ජාත්‍යන්තරයට යන්න කලින් අපේ අයව හදාගන්න ඕනෑ-අකිල ධනුද්දර

gossiplanka image 1
 

සකල විධි කලාවන්ට දක්ෂ, ඔහුගේ මෙම හැකියාවන් උපතින්ම ලැබුණු දායාද වේ. දක්ෂකමට අමතරව ජනප්‍රියත්වයද අඩු නැති ඔහු මේ දිනවල රංගන කාර්යයන්ගෙන් ඔබ්බට ගොස් විනිශ්චයකරුවකුගේ භූමිකාවද හොබවයි. ඔහු අන් කවරකුවත් නොව දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පි අකිල ධනුද්දරයි.


මේ දවස්වල කාලය ගත වෙන්නේ කොහොමද?


ගිය අවුරුද්දේ රූගත කෙරුණු චිත්‍රපට කිහිපයකම හඬ කැවීම් වැඩ කටයුතු රාශියක් පහුගිය දවස්වල තිබුණා. ඒත් එක්කම ශ්‍රී ලංකා ගොට් ටැලන්ට්වල අවසාන භාගය යන්නේ. ඉතින් ඒ වැඩ කටයුතු එක්කත් මේ දවස්වල කාර්යබහුලයි. ඒ වගේම ජහුටා නාට්‍යයේ රූගතකිරීම්වලටත් සම්බන්ධ වෙනවා. ඔය සේරම දේවල් එක්ක මාර්තු අප්‍රේල් කියන්නේ කලාකරුවන්ට කොහොමත් කාර්යබහුල මාසයක්, විශේෂයෙන් විවිධ අවුරුදු උත්සව ආදියට සහභාගි වෙන්න තිබෙන නිසා. ඉතින් ඔය සියල්ලම එක්ක තමයි මේ දවස්වල කාලය ගෙවෙන්නේ.


ජහුටා සීසන් 2ත් මේ වෙද්දි සාර්ථකව විකාශය වෙනවා, විශ්වට ලැබෙන ප්‍රතිචාරවල වෙනසක් තිබෙනවාද?


ඇත්තටම විශ්වට ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. අද මට හමුවුණු එක රසිකයෙක් කියපු කතාවක් තමයි, විශ්ව විධියට ඔයාගේ රඟපෑම රඟපෑමක්ද කියලා හිතාගන්නත් බැරි තරම් කියලා. ඇත්තටම අපේ ගෙවල්වල ඉන්න ස්වාමිපුරුෂයන්ගේ එදිනෙදා ජීවිතයේ කොටස් සියල්ලම එකතු කරලා, හදපු චරිතයක් තමයි විශ්ව කියන්නේ. ඉතිං බොහෝ දෙනාට මේ කතාවෙන් කොහෙන් හරි උදාහරණ ගන්න පුළුවන්. ඒ වගේම මේ හරහා දකින අඩුපාඩු හඳුනාගෙන කතාබහ කරලා තමන්ගේ පවුලේ ගැටලු අවම කරගන්න පුළුවන් හොඳ ව්‍යාපෘතියක් බවට ජහුටා පත්වෙලා තිබෙන්නේ.


රංගන කාර්යයෙන් ඔබ්බට කෙනෙක්ගේ හැකියාවක්, දක්ෂකමක් විනිශ්චය කරන විනිසුරුවරයකුගේ වගකීම මොනවගේද?


අපි විනිශ්චය කරන්නේ මොකක්ද කියන තැන ඉඳලා තමයි ඒක කල්පනා කරන්න ඕන. ඒක අතිශය බැරෑරුම් කටයුත්තක්. රසවින්දනය කියන එක දැනෙනවා නම් සමාජය තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා නම් අපේ සමාජයට මොන වගේ දේවල්ද දැනෙන්නේ කියන එක මත හා තරගකරුවෙක් සතුව තිබෙන හැකියාවන් තවත් වැඩි දියුණු කරන්නට කටයුතු කරන්නේ කොහොමද කියන මේ සියලුම දේවල් පිළිබඳව විනිශ්චයකරුවෙක්ට සැලකිලිමත් වෙන්න වෙනවා. එතැනදි ගොට් ටැලන්ට් වගේ අන්තර්ජාතික මට්ටමේ තරගයකදී විනිශ්චයකරුවෙක් වශයෙන් මම දෙන කමෙන්ට් එක තමයි වැදගත් වෙන්නේ. එතැනදි තරගකරුවා ඉදිරිපත් කළ ඉදිරිපත් කිරීම ගැන වගේම එම පුද්ගලයාට යන්න පුළුවන් දුර පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේදී ඕඩියන්ස් එක එන්ටර්ටේන් වෙන විධියට ඉදිරිපත් කරන්නත් අවශ්‍යයි. මේ සඳහා ලොකු හැදෑරීමක් තිබිය යුතුයි. ඉතින් ඒ නිසාම මම හිතනවා මේ විනිශ්චය භූමිකාව වෙන්න ඇති මේ දවස්වල වැඩියෙන්ම මහන්සි වෙලා කරන දේ. මම කොහොමත් එහෙමයි. මට පොතක් දුන්නත් මම ඒ පොත ඇතුළේ හොයන්න පුළුවන් හැමදේම හොයන කෙනෙක්. මේක මම ඉතාමත් ආසාවෙන් කැපවීමෙන් කරන දෙයක්. ඒ වගේම ගොට් ටැලන්ට් කියන්නේ ලෝකයේ වැඩිම ප්‍රේක්ෂකාගාරයක් ඉන්න රියැලටි ෆ්‍රැන්චයිසර් චේන් එක. ඉතින් ඒ වගේ වැඩසටහනක විනිශ්චය කරනවා කියන්නේ සුළුවට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.


