මට මගේම ව්‍යාපාරයක් කරන්න ඕනෑ කියන හැඟීම ඉස්සර ඉඳන්ම තිබුණා - නයෝමි තක්ෂිලා

gossiplanka image 2
 

ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම ව්‍යාපාරිකාවක් ලෙසද ජනප්‍රියවී සිටින නයෝමි තක්ෂිලා මේ වනවිට තම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරමින් සිටින්නීය. ජනප්‍රියම නිළිය මෙන්ම හොඳම නිළිය ලෙසින්ද සම්මානයට පාත්‍රවී ඇති මේ දිරිය දියණිය සුවිශේෂී කාන්තා චරිතයක් ලෙස සමාජගතව සිටින්නීය. ‘නීල පබළු’හි පූජා, ‘අඳුන්ගිර’ පත්මා මෙන්ම මේ දිනවල ඉතාම ජනප්‍රිය ‘බැද්ද අද්දර’ සඳලි ද ඇගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයයන්ය. තම දේශීය නිෂ්පාදන හරහා රට තුළට ඩොලර් ගෙන එන මඟක් විවර කළ ඇය මේ පුංචි දේශයට වටිනාකමක් එක්කරමින් සිටින්නීය. අද අප හා එක්වූවේ ඇයයි.


මේ වනවිට ඔබ ව්‍යාපාරිකාවක් විදිහටත් කාර්යබහුලයි. ‘බැද්ද අද්දර’ සඳලි කියන්නේ ඔබට ලැබුණු හොඳම අවස්ථාවක් නේද?


ඇත්තටම ඔව්. මේ දවස්වල අපි ‘බැද්ද අද්දර’ රූගත කිරීම් අවසන් කරගෙන යන ගමන්. සමන්ත කුමාර ගමගේගේ තිරපිටපත අධ්‍යක්ෂණය කරන්නේ බුද්ධික ලොකුකැටියගේ. බුද්ධික අයියා මට මේකට කතා කරද්දි මං ගල්ගමුවේම වෙන වැඩකට සම්බන්ධ වෙලා හිටියේ. ඔහු ලොකේෂන් එකටම ඇවිත් මට පිටපත දුන්නා. මං පහුවෙනිදම කතා කරලා කැමතියි කිව්වා. බුද්ධික කියන්නේ අපිට උපරිම නිදහස දෙන හරිම මිත්‍රශීලී අධ්‍යක්ෂවරයෙක්. මේක ගමක කතාවක්. ගමෙන් පිට ඉන්න අයට ගම සුන්දරයි කියලා පෙනුණට ඒ සුන්දරත්වය ඇතුළෙ කොතරම් කටුකත්වයක් තියෙනවද කියන එක දන්නේ ඒ ගම්වල ජීවත්වෙන මිනිස්සු විතරයි. සඳලි කියන්නෙත් ගමේ වැඩවලට සහාය වන අහිංසක නමුත් නිර්භීත තරුණියක්.


මේක සැබෑම අත්දැකීමක් පාදක කරගෙන ලියවුණු තිරපිටපතක් නේද?


ඔව්. සමන්ත අයියාත් අනුරාධපුරේ. මේකෙ තියෙන ගොඩක් දේවල් ඔහුගේ අත්දැකීම්. මේක මිනිස්සුන්ට මේ තරම් දැනෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති. ඔහු ගමේ සුන්දරත්වය වගේම කටුකත්වයත් අත්දැකපු කෙනෙක්. ඒ නිසාම වෙන්න ඇති ඒ දේවල් මේතරම් තාත්විකව ලියවෙන්නේ. අනිත් විශේෂත්වය තමයි මේ පිටපතේ ලොකු කුඩා හැම චරිතයකටම කරන්න දෙයක් තියෙනවා. මං ප්‍රධානයි කියල නෑ. අනෙක් හැම චරිතයක්ම වගේ ඉස්මතු කරනවා. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේ ලියවෙන්න පිටපත් රචකයා ගොඩක්ම දක්ෂයෙක් වෙන්න ඕන. අලි-මිනිස් ගැටුම ගැන කතා කරද්දි වුණත් ඔහු ඒකෙ දෙපැත්තම හරි ලස්සනට කතා කරනවා.


ඔබත් ග්‍රාමීය පරිසරයක හැදුණු කෙනෙක් නිසා තිරපිටපතේ සමීප බවක් දැනෙනවා ඇති?


