සිංහල සිනමාවේ ශ්‍රියාවිය ලෙස හැඳින්වෙන ශ්‍රියානි අමරසේන සිනමාව, වේදිකාව මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේද දස්කම් විහිදාලන ජ්‍යෙෂ්ඨතම රංගවේදිනියකි. ඇයගේ අත ගත්තේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ගත් කතුවරයෙකු වූ ආතර් යූ. අමරසේනයි. පාසල් වියේ සිටම කලාවට මහත්සේ ඇලුම් කළ ඇය ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ “නරි බෑනා” වේදිකා නාට්‍යයෙන් වේදිකාවට පිවිස වේදිකා නිර්මාණ ගණනාවකම රංගනයෙන් දායක වූවාය. සිනමා අධ්‍යක්ෂ ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කරන ලද ‘ Wings Over Ceylon “කෙටි චිත්‍රපටය ඔස්සේ සිනමාවටද පිවිසි ඇය එදා මෙදා තුර වේදිකාව, සිනමාව, මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේද නොමැකෙන නාමයක් සනිටුහන් කළාය. විටෙක රංගනවේදිනියක් වූ ඇය අධ්‍යක්ෂවරියක, නිෂ්පාදිකාවක මෙන්ම ගත්කතුවරියකද වූවාය. මේ සියළු භූමිකා අබිබවා යමින් ඇය තම කුටුම්බය තුළ ආදරණීය චරිතයකි. තම සැමියාට සෙනෙහෙවන්ත බිරිඳක මෙන්ම දරු දෙදෙනාට ආදරණීය මවක් වූවාය. කාන්තාවකගේ භූමිකාව ඉහළින්ම ජයගත් ඇය කාන්තාවට සුවිශේෂී වූ අද දිනයේ අප හා කතබහකට එක්වූවාය.
ඇත්තටම මේ වගේ දිනයක් වෙන්කිරීමෙන් කාන්තාව ගැන මතකය නිතර අලුත් කිරීම වටිනවා. අප ගෙවන මේ කාර්‍යබහුල සමාජය තුළ ඇතැම්විට කාන්තාව කියන චරිතය අමතක වෙනවා. ඒ නිසා කාන්තාවන් වෙනුවෙන් දිනයක් වෙන්කර එදිනට ඇයව ඇගයීම ගොඩාක් වටිනවා. එක් දිනයකදී පමණක් නෙවෙයි ජීවිත කාලය පුරාවටම කාන්තාව අගය කළ යුතුයි කියන මතයේ මා ඉන්නවා.
අද සමාජයේ කාන්තාව ඉහළ තනතුරුවල වැජඹෙනවා. අතීතයේද එවැනි කාන්තාවන් සිටියා. රජ බිසෝවරු හිටියා. රට වෙනුවෙන් යුද බිමට බැසපු වීර කාන්තාවන් හිටියා. විහාර මහා දේවිය එවැනි ශ්‍රේෂ්ඨ කාන්තාවක්. අදත් රටේ ඉහළම තලයේ වැජඹෙන කාන්තාවන් සිටිනවා. තමා කවර මට්ටමක සිටියත් තමා ගෙවන ජීවන රටාව තුළ අවබෝධයෙන් සිටිය යුතුයි. විශේෂයෙන් නවීන තාක්ෂණය සමඟ ගැටීමේදී කාන්තාවක් විදිහට තමාගේ තත්ත්වය, පවුල් පසුබිම, තමාගේ ආර්ථික මට්ටම ගැන සැලකිලිමත් විය යුතුයි කියලයි මම හිතන්නේ. තමාට ගැළපෙන ජීවන රටාව ඇතුළේ කටයුතු කිරීමෙන් තමයි කාන්තාවකගේ සාර්ථකත්වය ඇති වෙන්නේ.
රූමත් බව පමණක් කාන්තාවකගේ සුන්දරත්වයට බලපාන්නේ නැහැ. කතා විලාසය, අඳින පලඳින විදිහ, නිහතමානීකම, හැසිරීම, ඇය සතු ලාලිත්‍ය මේ සෑම අංගයක්ම කාන්තාවකගේ සුන්දරත්වයට බලපානවා. කාන්තාව සුන්දර වන තරමටම සමාජයෙන් යහපත් පිළිගැනීමක් ලැබෙනවා. ඒ වගේම කාන්තාවක් සුන්දර වූ විට කා අතරත් ගරුත්වයට ලක්වෙනවා. ඒ වගේම කාන්තාව නිතර තමන් ගැන වගේම තම සැමියා, දරුවන් ගැනත් සැලකිලිමත් විය යුතුයි. අද කාන්තාවගේ කාර්‍යබහුලත්වය නිසා නිෙවසේ වැඩ මඟහැරී යන අවස්ථා තිබෙනවා. ඒ සියල්ලම සමබරව පවත්වාගෙන යාම තමයි වැදගත්.