එකගෙයි සොකරි, දේවි සම්බුලා වගේ චිත්‍රපට මේ වසරේදී හෝ ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට ලැබේවිද?


ඒ නිර්මාණ කාර්යයන් ඉතාමත් හොඳින් අවසාන කරලා තිබෙනවා. ඉදිරියේදි ඕනෑම වෙලාවක ඒවා එළියට දාන්න පුළුවන්. නමුත් වැඩක් වෙන පිළිවෙළක් තිබෙනවානේ ඉතිං ඒ වෙනුවෙනුත් එහෙම වැඩ පිළිවළක් හදලා තිබෙනවා. ඒක තනි තීරණයක් නෙවෙයි. අම්මා, අක්කා, මම, මල්ලි අපි හැමෝම එකතු වෙලා ගත්ත තීරණයක්. එකගෙයි සොකරි විතරක් නෙවෙයි දේවි සම්බුලා විතරක් නෙවෙයි  ඒක ඉවරවෙනකොට තවත් චිත්‍රපටයක් එළිදක්වන්න පුළුවන් විධියට වැඩපිළිවෙළක් හදලා තිබෙන්නේ. සුදුසුම වෙලාව ආවම ඒ නිර්මාණ එළියට එයි.


අපේ රටෙන් අන්තර්ජාතික මට්ටමේ මාස් ක්‍රවුඩ් එක ග්‍රහණය කරගන්න චිත්‍රපට බිහි වන්නේ කවදාද?


අපේ අප්පච්චි දේවි සම්බුලා, එකගෙයි සොකරි වගේ නිර්මාණ කළේ මීට අවුරුදු පහ හයකට කලින්. ඒ නිර්මාණ අදටත් නැවුම් වුණත් ඒවා කාලෙකට කලින් කරපු ඒවා. මේ වෙද්දි පිටරටවල ඉන්න අපේ ජනගහනය විශාලයි. ඉංග්‍රීසි භාෂාව භාවිත කරන පිරිස අති විශාලයි. ඉතින් අපි නිර්මාණයක් කරනවා නම් කරන්න ඕන ඔවුන්ව ඉංග්‍රීසි භාෂාවෙන් මේ පැත්තට අරගෙන එන පාලමක් ආකාරයේ නිර්මාණයක්. මුළින්ම ඉන්ටර්නැෂනල් එකට යන්න කලින් අපේ රටේ ඉන්න සිංහල භාවිත නොකරන මිනිස්සුන්ටත් ග්‍රහණය වෙන නිර්මාණ බිහි කරමින් අපි මැද තැනකට එන්න ඕන. ඉන්ටර්නැෂනල් යන්න කලින් අපි මුලින්ම අපේ පිරිස හදාගන්න ඕන. ඉන්ටර්නැෂනල් ගිය කවුරුත් තමන්ගේ අයව අතෑරලා ගියේ නැහැ. තමන්ගේ පිරිසේ බලය වැඩිවෙන තරමට ඔවුන් අපිව ඉහළට ඔසව තබනවා. එතකොට ඕන නම් හඳේ වුණත් නවතින්න පුළුවන්.


පවතින නවීන තාක්ෂණය එක්ක ජනප්‍රිය පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයේ සීමාවලට එල්ලවන බලපෑම ඔබ දකින්නේ කොහොමද?


මම ඇත්තටම ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. සමාජ මාධ්‍යයන්ට නිරාවරණය වෙන්න ඕනද නිරාවරණය නොවී ඉන්න ඕනද කියන එක තමන්ගේ පෞද්ගලික තීරණයක්. අද වෙද්දි මේ තාක්ෂණයට සමාජ මාධ්‍යවලට තිබෙන ඇබ්බැහිය හරියට මත්ද්‍රව්‍යවලට තිබෙන ඇබ්බැහිය වගේ එකක්. එක පරම්පරාවක් මත්ද්‍රව්‍ය විශාල විධියට භාවිත කළා. නමුත් අද වෙද්දි වාර්තා වෙලා තිබෙනවා වර්තමාන පරපුර අපේ ජෙන් සී එක මත්ද්‍රව්‍යයන්ගෙන් ඈත් වෙලා නිසා ලෝක මත්ද්‍රව්‍ය වෙළෙඳපොළට වසරකට ඩොලර් බිලියන ගණනක පාඩුවක් වෙලා කියලා. ඉතින් කාලයක් යද්දි මේ සමාජ මාධ්‍ය භාවිතයටත් ඔය වගේ තත්ත්වයක් ඇති වේවි. කාලයක් යද්දි මේකේ අතුරු ඵල තේරුම් ගත්ත ඉදිරි පරම්පරාව ඒක භාවිත කරන එක සීමා සහිත කර ගනී. මම හිතන්නේ අපි ඔය දේවල්වලට වැඩිය බය වෙන්න ඕන නෑ කියලා.


අවසන් වශයෙන් පීතෘත්වයේ වගකීම ගැනත් කියමු?


ඔව්. දැන් අපි ලොකු පවුලක්. දරුවෝ මල්ලෝ එක්ක ගෙවන ජීවිතේ හරිම කාර්යබහුලයි. නමුත් මේ ගෙවන ජීවිතේ හරි සුන්දරයි. ජීවිතය එක එක කාලයට එක එක විධියයි. මීට කාලෙකට කලින් යාළුවොත් එක්ක, ගෙවපු ජීවිතය දැන් දරු මල්ලෝ එක්ක පවුල එක්ක ගෙවනවා.

gossiplanka image 2
Previous Post Next Post