ඔව්. බැද්ද අද්දර රූගත කෙරුණේ ගල්ගමුවෙන් ටිකක් ඇතුළට වෙන්න. මං හැදුණෙ වැඩුණෙත් ඔය වගේ පරිසරයක. ඉස්සර අපි ඉස්කෝලෙ ඇරිලා එද්දි කොහොමත් කැලෑවල ඇවිදලා, ගඩාගෙඩි කාලා පැයක් දෙකක් පරක්කු වෙලා තමයි ගෙදර එන්නේ. ඒ නිසා මට ඒක නුහුරු අත්දැකීමක් වුණේ නැහැ. වගා කරන එක, ගහට කොළට කතා කරන එක පුංචි කාලෙ ඉඳන්ම මං පුරුද්දක් විදිහට කළා. ඒ නිසා සමන්ත අයියගේ තිරපිටපත තේරුම් ගන්න මට ගොඩක් පහසු වුණා.


ඔබයි චමීරයි අවස්ථා කිහිපයකදීම පෙම්වතුන් වුණා. මෙතනදි ඔහු දුෂ්ටයා වෙලා ඔබට අලුත් පෙම්වතෙක් ලැබිලා. මොකද හිතෙන්නේ?


මේ ධනුෂ්කයි මායි හමුවෙන පළමු අවස්ථාව. අපි එයාට කියන්නෙ අලි මහත්තයා කියලා. හරිම සන්සුන්, වැඩ කරන්න පහසු සපෝටිව් කෙනෙක්. සඳලිගේ කැරැක්ටර් එක ගොඩනඟාගන්න ඒ සහයෝගය හරිම වටිනවා. මෙතනදි චමීර දුෂ්ටයා වුණාට ඔහුයි මායි අවස්ථා කිහිපයකදීම පෙම්වතුන් වෙලා හිටියා. අපිටත් හිතුණා මේක මෙහෙම වුණු එක හොඳයි කියලා. මොකද රන්තිලිවැවේ වුණත් අපි දෙන්නගෙ ආදරේ තමයි ගොඩක්ම ඉස්මතු වුණේ. මෙතනදි ඒක කැඩිලා වෙනස් පැත්තකට යොමුවීම හොඳයි කියලා අපි දෙන්නත් කතා වුණා. අපි දෙන්නා පෙම්වතුන් විදිහට දකින්න කැමැති ප්‍රේක්ෂකයින්ට නම් ඒක ගැටලුවක් වෙලා තිබුණා. මෙච්චර කල් ආදරෙන් ඉඳලා කොහොමද එකපාරටම වෛරයක් ඇති වුණේ කියලා ගොඩක් දෙනෙක් අහල තිබුණා. සුදු මහත්තයාට බණින විදිහට ප්‍රතික්ෂේප කරන විදිහට කොහොමද ඔච්චර නපුරු වුණේ කියලත් අහනවා.


ඒ පරිසරයේ බයිසිකලය පදින එකත් ලේසි නෑ නේද? ඒ අත්දැකීම කොහොමද?


ඇත්තටම පුංචි කාලෙ මට බයිසිකලයක් තිබුණෙ නැහැ. යාළුවොන්ගෙ ඒව ඉල්ලගෙන පැද්දේ. ටිකක් ලොකු වුණහම බයිසිකලයක් ලැබුණත් පදින්න එච්චරම බැලන්ස් තිබුණෙ නැහැ. ටිකක් පදින්න පුළුවන්කම තිබුණා. ඒ නිසා ඉක්මනින් අල්ලගන්න පුළුවන් වුණා. මේක ටිකක් ලොකු බයිසිකලයක් නිසා මට බැලන්ස් කරගන්න අමාරුයි. සමහර වෙලාවට වැටෙනවා. නවත්තගන්න බැරුව කැලෑවටම ගිය අවස්ථාත් තිබුණා.


අඳුන්ගිර පත්මා කියන්නෙත් මේ වගේම අභියෝගයක් නේද?


පත්මා සඳලිට වඩා වෙනස්. ඇය විවාහ වෙලා මැදි වයස ගත කරන කාන්තාවක්. අඳුන්ගිර ඉන්දික ධර්මතිලකගේ අධ්‍යක්ෂණයක්. නුවනි වලිමුණිගේ නිෂ්පාදනයක්. මට අවස්ථාව ලැබෙන්නේ නුවනි අක්කා හරහා. පත්මා විදිහට මගේ උපරිම දක්ෂතාව පෙන්වන්න අවස්ථාවක් ලබාදීම ගැන මං ඇයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.