මම කොතරම් කාර්‍යබහුල ජීවිතයක් ගත කළත් මගේ පවුල වෙනුවෙන් ඉටුවිය යුතු දේ මඟහැර ගත්තේ නැහැ. මමත් අමරෙත් මේතාක් දුර ආවේ එකිනෙකා තේරුම් ගෙන සිටි නිසා. මම මගේ කලා ජීවිතයට විවාහය බාධාවක් කර ගත්තේ නැහැ. කාන්තාවන් වන අපි නිතරම කල්පනාකාරී විය යුතුයි. එසේ නොවූණොත් තමයි පවුල් ජීවිතයේ ගැටලු මතුවන්නේ.
මම විවාහ වුණේ අවුරුදු දහනවයේදී . ඒ වන විට අමරෙට අවුරුදු විසිඅටයි. අපි දෙන්නම තරුණයි. සමාජය ගැන ලෝකය ගැන එතරම් දැනුමක් තිබුණේ නැහැ. මම සිනමාවට ආවේ විවාහයෙන් පස්සේ. මම එන්න කලින් අමරේ සිනමා ක්ෂේත්‍රය ගැන හොඳින් දැනගෙන හිටියා. එහි සුන්දර පැත්ත වගේම අසුන්දර පැත්ත ගැනත් අමරෙට හොඳ අවබෝධයක් තිබුණා. ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. මට රඟපාන්න ඔහුගෙන් අවසර ලැබුණා. අමරේ සිනමා ක්ෂේත්‍රයේ බොහෝ අය දැනගෙන සිටි නිසා මගේ රංගන කටයුතුවලට පහසුවක් වුණා. ඇත්තටම කියනවානම් අමරේ තමයි මාව සිනමා නිළියක් කළේ.
ඔහු දැන් රාජකාරී කටයුතුවලින් විශ්‍රාම ගෙන නිෙවසට වී සිටිනවා. ඔහු සෞඛ්‍යය තත්වය ගැන හරියට සැලකිලිමත් වෙනවා. ඉස්සර වගේ දැන් ලියන්නේ නැහැ. අමරේ එළියේ ඇවිදින්න ආස නිසා මට පුළුවන් සෑම තැනකම එක්කගෙන යනවා.
මම කොතරම් කාර්‍යබහුල වුවත් මගෙන් අමරෙට වියයුතු යුතුකම් මඟ හරින්නේ නැහැ. එය මගේ වැඩ කටයුතුවලට බාධාවක් කියා සිතන්නේ නැහැ.
අමරේ කියන්නේ මගේ වාසනාවට මට ලැබුණ ආදරණීය ස්වාමිපුරුෂයෙක්. අපි දෙන්නට දෙන්නා තේරුම් අරගෙන ජීවත් වෙන්නේ. අපේ විවාහ දිවිය තුළත් වැරදුන තැන් තිබෙනවා. පවුලක් ඇතුළෙ පොඩි පොඩි ආරවුල් ඇතිවන එක සාමාන්‍ය දෙයක්. එහෙත් ඒ දේවල් ක්ෂණිකව විසඳා ගැනීමේ ශක්තිය අපි දෙන්නා තුළම තිබුණා. එතනදි අපි දෙදෙනා හරිම ඉවසීමෙන් ප්‍රශ්න විසඳාගෙන ජීවත් වුණා.
විශේෂයෙන් පවුලක බිරිඳ ඉවසිය යුතුමයි. මව්පියන් විදිහට අපි අපේ දරුවන් ගැන සිතිය යුතුයි.
මට මගේ දරුවෝ දෙන්නා ආභරණ දෙකක් වගේ. ඉනෝකා දුවත්, සම්පත් පුතාත් මගේ ජීවිතය එළිය කළා. කොතරම් කාර්‍යබහුල ජීවිතයක් ගත කළත් මම ඔවුන් ගැන සොයා බැලුවා.
මට හැකිතාක් කල් රංගනයෙහි නිරත වෙනවා. මේ දිනවල මගේ ‘සෙලියුලොයිඩ් ප්‍රේමයක්‘ වේදිකා නාට්‍ය රට වටා වේදිකා ගත වෙනවා. ඒක මගේ ප්‍රථම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය. එයින් කියවෙන්නෙත් කාන්තාවක් ගැන. කාන්තාව තමයි පරපුරක් ඇති කරන්නේ. ඒ නිසා ඇයව රැක ගත යුතුයි. අගය කළ යුතුයි. සමස්ත ලෝකවාසී සියලුම කාන්තාවන්ට මා ආශීර්වාද කරනවා. සුබ පතනවා.