ඇය වෘත්තියෙන් වෛද්‍යවරියකි. රංගන ශිල්පිනියක් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් ලෙසද කටයුතු කරන ඇය කාන්තාවක් ලෙස තම වගකීම සැබෑ ලෙසම ඉටු කරන සෙනෙහෙබර බිරිඳකි. ආදරණීය මවකි. දෙවනි ඉනිම ටෙලි නිර්මාණයේ ටීෂාගේ භූමිකාවෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය සූරිය සුළඟ හා මුසුවී නුදුරේදීම රිදී තිරයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින්නීය. කොළඹ ජාතික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක වන ඇය දිලානි සේනානායකය. අද මේ සුවිශේෂී කතාබහ ඇය සමඟිනි.
ඔබ ගොඩක් කාර්යබහුල කෙනෙක්. කොහොමද මේ දවස්වල නිර්මාණ කටයුතු?
ඇත්තටම මේ දවස්වල කිසිම අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. බබා ලැබෙන්න ආවට පස්සේ රංගනයෙන් පොඩ්ඩක් ඈත්වුණා. ආරාධනා ලැබුණත් සම්බන්ධ වෙන්න බැරි වුණා.
ඊට කලින් මං රීකන්ඩිෂන් කෙල්ල ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණා. සූරීය සුළඟ සිනමාපටයේ පොඩි චරිතයකට සම්බන්ධ වෙන්න ලැබුණා. ළඟකදී සම්බන්ධ වුණේ නම් වෛද්‍ය චාපා ජයරුක්ගේ අලුත්ම ගීතයේ රූපරචනයට. මාත් එක්ක මගේ චූටි දියණියත් සම්බන්ධ වීම තමයි විශේෂත්වය වුණේ.
මේ දවස්වල ඔබේ සුවිශේෂී වීඩියෝ පෙළක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. අපි ඒ ගැනත් කතා කරමු?
කවදාවත් මං සෝෂල් මීඩියාවල කන්ටෙන්ට් දාන්න හිතලා තිබුණෙ නැහැ. වෛද්‍යවරියක් විදිහට වැඩ කරන අතරේ විනෝදාංශයක් විදිහට මං කලා කටයුතුවලට සම්බන්ධ වුණේ හරිම ආසාවෙන්. නිර්මාණ කිහිපයක්ම භාරගෙන තිබුණු අතරේ බලාපොරොත්තු නොවුණු අවස්ථාවක තමයි බබා ලැබෙන්න ආවේ. කලින් ඔඩිෂන් ගිය නිර්මාණ කිහිපයකිනුත් ඔයා තෝරගත්තා මේ මේ දිනවල ෂූටින් පටන් ගන්නව කියලා ඇමතුම් එන්න පටන් ගත්තා. දැන් මට හරිම දුකයි. ඒත් මේක හංඟගෙන ඉන්න පුළුවන් තත්ත්වයකුත් නෙවේනෙ. අන්තිමට හරිම දුකෙන් සම්බන්ධ වෙන්න බැරි බව දැන්නුවා. ආසම කළ දෙයින් අයින් වෙන්න වුණු එක මගේ හිතට දරාගන්න බැරි වුණා. හිත හදාගන්න ක්‍රමයක් විදිහට මං ප්‍රෙග්නන්සි එකේ එක් එක් අවස්ථා ගෙදර ඉඳන් වීඩියෝ කරල සමාජ මාධ්‍යයට දාන්න පටන් ගත්තා. නොහිතුව විදිහට ඒවා වයිරල් වෙන්න ගත්තා. සමහර වීඩියෝ මිලියන දෙකකටත් වැඩිය බලල තිබුණා.
ඔබ වෛද්‍යවරියක් වීමම ඔබ කෙරෙහි විශ්වාසය ඉහළ යන්න හේතුවක් වෙන්න ඇති?
ඔව්. ඒකත් හේතුවක් වෙන්න ඇති. ගොඩක් දෙනා අගය කරමින් සෑහෙන්න ප්‍රතිචාර දක්වලා තිබුණා. තවත් සමහරු තමන් පත්වෙලා ඉන්න ගැටලුකාරී තත්ත්වයන්වලට විසඳුම් ඉල්ලල තිබුණා. ඒව තවත් මාව උත්තේජනය කළා වගේ වුණා.