ඔබ රංගනයෙන් දායක වන නිර්මාණ කිහිපයක්ම මේ දිනවල විකාශය වනවා?


බැද්ද අද්දරට අමතරව ජගත් බෙනරගමගේ ‘මම සහ ඔබ’ ටෙලි නිර්මාණය විකාශය වෙනවා. රෙහාන් රවීන්ද්‍රගේ තිරපිටපතක්. මාළු විකුණන තරුණියකගේ වෙනස්ම අත්දැකීමක්. මාළු ලෑල්ලේ මාළු කපන්න, මාළු විකුණන්නත් සිද්දවුණා. ඒ මං අත්දැකීමටත් ගොඩක් කැමතියි. ඒක මට සුවිශේෂීයි.


අනෙක් ටෙලි නිර්මාණය අම්මා. ළමයි නැතුව ඉඳලා ළමයෙක් අරන් හදා ගන්න අම්මා කෙනෙක්. ඊට පස්සේ ඇයට ළමයෙක් ලැබෙනවා. ඒ සියල්ල හමුවේ එන ගැටලුවලින් ඇය මානසික අවපීඩනයකට ලක්වෙනවා. අනෙක් චරිතත් එක්ක බලද්දි ඒ චරිතයේ වෙනසට මං කැමතියි.


ප්‍රධාන චරිතය නොවුණත් ඔබට ලැබෙන ඕනෙම චරිතයක් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වෙනවා නේද?


ඒක ඇත්ත. විකාශය වුණු සමහර නිර්මාණවල මට ලැබුණෙ ප්‍රධාන චරිතයම නොවුණත් කතාව ගලාගෙන යද්දි ප්‍රධාන චරිතය තරමටම ගලාගෙන ගියා. උදාහරණයකට නීලපබළු එකේ පූජා ගන්න පුළුවන්. ඇත්තටම මට ලැබුණෙම යමක් කරන්න පුළුවන් වෙනස් චරිත. ඒක මගේ වාසනාවක්.


ඔබ මේ දවස්වල වේදිකාවෙත් බහුලව දකින්න ලැබෙන චරිතයක්?


මේ දවස්වල මං රංගනයෙන් දායක වන වේදිකා නිර්මාණ තුනක් තියෙනවා. එකක් චාලක රණසූරියගේ අටවන බුවනෙක. ඒක මේ දවස්වල දර්ශන වාර ගොඩක් ලැබෙන ජනප්‍රිය නාට්‍යයක්. ඒ වගේම 2015 වසරේ මට හොඳම නිළිය සම්මානය ලැබුණු ‘හිනාවෙලා මිනිත්තුවක්’ වේදිකා නිර්මාණය වගේම සචිත්‍ර රාහුබද්ධගේ ‘හිතට වැටුණු මිසයිල’ වේදිකා නිර්මාණයත් ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම සරත් දික්කුඹුරගේ ‘කෝලම්කාරයෝ’ වේදිකාවට අලුත්ම සංකල්පයක් ගෙනාව වේදිකා නිර්මාණයක්.


වේදිකාව ඔබට තාම අභියෝගයක් වෙලා නැද්ද ?


AI තාක්ෂණය වේදිකාව මතට ගෙන ඒම නිසා ‘කෝලම්කාරයෝ’ ටිකක් අභියෝගාත්මක නිර්මාණයක් වුණා. පුහුණුවීම් කරලා වේදිකාගත වෙනතුරුම අපි පුදුම බයකින් හිටිය නිර්මාණයක්. පළමුවතාවට AI තාක්ෂණය යොදාගැනීම අපට අලුත් අත්දැකීමක් වුණා. වේදිකාව පිටුපසින් පෙනෙන ඩිජිටල් තිරයත් එක්කයි අපිට වේදිකාවේ රඟපාන්න වුණේ. එතනදි ටයිමින් ගොඩක්ම වැදගත්. එක තත්පරෙත් ගොඩක් වටිනවා. මොකද තිරයත් එක්ක දෙබස පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් නාට්‍ය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අවදානමක් අරන් හරිම බයෙන් කළ නිර්මාණයක්. ලංකාවේ පළමුවැනි වතාවට මේ වගේ වේදිකා නාට්‍යක් කළේ. මේ වෙද්දි ඉතාලි සංචාරයකට ආරාධනා ලැබිල තියෙනවා.


