ප්‍රේක්ෂකයෝ අතරට යන්න අනු චරිතයකුත් ඇති-අංජලී ලියනගේ

gossiplanka image 2
 


අංජලී ලියනගේ කියන්නේ පුංචි තිරයේ නොමැකෙන මතක සටහන් තැබූ ආදරණීය දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල පණ පොවන ලීලාවතීගේ චරිතය කා අතරත් ජනප්‍රියයි. ප්‍රේක්ෂකයන්ගේ හදවතේ එදත් අදත් එක සේ රැඳුණු ඇය මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ එක් කළා.


මේ දවස්වල ඔබේ කාලය ගෙවී යන්නේ කෙසේද?


මේ දවස්වල “දොරකඩ දෙවොල” ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒ ටෙලි නාට්‍ය ලලිත් රෝහිත එදිරිසිංහගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම තරංගා දිසානායක මහත්මියගේ දොරකඩ දෙවොල පොත ආශ්‍රයෙන් නිර්මාණය වුණු තිරපිටපතකට තමයි මේ ටෙලි නාට්‍යය නිර්මාණය වුණේ. රූගත කිරීම් ගල්ගමුව ප්‍රදේශය ආශ්‍රිතව මේ දවස්වල සිදු කරනවා. ඉතින් ඒක හරිම ලස්සන වෙනස් විධියේ වැඩක්. ඒක කොටස් 60ක වගේ ටෙලි නාට්‍යයක්. ජාතික රූපවාහිනියේ තමයි විකාශය වෙන්නේ. ඒකෙ ප්‍රේමා කියන චරිතය මට ගොඩක් කාලෙකින් ලැබුණු වෙනස් විධියේ චරිතයක්. ඇත්තටම මම ගොඩක් කැමැත්තෙන් රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම ස්වර්ණවාහිනියේ “මා” ටෙලිනාට්‍යයත් විකාශය වෙනවා. ඒකටත් ගොඩක් ප්‍රතිචාර තිබෙනවා. කාලෙකට පස්සේ මට මේ දවස්වල වෙනස් වෙනස් විධියේ චරිත ලැබෙනවා කියලා මම හිතනවා. “මා” කියන්නේ ඉරේෂ් ලොකු බණ්ඩාරගේ අධ්‍යක්ෂණයක්. ඉතින් ඒ ටෙලි නාට්‍ය දෙකටම උපරිම සාධාරණයක් කරමින් රංගනයෙන් දායක වෙනවා.


මා ටෙලි නාට්‍යයේ ලීලාවතී චරිතය ඔබට දැනෙන්නේ කොහොමද?


ඇත්තටම මම මීට කලින් අම්මාගේ චරිත සෑහෙන ප්‍රමාණයක් නිරූපණය කරලා තිබෙනවා. නමුත් “මා” ටෙලි නාට්‍යයේ ලීලාවතී කියන්නේ මට ලැබුණු වෙනස්ම චරිතයක්. මොකද මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ පිටපතේ ලීලාවතී චරිතය ගොඩනැඟෙන්නේ වැල්ලබඩ ප්‍රදේශයේ ජීවත්වන එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ගෙ චරිතයක් විධියටයි. ඇය තනි මවක් විධියට තමන්ගේ දරුවා වෙනුවෙන් සෑහෙන දුක් විඳලා තමයි දරුවාව හදා වඩා ගන්නේ. ඇය කතා කරන විලාසය, අඳින පලඳින විලාසය පවා වෙනස්. එක් අවස්ථාවක ඒ අම්මා පිස්සු වැටෙනවා. තවත් එක් අවස්ථාවක ඒ අම්මා හිඟා කනවා. ඉතින් අම්මා කෙනෙක්ට කවදාවත් ජීවිතයේ නිවනක් නෑ කියනවා වගේ මේ ලීලාවතී තමන්ගේ පුතාට තිබෙන ආදරය වෙනුවෙන් පුතත් එක්කම පිස්සු වැටිලා ඉන්න අම්මා කෙනෙක්. චරිතය ඇතුළේ මට රඟපාන්න ගොඩක් දේවල් තිබෙනවා. මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක මම හරි සතුටෙන් ඉන්නවා. මම මගේ චරිතය ඇතුළේ තෘප්තිමත්. මම ලීලාවතීගේ චරිතය විඳිනවා. මාව මේ චරිතයට තෝරා ගත්තට මහේෂ් අයියාට වගේම ඉරේෂ් ලොකු බණ්ඩාරට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ලීලාවතී කරන්නේ මනුල. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.


රංගන ශිල්පියෙක්ට තම දක්ෂතාව පෙන්වීමට අනු චරිතයක් වුවත් ප්‍රමාණවත්ද?


