ඇය කලා ක්ෂේත්‍රයේ එදත් අදත් එකසේ ජනප්‍රියයි. රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් වන ඇය මේ දිනවල රොන් සොයා ටෙලි නාට්‍ය හරහා ඔබේ ආලින්දයට ගොඩවෙනවා. ඇය නමින් නිරෝෂා තලගල. මෙවර ‘හදගැස්ම‘ට මේ සොඳුරු කතාබහ ඇයගෙන්.
මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද?
අලුත් වැඩ කටයුතු කිහිපයකම වැඩ අවසන් කළා. දැනට විකාශය වන “රොන් සොයා“ ටෙලි නාට්‍යයේ ෂූටින්වලටත් සම්බන්ධ වෙනවා. අප්‍රේල් ළංවන නිසා ගොඩක් ප්‍රසංග වැඩසටහන් එහෙම තිබෙනවානේ. ඒවාටත් හෙමින් හෙමින් සූදානම් වෙමින් ඉන්නවා. අලුත් වැඩ කටයුතු කියලා ගොඩක් නෑ. ඩාන්සින් ක්ලාස් එකේ වැඩකටයුතුත් කරගෙන යනවා. ඉතින් සාමාන්‍ය විධියට භාරගත්ත වැඩ කටයුතු ටික කරගෙන යනවා.
“රොන් සොයා“ ටෙලි නාට්‍යයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
“රොන් සොයා“ නාට්‍යයට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. නමුත් ඒක කවුරුත් බලාපොරොත්තු නොවුණු චරිතයක්. ඉතින් මම රංගන ශිල්පිනියක් විධියට මගේ චරිතයට පුළුවන් උපරිම සාධාරණත්වය ඉෂ්ට කරනවා. කතාව එක්ක ඉන්න අයගෙන් නම් බැනුම් අහනවා. නමුත් ඔවුන් නැවත ඒක මගේ තවත් එක චරිතයක් කියන තැනට ඇවිත් බොහොම ආදරයෙන් මාව වැළඳ ගන්නවා. කාලෙකින් ලැබුණ වෙනස් චරිතයක්. බොහොම හොඳ ප්‍රතිචාර තිබෙනවා.
ඔබ එදත් අදත් එක සේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වය රඳවා ගැනීමේ රහස කියමු?
මට ලැබුණ චරිත සහ මම මේ තාක් කරපු හැම චරිතයක්ම ප්‍රේක්ෂකයන්ගේ හදවතේ සියයට අසූවක් අනූවක් රැඳුණු චරිත කියලා මම විශ්වාස කරනවා. මම කෘතියක ප්‍රධාන චරිතයක්ද අප්‍රධාන චරිතයක්ද කියලා හොයන කෙනෙක් නෙවෙයි. මට චරිතයක් තුළ කරන්න යමක් තිබෙනවා නම් මම ඒක ලෝභ නැතුව භාරගන්න කෙනෙක්. ඉතින් මේ තාක් කරපු චරිතවලට මම සාධාරණත්වයක් ඉටු කළා කියලා විශ්වාස කරනවා. ඒ සාධාරණත්වය තුළින් ප්‍රේක්ෂකයන් මාව වැළඳ ගැනීම නිසා තමයි මම එදා මෙන්ම අදත් ප්‍රේක්ෂකයන්ගේ හදවත තුළ බොහොම ආදරණීයව ඉන්නේ.
පුංචි තිරයට – සිනමාවට දැන් දැන් වෙනස් විධියේ නිර්මාණ බිහිවෙනවා. ඒ ගැන ඔබේ අදහස?
ඒක හොඳ දෙයක් විධියට මම දකිනවා. මම හිතන්නේ අපි සියලුම දෙනා එකම තැනක ඉන්න ඕනෑ නෑ. ලෝකය වෙනස් වෙනකොට කලාව වෙනස් වෙනකොට අපි විතරක් එක තැනක ඉන්න ඕනෑ නෑ. ඕනෑම ක්ෂේත්‍රයක් අප්ඩේට් විය යුතුයි. මනුෂ්‍යයා තුළ තිබෙන ඒ කලා රසයට සහ නිර්මාණාත්මක දේවල්වලට හානියක් නොවී එක එක හැඩතල මැවෙන විධියට එක එක දේවල්වලට යන්න පුළුවන් නම් කලාව තුළින් තව කරන්න පුළුවන් බොහෝ දේවල් තිබෙනවා. ඒ වෙනසට මම ආසයි. සිනමාවේ නම් දැවැන්ත වෙනසක් මම දකිනවා. ඒ වෙනස මීට කලින් වෙන්න තිබුණා නම් කියන හැඟීමක් තිබුණා.
