කාන්තාවගේ සුවිශේෂී පැතිකඩක් නිරූපණය කරන නාමලී ඔබට දැනෙන්නේ කොහොමද?
නාමලී කියන්නේ ලංකාවේ සාමාන්‍ය සාම්ප්‍රදායික පරිසරයක ජීවත් වන අතිබහුතර කාන්තාවගේ නියෝජනයක් කිවුවොත් හරි. ඒ නිසාම ඇය මිනිසුන්ට දැනෙනවා වැඩියි. ඇය අපේ කලාපීය චින්තන රටාව තුළ ජීවත්වන ගැහැනියක්. මොන දේ වුණත් ඇය තමන්ට තමන්ව අහිමි කරගෙන අම්මා, බිරිය කියන භූමිකා වෙනුවෙන් සියල්ල කැප කරගෙන ජීවත්වන ගැහැනියක්. “මම සතුටින් ජීවත්වෙන ගැහැනියක් නෙවෙයි“ කියන එක ඇගේ කටින්ම කියවෙනවා. මට කෙල්ලො හතරදෙනෙක් ඉන්නේ. මට යුතුකමක් තියෙනවා. මොනවා වුණත් ඒ මගේ කසාද මිනිහා කියල ඇය ඒ සියල්ල දරා ගන්නවා.
බොහෝ දෙනෙක් සැබෑ ජීවිතයේත් ඔබෙන් නාමලීව හොයනවා නේද?
ඇත්තටම අද කාලෙත් මේ වගේ චරිත ඉන්නවා. වෙනස තියෙන්නේ හිතන විදිහේ විතරයි. ඉතාම සුළුතරයක් විතරක් මේ චින්තන රටාවෙන් බැහැරවෙලා තමන් කැමති ජීවිතය හොයාගෙන ගියත් නාමලී වගේ ජීවත් වන බහුතරයක් ඉන්නවා. ඒ නිසා මට හිතෙන්නේ මේක මේ කාලයට සාපේක්ෂ සිදුවන දෙයක් නෙවෙයි. සිතුම් පැතුම්වල වෙනසට සිද්ධ වෙන දෙයක්.
ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර ඉතාම ඉහළයි. වෙලාවකට බයත් හිතෙනවා. සාමාන්‍ය ජීවිතේදීත් උමා තුළින් නාමලීව දකින බොහෝ පිරිසක් ඉන්නවා. ඒ තරමටම ඔවුන්ට එය දැනිලා. මට දැන් සාමාන්‍ය ජීවිතේත් චරිතෙත් එක්කම ජීවත් වෙන්න වෙලා. ඒක මට දරාගන්න අමාරුයි. ඇත්තටම ප්‍රේක්ෂකාගාරය ගැන ගොඩක් සතුටුයි. අපි කවදාවත් දොරකඩ දෙවොල වගේ නාට්‍යයක් බලයි කියල හිතන්නෙ නැති අය පවා බලනවා. යූකේවල ඉන්න ගොඩක් අය බලලා මැසේජ් කරනවා. පහුගිය දවසක මං හැව්ලොක් සිටි එකේ ඉඳන් එද්දි යූකේවල ඉඳන් ආව විවිධ වයස් සීමාවල හිටිය කණ්ඩායමක් ඉන්නෙ කොහේද කියලත් අමතක කරලා කෑගහගෙන දුවගෙන ඇවිත් කතා කළා.
නාමලී කියන්නේ යකඩ ගැහැනියක්. ඒ අභියෝගය මේ තරම් හොඳට ජයගත්තේ කොහොමද?
අධ්‍යක්ෂ ලලිත් අයියා වගේම රචිකාවිය තරංගා අක්කා පුංචි කාලෙ ඉඳන්ම ඔය පරිසරයේ හැදිලා අත්දැකීම් ලබපු අය. ඒත් මම කවදාවත් එහෙම අත්දැකීම් ලබලා නැහැ. අඩුම ගානේ මගේ අම්මා තාත්තාගෙන්වත් දැකලා තිබුණෙ නැහැ. ඒ නිසා නාමලීගේ හැම හැඟීමක්ම මට අලුත්. මම හැමදේම කළේ ලලිත් අයියාගෙන් අහගෙන. මම කියවලා තිබුණු සමහර පොත්පත් නාමලීගේ චරිතෙත් එක්ක ලින්ක් වුණු අවස්ථා තිබුණා. දොරකඩ දෙවොල සීන් එකෙන් සීන් එකට මට නැවුම් අත්දැකීම් එකතු කළා.
නිමක් නැති දුක්ගැහැටවලට මුහුණ දෙන චරිතයක් නිරූපණය කරද්දි දුෂ්කරතාවලට මුහුණ දෙන්න ඇති?
මේ නිර්මාණයේ කිසිම තැනක් මට අමතක වෙන්නෙ නැහැ. ලලිත් අයියා දැකල තිබුණු ගැහැනිය හරිම කඩිසරයි. ඇය මොනම වෙලාවකවත් නිකරුණේ ඉන්න කැමැති ගැහැනියක් නෙවෙයි. දරුවන්ගේ, ගෙදරදොරේ වැඩ ඇරුණම මුං හිටවන්න, කුඹුරු කොටන්න, වත්තපිටිය උදලුගාන්න වෙන කිසිම වැඩක් නැත්නම් පොල් අතු වියන්න හරි තිබුණා. මාණික්කාවත ෆී ප්‍රඩක්ෂන් එකේදි ලබපු අත්දැකීම්වලින් මට කැත්ත, උදැල්ල අල්ලන හුරුව ලැබුණත් මෙතනදි කුඹුරු කොටන, මුං හිටවන, පොළොව කොටන විදිහ ඊට වෙනස්. ඒක පහසුවෙන් අල්ලගන්න මට ඒ අත්දැකීම් ඉවහල් වුණා. ඒ නිසා ගෞරවයෙන් සීමිත කොටසක් මාණික්කාවතටත් හිමිවෙන්න ඕන. එතනදි මට තිබුණේ පරිහරණයේ හුරුවක් මිස තාක්ෂණික පුහුණුවක් නෙවෙයි. අනිත් ඔක්කොම මේ මොහොතේ ඉගෙනගත්ත දේවල්.
කාන්තාව විවිධ පැතිකඩ ඔස්සේ නියෝජනය කරනවා. ඇය වෙනුවෙන් දිනයක් වෙන්කිරීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒක හොඳයි. දිනයක් වෙන්කිරීම තුළ හරි මතක් කරන්න ඉඩක් හදන එක ලොකු දෙයක්. එක දවසක් නෙවෙයි හැමදාම සිතිය යුතුයි කියලා කීමට කිවුවත් එහෙම නොවන නිසා මේ වගේ එක දිනයක් හරි වෙන්කිරීම හොඳයි කියන අදහසේ මං ඉන්නේ. ඕනෙම දෙයක් ගැන තියෙන චින්තනය කාලයට සාපේක්ෂව පරිණාමය වෙනවා. කාන්තාව ගැන අර්ථ දැක්වීම වුණත් එහෙමයි. ඒ කාලේ කාන්තාව ගෙදර පරිපාලනය පැත්ත බලද්දි පිරිමියා උපයන පැත්ත බැලුවා. අද කාන්තාව පරිපාලනය බලන ගමන් උපයන පැත්තටත් යොමු වෙලා. මිනුම් දඬු වෙනස්වෙලා. ගැහැනිය ස්වාධීන වෙලා. ඒ කාලෙ සාර්ථක ගැහැනියක් වුණේ දරුවන් ගොඩක් වදන ගැහැනිය වුණත් අද එයත් වෙනස් වෙලා.