ලාංකේය සිනමාවේ සුවිශේෂී , ප්‍රබල කාන්තා චරිත රැසක් නිරූපණය කරන්න ඔබට අවස්ථාව ලැබුණා. අද වගේ දිනක ඒ ගැන සිහිපත් කළොත්?
‘දුහුළු මලක්’ චිත්‍රපටයේ නිලූපා, කෙළිලොල් තරුණියක්. ඇය සැමියාගෙන් නොලද සුවය වෙනත් පිරිමියෙක්ගෙන් සොයාගන්න උත්සාහ කරනවා. තමන්ට සිදුවන හිරිහැර ඉවසිය නොහැකි තැන සැනසීම සොයා මෙහෙණියගේ භූමිකාවක් මං ‘ලසඳා’හි රඟපෑවා. ‘හදවත් නැත්තෝ’ හි ගණිකාවකගේ චරිතයක්. දෙවරක් මෙහෙණින් වහන්සේගේ චරිතය රඟපාලා තියෙනවා. ඒ කාන්තාවන් මහණ වුණේ සමාජයෙන් කාන්තාවට සිදුවෙන හිරිහැරවලින් බේරෙන්න. මගේම නිෂ්පාදනයක් වුණු ‘සූරියකාන්ත’ හි චරිතය දරුවන් නිසා යෑමට තිබූ මාර්ගය වෙනස් කරගත් කතක්. ‘බඹර වළල්ල’ චිත්‍රපටයේ උන්මත්තක මවක්. ඇය ඒ තත්ත්වයට පත්වන්නේ තමන්ගේ දියණියට සිදුවුණු අසාධාරණයක් නිසා. ‘පවුරු වළලු’හි වයලට් කියන්නේ මගේ රංගන දිවියේ සුවිශේෂී කඩයිමක්. තරුණ දියණියන් දෙදෙනෙකු සිටින වයලට් තමන්ගේ පළමු ප්‍රේමයට තාමත් ආදරය කරනවා. ඇයත් ආදරේ නිසා උන්මත්තක තත්ත්වයට පත්වෙනවා. ‘පාංශු’ හි ඩෝබි චරිතයක් වන බබා නෝනාට විශේෂ පුහුණුවීම් කරන්නත් වුණා. ‘නිසලගිර’ හි ඇමැති බිරිඳ දරුවාගේ වියෝවෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා අවසානයේ සිරගෙට යනවා. මං රඟපෑ ගොඩක් චරිතවලින් කාන්තාවගේ විවිධ මානසිකත්වයන් නිරූපණය වුණා. මා සිනමාවේ රඟපෑ කාන්තා චරිතවලින් කාන්තාවගේ ආධ්‍යාත්මය ගැඹුරින් පිළිබිඹු කළා.
ඔබේ රංගනය ජාත්‍යන්තරයේත් ඇගයීමට ලක්වුණා නේද?
ඔව්. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පවුරු වළලු’හි වයලට්ගේ රංගනයට සිංගප්පූරුවේ 11 වැනි ජාත්‍යන්තර සම්මාන උලෙළේ අගැයුමට ලක්වුණා. විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ ‘පාංශු’ හි බබා නෝනා ප්‍රංසයේ නීස් සම්මාන උලෙළේදී හොඳම නිළිය සම්මානය ලබා ගත්තා.
පසුගිය වසරේ කාන්තා දිනයදා තිරගත වුණු ‘තේජා’ ගැන කතා කරනවා නම්?
නිලන්ත හපන්වීර අධ්‍යක්ෂණය කළ ‘තේජා’ චිත්‍රපටයේ මම තේජා. සැමියා අනතුරකින් එක්තැන් වීමත් එක්ක පවුල ගෙනියන්නෙත් ඇය. සැමියා වෙනුවෙන් වන්දියක්වත් ලැබෙන්නෙ නැහැ. ඊට පස්සේ ඇය ඇඟලුම් කම්හලක රැකියාවට යනවා. එහිදී සිදුවන අකටයුතුකම් ඇය දකිනවා. කම්හලේ සේවිකාවන් එක්ක එහි පරිපාලනයට විරුද්ධව නැඟී සිටින්නට ඇය පෙළඹෙනවා . එහිදී ඇය කඳුළු ගෑස්, මැර ප්‍රහාරයන්ට ලක්වෙනවා. තේජාගේ අත කැඩී රෝහල්ගත වුණත් බැන්ඩේජ් පිටින්ම ඇවිත් ස්ටේජ් එකට නඟිනවා. ‘තේජා’ තුළින් ප්‍රබල කාන්තා හඬක් නියෝජනය වෙනවා . තේජා ගිය වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයදා තිරගත වීමත් විශේෂයි.
වත්මන් සිනමාව ගැන මොකද හිතන්නේ ?
අද වෙද්දි සිනමාවේ හොඳ චිත්‍රපට, දක්ෂ අධ්‍යක්ෂවරු, දක්ෂ නළුනිළියන් බිහිවෙමින් තිබෙනවා. තාක්ෂණික අතින් ඉතා දියුණුයි. චිත්‍රපට බලන්න මිනිස්සු සිනමා ශාලාවලට එනවා. 70 දශකයේ තිබූ ඒ ස්වර්ණමය යුගය යළි පැමිණේවා කියා ප්‍රාර්ථනා කරනවා.
පසුගිය දිනවල ‘රිදී දෝලිය’ට එක්වුණා නේද?
ඔව්, චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කරන ‘රිදී දෝලිය’ සිනමාපටයට රංගනයෙන් දායක වුණා. ‘මාගම් සෝලිය‘ අධ්‍යක්ෂණය කළේත් ඔහු. රිදී දෝලියේ මම කළේ ආදරය සොයා යන චිත්‍රපට අධ්‍යක්ෂවරියකගේ චරිතයක්. මනසින් සොයාගිය ඒ ආදරය තුළින් ඇය කතාවක් ලියා අධ්‍යක්ෂණය කරනවා. අතීතයේ තිබූ ආදරයක් යළි සොයා යෑමක්.
මෙරට කතුන් ඇත්තටම සැබෑ නිදහස භුක්ති විඳිනවා කියලා හිතෙනවද?
කවුරු කොහොම කිව්වත් කාන්තාවට නම් නිදහසක් නැහැ. නිදහස තිබුණත් එයට බාධා කරන්න පිරිමියාට අයිතියක් තිබෙනවා කියන හැඟීමක් සමාජය තුළ තිබෙනවා. අද කාන්තාව බොහෝ අංශවලින් ඉදිරියට එමින් සිටිනවා. විවිධ නිලතල දරනවා. පිරිමින්ව නම්මවාගන්න වුණත් කාන්තාව ශක්තිමත්. මවකගේ භූමිකාව කරන ගමන් එන ප්‍රශ්න විසඳගන්නත් ද බාධා බිඳගෙන ඉදිරියට යන්නත් අද කාන්තාවට ශක්තිය තියෙනවා.
කාන්තා දිනය වෙනුවෙන් ඔබටත් යමක් කියන්න ඇති?
හැම කාන්තාවකටම මම කියන්නේ ඔබ නොසෙල්වෙන කතක් විය යුතුයි. කාන්තාවක් ලෙස අපට ලොකු ශක්තියක් තිබෙනවා. අකැමැත්තෙන් වුණත් කියනවා ඒ ශක්තිය පිරිමියාට නැහැ කියලා. බය නැතුව ඉදිරියට යන්න. අද දවසේ මම සෑම කාන්තාවකටම සුබ පතනවා .