නමුත් දැන් දැන් ඒ වෙනසත් එක්ක ඉදිරියට යෑම අපේ හැටේ හැත්තෑවේ දශකයේ සිනමාවේ තිබුණ ඒ තැන නැවතත් එන්න ගත්ත ආරම්භයක් විධියට මම දකිනවා.
ඔබ පුංචි තිරයේ දකින්නට ලැබෙනවා අඩුයි නේද? විශේෂ හේතුවක් තිබෙනවාද?
පහුගිය කාලයේ මට චිත්‍රපට කිහිපයකට දායකත්වය දක්වන්න සිද්ධ වුණා. මාසයක් එකහමාරක් ගිය අවුරුද්දේ විදේශ ගතවෙලා හිටියා. ඒත් එක්ක ටිකක් ඈත් වෙන්න සිද්ධ වුණා. ඒකත් එක්ක චිත්‍රපටවලටම දායක වෙලා ඉන්නකොට ටෙලි නාට්‍ය එකක් දෙකක් මට මඟහැරුණා. ඒ වගේම ලැබුණු ගොඩක් චරිත මට දැන්ම කරන්න ඕනෑ නෑ කියන හැඟීම ආපු චරිත. ඉතින් ඒ නිසා තමයි ඒ චරිත මම භාරගත්තේ නැත්තේ. ඒ නිසා පහුගිය කාලයේ මම ටිකක් අඩුවෙන් තමයි හිටියේ.
මවක්, ගෘහණියක්, රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් විධියට ඔබ කාල කළමනාකරණය කරගන්නේ කෙසේද?
ඇත්තටම හරිම අමාරුයි. ඒක දැන් මම පුරුදු වෙලා. මම කවදත් කාර්යබහුල වෙන්න කැමැති කෙනෙක්. මම මේ කරන වැඩ ටික ඇත්තටම මගේ ඔළුවට බරක් නෙවෙයි. මගේ බබාගේ වැඩ ටික මම උදේම ඇහැරිලා කරනවා. ගෘහණියක් විධියට සියයට සියයක් වැඩ කටයුතු මගේ අතින් වෙන්නේ නෑ. මොකද මගේ අම්මා මගේ ළඟ ඉන්නේ. සාමාන්‍ය විධියට ගෘහණියකගේ වැඩ කටයුතු මගේ අතින් සිද්ධ වෙනවා. මට දවස පිරෙන්නෙම වැඩ තිබෙනවා. ඉතින් කොහොම හරි කාලය කළමනාකරණය වෙනවා. මම හරි ආදරණීයව ඒ බර ඔක්කොම කරට අරගෙන ගමන යනවා.
මේ වෙද්දී නර්තන ගුරුවරියක් විධියට වැඩ කටයුතු කරගෙන යනවා නේද?
නර්තන ගුරුවරියක් වෙන එක තමයි මගේ ජීවිතයේ තිබුණ එකම හීනය. හැබැයි මම පාසල් ගුරුවරිය කියන රාමුව ඇතුළේ කොටුවෙන්න කැමැති වුණේ නෑ. මට වෙනස් වෙනස් දේවල් කරන්න ඕනෑ වුණා. ඊට පස්සේ තමයි මම යූ ඩාන්සින් ඇකඩමි එක පටන් ගෙන වැඩ කටයුතු කරගෙන යන්නේ.
වර්තමානයේ කලා ක්ෂේත්‍රයට නවක පරපුරෙන් බොහෝ රංගන ශිල්පීන් – ශිල්පිනියන් එක්වුවත් රැඳෙනවා අඩුයි නේද?
වර්තමානයේ බොහෝ දෙනකු කලාවට එන්නේ කලාවට තිබෙන ආදරයට කියලා මම දකින්නේ නෑ. කලා ක්ෂේත්‍රයෙන් දීර්ඝ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා කියලා මම දකින්නේ නැහැ. වෙන අදහස් ඇතිව තමයි එන්නේ. ඉතින් එහෙම වුණාම දීර්ඝ ගමනක් යන්න බෑ. බොහෝ නවක පරපුරේ රංගන ශිල්පීන් එන පරක්කුවට නැතිව යනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
සාමාන්‍ය විධියට වැඩ කටයුතු කර ගෙන යනවා. මගේ මුළු ජීවිතේම මගේ පැටියා ඕජී ඔෳරංගනා. දැන් එයාට අවුරුදු හතක්. ඒ වගේම අලුත් වැඩ එමින් තිබෙනවා. ඉතින් කලා කටයුතු කර ගෙන යනවා.