering Gaze, Jamie Lever. එයාලත් හරිම කැමැත්තෙන් මේකට සහභාගි වුණා. ඉන්දියාවෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මං හරිම ආසාවෙන් ඔවුන් එක්ක වැඩ කළා. දෙසැම්බර් මාසේ මම මුම්බායිවල ෂූට් 18ක් කළා. ඒවත් ඉදිරියේදී දකින්න ලැබෙයි. ජායාරූප ශිල්පිනියක් විදිහට ලංකාවෙන් එළියට ගිහින් මගේ ස්ටයිල් එකට ලංකාව නියෝජනය කරන්න ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා.
ඔබේ මේ ගමනට ශක්තියක් වන පිරිස ගැනත් මතක් කරමු?
මුලින්ම මතක් කරන්න ඕනේ මගේ තාත්තව. එයා තමයි මගේ ලොකුම ශක්තිය. ෆොටෝග්‍රැෆිවලදී මෙහෙම කරන්න, මේ වෙනස්කම කරන්න කියන දේ මුලදිම මට කියලා දුන්නේ තාත්තා. මම ආස දේ ගැන කවදාවත් ප්‍රශ්න කළේ නැහැ. මම නරක දෙයක් කරන්නේ නැහැ කියන විශ්වාසයත් ඔහුට තිබුණා. කවදත් මම අවංකවම මගේ ආර්ට් එක කරපු කෙනෙක්. ඒකට ලොකුම හයිය වුණේ මගේ තාත්තා.
ඊට පස්සේ මගේ අම්මා. ඒ එක්කම මගේ සැමියා. තාත්තා වගේම තමයි මගේ සැමියාත්. මේ දෙන්නා නොහිටින්න ඇත්තටම ක්ලැන්ඩර් එක කරන්න වෙන්නේ නැහැ .පවුලේ අනෙක් අයගෙනුත් ඒ වගේම සහායක් ලැබෙනවා. විශේෂයෙන්ම මගේ කෙල්ලෝ ටික මතක් කරන්න ඕන. දකුණු ආසියාවේ හැදුණු එකම ෆොටෝග්‍රැෆි කණ්ඩායම තියෙන්නේ මට. ඒ අය මට ලොකු සහයෝගයක් දෙනවා. දසිත හැමදේම හොයලා බලලා කරලා දෙනවා. ඒ අය නැතුව මට මේ වැඩේ කරන්න ලැබෙන්නේ නැහැ. මේක ටීම් වර්ක් එකක්. ඒ නිසා මගේ මේ RFCC ක්ලැන්ඩර් එක වෙනුවෙන් වචනයකින් හරි උදව් කරපු හැමෝම ඉතාම කෘතවේදිව මතක් කරනවා.
රැෆෙල්ලා කියන්නේ කාන්තාවන්ට හොඳ අභිප්‍රේරණයක්. කාන්තාව වෙනුවෙන් අදහසක් එක් කරනවා නම්?
කාන්තාව අභියෝගාත්මක අවස්ථාවලට මුහුණදීමේ ශක්තියෙන් විතරක් නොවෙයි, නිර්මාණශීලීත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ නිමක් නැති ප්‍රතිනිර්මාණයක් විදිහටයි මම දකින්නේ. ඒ වගේම කාන්තාවක් කියන්නෙම පරම්පරා හැඩගස්වන නිහඬ බලවේගයක්. අවිනිශ්චිතතාව හමුවේ වුවත් ඕනෑම අභියෝගයක් අවස්ථාවක් බවට පත් කරගත හැකි සුන්දරත්වයක් ඇය තුළ තියෙනවා. කාන්තාවන් යනෙන හැම තැනකම දැක්ම, සහකම්පනය වගේම බිඳී ගිය දේ නැවත ගොඩනැඟීමේ දුර්ලභ හැකියාවත් ඇය අරගෙන යනවා. කාන්තාවක් නැඟී සිටීම, පරිණාමය වීම සහ තමා කවුදැයි නැවත අර්ථ දැක්වීම කියන්නේ ඇයගේ ජීවිතයේ ගැඹුරුතම කලාත්මක ස්වරූපය විදියටයි මම දකින්නේ.