මේ වෙද්දි ඔබ සාර්ථක ව්‍යාපාරිකාවක් විදිහටත් ජනගත වෙලා. කොහොමද ඒකට අඩිතාලම වැටෙන්නේ?


පුංචි කාලෙ ඉඳන්ම මට ලොකු වුවමනාවක් තිබුණා මගේ වියදම් මමම දරාගන්න. පුංචිම කාලෙ මමයි මගේ යාළුවයි එකතු වෙලා කොහොඹ ඇට එකතු කරලා කඩේට දීල සල්ලි අරගෙන අපට ඕන දේවල් ගත්තා. මගේම කියලා දෙයක් කරන්න ඕන කියන එක මට දැනුණේ පුංචිම කාලෙදි. කොළඹ ඇවිත් රංගනයට යොමු වෙලා ඒකෙන් මුදලක් ලැබෙද්දී ව්‍යාපාරික අදහස ටිකක් යටපත් වුණා. රඟපාන එක හැමදාම කරන්න බෑ වගේම විවාහ ජිවිතේකට ගියත් හැමදාම සැමියාගෙන්ම යැපෙන්න බෑ කියන එක මගේ ඔළුවෙ නිතරම තිබුණා. මගේම දෙයක් කරන්න ඕන කියන හැඟීම හැමදාමත් තිබුණා. ඒ වෙද්දි මගේ අම්මයි තාත්තයි අක්කර ගාණක නෙළුම් මල් වගා කරල තිබුණා. කොරෝනාත් එක්ක ඒවා මිලදී ගන්න ආයතන වැහුණ නිසා අක්කර ගාණක මල් වගාවට කරන්න දෙයක් නැති වුණා. එතනදි මට කල්පනා වුණා මේකෙන්ම මට ගොඩයන්න ක්‍රමයක් හදාගන්න පුළුවන් නේද කියලා. ඒත් එක්කම මං නිල් මානෙල් මලෙන් කරන්න පුළුවන් මොනවද කියලා හොයල බැලුවා. ලස්සන වෙන පැත්තෙන් කරන්න පුළුවන් මොනවද? ආයුර්වේදය පැත්තෙන් කරන්න පුළුවන් මොනවද? කියලා හෙව්වා. ගොඩක් ප්‍රතිලාභ ලබාගන්න පුළුවන් බව දැනගත්තා. ඊටත් පස්සේ මං අදාළ වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙන අදාළ ආයතනවලින් අවසර අරගෙන නයෝටා නමින් නිල් මානෙල් මලෙන් නිෂ්පාදනයක් කරන්න පටන් ගත්තා. මේ වෙද්දි නිෂ්පාදන පහළොවක් විතර දේශීය වෙළෙඳපොළට වගේම විදේශීය වෙළෙඳපොළටත් නිකුත් කරල තියෙනවා. හිතුවට වඩා ගොඩක් සාර්ථකයි. දැනට මට නිෂ්පාදනාගාරයක් නැති නිසා කොළඹ කරගෙන යනවා. ඉස්සරහට අනුරාධපුරයට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.


කාන්තාව වෙනුවෙන් මේ වගේ දිනයක් වෙන්කිරීම ගැන නයෝමිගෙ අදහස මොකක්ද?


ඇත්තටම කාන්තාව වෙනුවෙන් මේ වගේ දිනයක් තියෙන එක හොඳයි. කාන්තාව හැමදේකටම මුල් වෙද්දිත් අතීතයේ කාන්තාවට ලැබුණේ පහත් තැනක්. පුංචි කාලෙ තාත්තගෙන් යැපෙන්නත් විවාහයෙන් පස්සේ සැමියාගෙන් යැපෙන්නත් සිදුවුණා. දැන් ඒක එහෙම නෑ. කාන්තාව මුදල් උපයනවා. මොන ක්ෂේත්‍රය ගත්තත් කාන්තාව ඉදිරියෙන් ඉන්නවා. මං හරිම කැමැතියි එහෙම සමාජයක් බිහිවුණාට. ඒ නිසා කාන්තාව වෙනුවෙන් දිනයක් වෙන්කිරීම සතුටක්. විශේෂයෙන්ම ඒ දවසේවත් කාන්තාව ගැන කතා කරන එක ඔවුන් සතුටට පත්කරන එක ගොඩක් හොඳයි.

gossiplanka image 1
Previous Post Next Post