වයිරල් වෙන්න අන්තර්ගතයේ සුවිශේෂීතා හේතුවෙන්නත් ඇති?
වෛද්‍යවරියක් වුණත් මමත් සාමාන්‍ය කාන්තාවක්. හදිසියේම ඇතිවුණු තත්ත්වය නිසා දේවල් අහිමිවීම මටත් දරාගන්න අමාරු වුණා. මේ වගේ අවස්ථාවකදී ඉදිරියේ නැතිවෙන්න තියෙන දේවල් ගැන හිතලා ඕනෙම කෙනෙක් මානසිකව වැටෙන්න පුළුවන්. මට වගේම හැමදේම නැතිවුණා කියන හැඟීම එන්න පුළුවන්. මට ඕන කළේ අන්න ඒ හැඟීම නැති කරලා මේ අවස්ථාව පොසිටිව් විදිහට දකින්න කාන්තාව පොලඹවන්න. මේක සතුටින් ගෙවන්න ඕන මොහොතක් කියන පණිවුඩේ සමාජගත කරන්න. හිතුවටත් වඩා ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. බබා ලැබුණු දවසෙම මගෙත් එක්ක වැඩ කරන යාළුවෙක් මට කිව්වා ඔයාට දැන් පොඩ්ඩක්වත් නිදහසක් නැතිවෙයි, මහන්සිය දැනෙයි, කේන්ති යයි ඒත් ඒ හැම වෙලාවෙම ඔයා බබා දිහා අනුකම්පාවෙන්, ආදරෙන් බලන්න කියලා. ඒකත් මගේ ඔළුවෙ තිබුණා. ඇත්තටම එහෙම හිතුවම ඒ අමාරු කාලය ගෙවා ගන්න හරිම පහසු වුණා. ඒ වගේම බබාට කෑම හුරු කරද්දි දැම්ම වීඩියෝවලට අම්මලාගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඔවුන් මා ගැන ලොකු විශ්වාසයක් ගොඩනඟාගෙන තිබුණා. ඒ විදිහට මගේ අත්දැකීම් අනෙත් අයත් එක්ක බෙදාගන්න ලැබීම මට ලොකු සතුටක් වුණා. සෝෂල් මීඩියා කියන එක යහපත් විදිහට යොදාගන්නවා නම් සමාජයට ලොකු දෙයක් කරන්න පුළුවන්.
කාන්තාව වෙනුවෙන් මේ වගේ විශේෂ දිනයක් වෙන්කිරීම සම්බන්ධයෙන් ඔබේ අදහස මොන වගේද?
කාන්තාවක් වෙන්න ලැබෙනවා කියන්නෙ මාර වාසනාවක් කියන එක මුලින්ම කියන්න ඕන. මවක් වීම නිසා පහුගිය දවස්වල ලබපු අත්දැකීම් එක්ක මට නිතරම හිතුණෙ මං කොතරම් වාසනාවන්තද කියලා. කාන්තාව සතු ශක්තිය, ඉවසීම, දරාගැනීම කියල නිම කරන්න බෑ. ඇත්තටම මම දැනගෙන හිටියෙත් නැහැ මේතරම් ශක්තියක්, දරාගැනීමක් මට තියෙනව කියලා. කාන්තාවට කළ නොහැකි දෙයක් නැති තරම්. මට හිතෙන්නෙ ඇය වෙනුවෙන් හැම දවසක්ම වෙන්විය යුතුයි.
ඔබ හිතන්නේ කාන්තාවට සම තැන ලැබිය යුතුයි කියලද?
නෑ. මං කියන්නේ ඇයට සම තැන නොවෙයි නිසි තැනයි ලැබිය යුත්තේ. ඇත්තම කතාව කාන්තාව බිහිවෙලා තියෙන්නෙම විශාල දරාගැනීමේ ශක්තියක් එක්ක. සහකරුවාගේ උදව් අවශ්‍ය නැහැ කියන්නෙ නැහැ. නමුත් ඒ ඒ අවස්ථාවලදී දෙන්නට දෙන්නා නම්‍යශීලී වෙනව නම් කිසිම ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ. දෙන්නට දෙන්නා උදවු කරගත යුතුයි. එකිනෙකාට ගරු කරගත යුතුයි. ඇයට සම තැන අවශ්‍ය නැහැ. නිසි තැනයි ලැබිය යුත්තේ.