ලෝකය දිනන්න කාන්තාව දක්ෂතාවලින් ඉදිරියට යන්න ඕනෑ -මාෂා නුවංගි වීරසිංහ

gossiplanka image 2

සියුමැලිබව, ඉවසීම, දරාගැනීම මෙන්ම ඕනෑම අභියෝගයකට මුහුණ දීම සහජයෙන්ම උරුම කරගත් කාන්තාව සොබාදමේ හරි අපූරු නිර්මාණයකැයි සිතේ. අද අප හා එක්වන්නෙ ද එවන් සුවිශේෂී චරිතයකි. ඇය මාෂා නුවංගි වීරසිංහය. නම නොදන්නා ඕනෑම අයෙකු සැක්සෆෝන් ගර්ල්යැයි කී පමණින් ඇය හඳුනාගනියි. ගායිකාවක ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට සැක්සෆෝනයේ සන්නාමය බවට පත්වී ඇත. සැක්සෆෝනය වාදනය කරමින් ගී ගයන ඇගේ සුන්දර රුව මේ දිනවල සමාජ මාධ්‍යයේ නිතර දක්නට ලැබෙයි. සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී චරිතයක් වන ඇය අද අප හා අත්දැකීම් බෙදාගත්තාය.


මාෂා කියන්නේ සැක්සෆෝනයේ සන්නාමය කිවුවත් හරි. මේ දිනවල ඔබ ගැන වැඩිපුර කතාබහට ලක් වෙනවා?


ඔව්. මගේ අලුත්ම සින්දුව ‘කුමාරයා’ පහුගියදා රිලීස් වුණා. ඒක මගේ ගායනය සහ සැක්සෆෝන් වාදනය කියන දෙකම ඇතුළත් පළමු ස්වනිර්මාණය. තුසිත කරුණාරත්න අයියගේ ආරාධනයෙන් කළ වෙනස් විදිහේ වැඩක්. පද රචනය වගේම සංගීතයත් විමල්ජිත් දොඹගහවත්ත සර්ගේ. මිරාන් තරිඳු අයියගේ ස්ටුඩියෝ එකේ ඔහුගේම අදහසකට එය රෙගේ ස්ටයිල් එකට කළේ. මේ වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන හරිම සතුටුයි.


ගුරුවරියක් විදිහටත් ඔබ කාර්යබහුලයි නේද?


මං මහනුවර විමලධර්මසූරිය ප්‍රාථමික විද්‍යාලයේ සංගීත ගුරුවරියක ලෙස සේවය කරනවා. ඊට අමතරව උපකාරක පන්ති පවත්වනවා. සැක්සෆෝන් වාදනය උගන්වන්න කියලත් ගොඩක් ඉල්ලීම් තියෙනවා. මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතුත් කරගෙන යන අතරේ සැක්සෆෝන් වාදනයේත් විභාග කිහිපයක් කරගන්න තියෙනවා. මේ සියල්ල අතරේ ආරාධනා ලැබෙන පරිදි ප්‍රසංගවලටත් සහභාගි වෙනවා.


මාෂා සැක්සෆෝනයට ලොකු සාධාරණයක් කළා කියලා බොහෝ දෙනෙක් කියනවා?


ඒ ගැන නිහතමානි සතුටක් දැනෙනවා. ඒකෙ ගෞරවය වැඩිපුර හිමිවෙන්න ඕන මගේ අම්මට. ඇය තමයි මගේ අතට සැක්සෆෝනය දෙන්නේ. ඇයට ඕන වුණේ වෙනසක් එක්ක ඉදිරියට යන්න. ඒ වෙනස ඇත්තටම සාර්ථක වුණා. ඊට කලිනුත් සැක්සෆෝන් වාදනය කරන කාන්තාවන් හිටියත් ඔවුන් ඉදිරියට ආවෙ නැහැ. මමත් මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ ගායිකාවක් විදිහට. නමුත් සැක්සෆෝනය නිසා තමයි මං සන්නාමයක් බවට පත් වෙන්නේ. මගේම නිර්මාණ කරද්දී සැක්සෆෝන් එක සම්බන්ධ කරගෙන කරන්න ඕන කියන අදහස මගේ හිතේ තිබුණා. පසුගියදා රිලීස් කරපු කුමාරයා ගීතය ගයන ගමන්ම මං සැක්සෆෝනයත් වාදනය කරනවා. ඉදිරියට එන්න තියෙන ගීත දෙකකටත් සැක්සෆෝනය යොදා ගන්න අදහස තියෙනවා.


ප්‍රතිචාර ගැනත් කතා කරමු?


ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. මේ ළඟදිත් මගේ යාළුවෙක් කිවුවා සැක්සෆෝනය දකිද්දි ඔයාවමයි මතක්වෙන්නේ කියලා. මේ වෙද්දි ගොඩක් අය සැක්සෆෝනය පැත්තට යොමු වෙලා තියනවා. විශේෂයෙන්ම ගැහැනු ළමයි. මම නිතර යන ෂොප් එකක අංකල් කෙනෙකුත් කිවුවා දැන් සැක්සෆෝන් විකිණෙනවා වැඩියි කියලා. ඒ වගේ දෙයක ආරම්භකයා වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඡේද ගණන් ලැබෙන කමෙන්ට්වලිනුත් ගොඩක් අගයනවා. එක් තරුණියක් කියල තිබුණා දවස පුරාම තියෙන පීඩනය නිදහස්කරගන්නේ රෑ නින්දට කලින් මගේ සැක්සෆෝන් වාදනය සහිත වීඩියෝවක් නරඹලා කියලා. ඒව අහද්දි පුදුමාකාර සතුටක් දැනෙනවා.


සැක්සෆෝන් වාදනය ඔබට අභියෝගයක් වුණේ නැද්ද?


මම කාලයක් පාසලේදි ට්‍රම්පට් ප්ලේ කළා. ඒ නිසා මං හිතුවා මට මේක අල්ලගන්න පහසු වේවි කියලා. ඇත්තටම මේක ගොඩක් අමාරුයි. විශේෂයෙන්ම ගැහැනු ළමයෙකුට. මුලින්ම අදාළ අභ්‍යාස අනිවාර්යයෙන්ම කරන්න ඕන. අභ්‍යාසය තමයි ගොඩක්ම වැදගත්.


සමාජයට සුවිශේෂී කාන්තාවක් විදිහට කාන්තාව වෙනුවෙන් දිනයක් වෙන් කිරීම සම්බන්ධයෙන් මොකද හිතෙන්නේ?


ඇත්තටම කාන්තාව අගයන්න ඇය ගැන මතක් කරන්න මෙහෙම දිනයක් තියෙන එක හොඳයි. උත්සාහය, කැපවීම තියේනම් කාන්තාවට කරන්න බැරි දෙයක් නැහැ. මගේ අම්මගෙන් මං ඒක දැක්කා. මම ටිකක් ඉස්සරහට එන්න අකමැති චරිතයක්. නමුත් මගේ අම්මට ලොකු හීනයක් තිබුණා. ඇය තමයි මාව උනන්දු කරවලා අද මේ ඉන්න තැනට ගෙනාවේ. කාන්තාවට ඉස්සරහට යන්න කෙටි මාර්ග ඕනතරම් තියෙනවා. ඒ වගේ මාර්ගවල ගිහින් ජීවිත විනාශ කරගන්නෙ නැතුව තමන්ගේ දක්ෂතාවලින් ඉදිරියට ගිහින් ලෝකය දිනන්න කියලා මං කාන්තාවට ආරාධනා කරනවා

gossiplanka image 1
Previous Post Next Post