අනිවාර්යයෙන්ම. ප්‍රධාන චරිතවලට වඩා අනු චරිත ජනප්‍රිය වෙලා සම්මාන පවා ගත්ත අවස්ථා අපි දැකලා තිබෙනවා. ප්‍රධානම චරිතය රංගන ශිල්පියෙක් ශිල්පිනියක් කරන්නම අවශ්‍ය නෑ. තමන්ගේ දක්ෂතාව තිබෙනවා නම් ප්‍රේක්ෂකයන් අතරට යෑමට අනු චරිතයක් වුණත් ඇති. මම නම් රංගන ශිල්පිනියක් විධියට හිතන්නේ අපිට ලැබෙන්නේ පොඩි චරිතයක් වුණත් ඒක අපේ උපරිම දක්ෂතාව පෙන්වා චරිතය අධ්‍යයනය කරලා ඒක කොහොමද පෝෂණය කරන්න ඕනෑ කියලා හිතුවොත් පොඩි චරිතයක් වුණත් අපට පිටතට ගෙනෙන්න පුළුවන්.


ඔබ නිතරම දකින්න නොලැබුණත් එදත් අදත් එකසේ ජනප්‍රියත්වය රඳවා ගන්නේ කෙසේද?


ඇත්තටම මම පොත් කවරයකින් තමයි මුලින්ම එන්නේ. බොඳ මීදුම් පොත් කවරෙන් තමයි මට මුලින්ම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණේ. වෙනත් අයකුට ටෙලි නාට්‍යයකින්, ගීතයකින් එහෙම ලැබෙන ප්‍රතිචාරයක් මට ලැබුණේ පොත් කවරයකින්. එතැනින් පටන් ගත්ත ගමන අවුරුදු විස්සක් විතර ඇවිත් තිබෙනවා. නමුත් මම සම්මානවලට පාත්‍ර වෙලා නෑ. එතරම් ලොකු නිර්මාණවලට දායක වෙලත් නෑ. නමුත් මට ලැබුණු නිර්මාණවලට මම සාධාරණයක් කරලා තිබෙනවා. මම උපරිම මහන්සි වෙලා ඒ චරිත පෝෂණය කළා. මට ලැබුණ පොඩි චරිතෙ හරි මම හරිම මහන්සි වෙලා කැපවීමෙන් කළා. මම පොඩි තෝරා බේරා ගැනීමකින් තමයි නිර්මාණවලට දායක වෙන්නේ. එදා ඉඳන් අද වෙනකල් මම ක්ෂේත්‍රයේ ඉන්නවා. මම කවදාවත් ක්ෂේත්‍රයේ කාලයක් නැති වෙලා හිටියේ නෑ. මම ජනප්‍රියයි කියන කැටගරි එකට ආවේ හරි හෙමින් ආපු ගමනක. තවමත් මම හරි හෙමින් ගමනක් යන්නේ.


ප්‍රවීණ පරපුර හා නවක පරපුර අතර ඇති අන්‍යා්න්‍ය බැඳීම ඔබ දකින්නේ කෙසේද?


මම අපේ ප්‍රවීණයොත් එක්ක වැඩ කරන්න වාසනාවන්ත වුණා. මම ආපු කාලෙ ඉඳලා ලංකාවෙ ඉන්න දැවැන්තයොත් එක්ක මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඔවුන්ගෙන් ලැබුණු ආභාසය එක්ක රූගත කිරීම් කරන අවස්ථාවල එතැන හැසිරෙන විධිය ඒ හැමදේම අපි ඔවුන්ගෙන් ඉගෙන ගත්තා. අද පරම්පරාවේ ඉතාමත් දක්ෂ පිරිසක් ඉන්නවා. අලුතෙන් එන අයට මේ ක්ෂේත්‍රය ගැන හදාරන්න ගොඩක් ලොකු අවස්ථා තිබෙනවා. අපි ඒ කාලේ දේවල් ඉගෙන ගත්තෙ ප්‍රවීණයන්ගෙන්. අපි එන කාලේ රංගනය ගැන හදාරන්න අපිට තිබුණේ හරිම සීමිත සම්පත් ප්‍රමාණයක්. නමුත් දැන් වෙනකොට රංගන පාසල් පවා තිබෙනවා. මේ වෙනකොට මට අලුත් අය ගොඩක් හමුවෙලා තිබෙනවා. අලුත් අයත් එක්ක වැඩ කරන්න හරිම පහසුයි. බොහෝ දෙනකු හරිම දක්ෂයි. නමුත් ඒ අතර තවමත් මේ ක්ෂේත්‍රය ඇතුළේ තිබෙන විනය හඳුනා නොගත් කිහිපදෙනෙක් ඉන්නවා. හරි විධියට ක්ෂේත්‍රය තුළ විනය ආරක්ෂා කරගෙන මේ වෘත්තියටත් ගරු කරගෙන ඉදිරියට යන අය ක්ෂේත්‍රය තුළ දිගටම ඉදිරියට යයි.


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?


මට අලුත් චිත්‍රපටයකට ඉදිරියට ආරාධනාවක් ලැබිලා තිබෙනවා. ඒ් වගේම ඉදිරියට චාලි කියලා ලස්සන ටෙලි නාට්‍යයක් එන්න තිබෙනවා.


රුවිනි අමරකෝන්

gossiplanka image 1
Previous Post Next Post